බෝධින් වහන්සේ රෝපණය කරපු දවසෙ මහ රෑ දේවතා එළි පාත් වුණා…

වෛද්‍යවරු ජීවත් කරන්න බෑ කියපු ජයසිරි අදත් ජීවත් වෙන්නෙ බෝධින් වහන්සේගේ පිහිටෙන්…

දෙවැනි කොටස

“උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානයේ වැඩක් පටන් ගත්තොත් හිතන ඉක්මනට වැඩේ කෙරෙනවා. මේ බෝධින් වහන්සේගේ ආශීර්වාදය, පිහිට ගැන මට හොඳ අද්දැකීම් තියෙනවා. දොස්තරවරු බේරගන්න බෑ කියපු මම, අද ජීවතුන් අතර ඉන්නෙ මේ බෝධින් වහන්සේගේ පිහිටෙන්…” බෝධිරාජ සමිතියේ ලේකම් එල්. ජී. ජයසිරි මහතා පෙළගැසෙන කතාව අලුත් මානයකට හැරවිය.

උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානය අවට පදිංචිකරුවන් පමණක් නොව, අහල ගම්වල පදිංචිකරුවන්ට යම් කරදරයක් ඇති වූ විගස බෝධින් වහන්සේගේ පිහිට ප්‍රාර්ථනාවෙන් විහාරස්ථානයට පැමිණීම පුරුද්දක් කරගෙන සිටියි. බෞද්ධ බැතිමතුන් පමණක් නොව කතෝලික, දෙමළ, හින්දු, මුස්ලිම් මිනිසුන් ජාති – ආගම් භේදයෙන් තොරව මේ පින්බිමට පැමිණ බෝධි පූජා පවත්වන බව බෝධිරාජ සමිතියේ ලේකම් එල්. ජී. ජයසිරි මහතා අප සමග පැවසුවේ ය. එමෙන්ම මිනිසුන්ගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වූ පසු බාරහාර ඔප්පු කිරීමට ද අමතක නොකරන බව හේ පැවසීය. වැහිබර අන්දකාර සඳුදාවක් වූ අද නිදහසේ බෝධිය වන්දනා කරගැනීමට අවස්ථාව ලැබුණ ද සෙනසුරාදා, ඉරිදා නිවාඩු දවස්වල උදේ – හවස බෝධින් වහන්සේ සමීපයෙහි මහ සෙනඟක් ගැවසෙන බව උඩුගම සාරානන්ද නායක හාමුදුරුවෝ ද පැවසූහ.

මහා වැස්ස නතර වී, අඳුරු වලාකුළු ද බොඳ වී යන අයුරු පෙනේ. හිරුගේ රශ්මිය ද යාන්තමට දැනේ. චෛත්‍ය සමීපයෙහි සිටි අපි පඩිපෙළ බැස සංඝාවාසය තුළට පියවර මැන්නෙමු. ඉන්දියාවේ සිට රාජතාන්ත්‍රිකව වැඩම කර වූ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දෙවැනි ශාඛාව වැඩ සිටින උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානයට වතුපිටි ආදායම්, ප්‍රකෝටිපති දායකයන් නොමැති බව විහාර භූමිය තුළ ඇවිද යන අපට අවබෝධ කරගැනීමට අසීරු නොවිණි. එහෙත් අප පැමිණිය සංඝාවාසය මහා සඟ පරපුරක් වැඩසිටි ආවාසගෙයක් බව හොඳින් දර්ශනය වේ.

“බෝධින් වහන්සේ වඩම්මවා ප්‍රථමකොට තැන්පත් කරලා තියෙන්නෙ මේ මේසය උඩ. පාත්තරයක් තුළ වැඩහිඳි බෝධින් වහන්සේගේ බෝපත් තුනයි තිබිලා තියෙන්නෙ. රෝපණය කරනකම් මාස හයක් බෝධින් වහන්සේ වැඩහිඳියේ මේ සංඝාවාසයේ…” එල්. ජී. ජයසිරි පුංචි ටීපෝ එකක් අපට පෙන්නුවේ ය.

අනුහස් පිරුණු දෙවන ශ්‍රී මහා බෝධිය
ප්‍රධාන භාරකාර නිලමේ පුලින නානායක්කාර

“මේ බෝධින් වහන්සේත් මහා බලසම්පන්නයි. මගෙ වකගුඩුවක් තුළ පිළිකාවක් තියෙන බව වෛද්‍ය පරීක්‍ෂණයකින් 2019 අවුරුද්දෙ හඳුනාගත්තා. ඒ එක්කම හාට්ඇටෑක් එකක් හැදිලා මැරෙන්නම ගියා. මාස දෙකක් තුළ බරපතළ ඔපරේෂන් දෙකක් කළා. ප්‍රථමයෙන් හදවත් ශල්‍යකර්මයක් කරලා ස්ටෙන්ත් දෙකක් දාලා දෙවැනි වතාවට පිළිකාව හැදිලා තිබුණු වකුගඩුව ඉවත් කරන්න වෛද්‍යවරු තීරණය කරලා තිබුණා. ඒත් ජීවත්වීමේ වාසනාව 50%ටත් අඩුයි කියලා වෛද්‍යවරු කියලා තිබුණා. රෝහල්ගත වෙලා හිටිය කාලයේදී ගෙදර අය, ඥාතීන්, ගම්වාසීන් එක දිගට බෝධින් වහන්සේ ළඟ මා වෙනුවෙන් බෝධි පූජා කරලා තිබුණා. වෛද්‍යවරුන්ගේ දක්‍ෂතාවයෙන්, බෝධින් වහන්සේගේ ආශීර්වාදයෙන් ශල්‍යකර්ම දෙකම අතිසාර්ථක වුණා. මේ වෙනකොට පූර්ණ සුවයෙන් ජීවත් වෙනවා. මම වගේ මාරාන්තික තත්ත්වයට පත්වෙච්ච රෝගීන් කිහිපදෙනෙක්ම වෛද්‍යවරුන්වත් පුදුම කරවමින් අදටත් ජීවත් වෙන්නෙ සති ගණන් එක දිගට මේ බෝධින් වහන්සේට පුදසද්කාර කොට ලබාගත් ආශීර්වාදයෙන්. විශේෂයෙන්ම විවිධ රෝගාබාධවලින් බරපතළ තත්ත්වයට පත්වෙච්ච ළමයි කිහිපදෙනෙක්ම සනීප වෙලා ඉන්නවා. අදටත් ඒ මිනිස්සු සතියකට සැරයක් බෝධිය ඉදිරිපිට පූජා පවත්වනවා. ග්‍රහ අපලවලටත් හොඳට සුව ඵල දෙනවා. සිතට, ගතට පීඩාවක් දැනෙනවිට බෝධින් වහන්සේ සමීපයෙහි ඉහඳගෙන ගැටලුව කියනකොට දැනෙන නිදහස් බව කියන්න වචන නෑ…” එල්. ජී. ජයසිරියගේ කතාවට අපි බාධා කළෙමු.

උඩුගම පමණක් නොව, දකුණු පළාතේම බහුතරය දුකේදී මෙන්ම විශේෂ දිනවල සතුට සමරනුයේ ද උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානයේ බෝධින් වහන්සේට පුදසද්කාර කරමින් බව ප්‍රදේශවාසීහු අප සමග පැවසූහ. ගැබිනි මව්වරුන්, කිරි දරුවන් සම්බන්ධයෙන් බෝධින් වහන්සේ ඉදිරිපිට කරන ආශීර්වාද පූජාවලින් ක්‍ෂණික ප්‍රතිඵල ලැබෙන බව ද ප්‍රදේශවාසීන්ගේ මතයකි. උඩුගම කුරුන්ද ප්‍රදේශයේ හදවත් රෝගී දරුවෙක්ව සුවපත් කළ නොහැකි බව වෛද්‍යවරු නිගමනය කර තිබුණු පසුබිමක එම දරුවාගේ ඥාතීන් අඛණ්ඩව බෝධින් වහන්සේ ඉදිරිපිට බෝධි පූජා පවත්වන විට ක්‍රමයෙන් සුව අතට හැරීම වෛද්‍යවරුන්ට ද පුදුමයකි. කාලයක් තිස්සෙ සිට මානසික රෝගයකින් පීඩා විඳි කෙනෙක් නිතර පැමිණ බෝධි මළුව පිරිසිදු කර වන්දනා කිරීමත් සමග ඔහු රෝගී තත්ත්වය නිට්ටාවටම සුවපත් වී තිබේ. අනතුරුව එම පුද්ගලයා විසින් බෝධින් වහන්සේ වටා නව බෝධි ප්‍රාකාරයක් නිර්මාණය කර ඇති බව ද වාර්තා වේ. වාහන මිලදී ගැනීමට, විවිධ විභාගවලට, විදෙස් රැකියා බලාපොරොත්තුවෙන් බෝධින් වහන්සේට පුදසද්කාර කිරීමෙන් සුබ ඵල අත්කර ගත හැකි බව ප්‍රදේශවාසීහු ද විශ්වාසයෙන් පැවසූහ. යම් සාධාරණ ප්‍රාර්ථනාවක් මුදුන්පත් කරගෙන සිත, කය පිරිසිදුව, සුදුවතින් සැරසී අඛණ්ඩව දින හතක් බෝධි පූජා පැවැත්වීමෙන් සතුටුදායක ප්‍රතිඵල අත්විඳිය හැකි බව උඩුගම සාරානන්ද නායක හාමුදුරුවෝ ද අප සමග පැවසූහ. එමෙන්ම බෝධින් වහන්සේට හරියට පිළිවෙත් කරන්නෙ නැති භික්‍ෂුන් වහන්සේනමකට හෝ වැඩි කාලයක් විහාරස්ථානයේ වැඩසිටිය නොහැකි බව උන්වහන්සේ පැවසූහ. පෙරහැර මංගල්‍යයට දායකත්වය ලබාදෙන සියලුදෙනා අවුරුද්දකට තෙවතාවක් හෝ විහාරස්ථානයට පැමිණ බෝධින් වහන්සේ නොවඳින්න ඔවුන්ට පෙරහැරේ ගමන් කිරීම මඟහැරෙන බව ද උන්වහන්සේ සිහිපත් කළහ.

අනුහස් පිරුණු දෙවන ශ්‍රී මහා බෝධිය

“සෑම වසරකම පෙරහැර මංගල්‍යයට පෙර දින හතක බෝධි පූජාවක් පවත්වලා පෙරහැර සාර්ථකව කරගැනීමේ අරමුණු පෙරදැරිව පඬුරු ගැටගහනවා. වසර හතළිහක් පෙරහැර පවත්වලා තියෙනවා කිසිම කරදරයක් වෙලා නෑ. අපිට සල්ලි නැති වුණාට පෙරහැර මංගල්‍යයට ලක්ෂ ගණන් මුදල් එකතු වෙනවා. බාධාවක් වුණා නම් ඒ වැස්සෙන් විතරයි. දැනට පෙරහැර පැවැත්වූ අවුරුදු හතළිහෙන් අඩකටත් වැඩිය වාර ගාණක් වැස්සා. ඒ වගේම ශ්‍රී මහා බෝධි පෙරහැරේ මුල් කාලයේ නිලමෙට ඇඳලා ගියේ නෑ. පෙරමුණේ රාළ කෙනෙක් තමයි ගියේ. ප්‍රථමවරට නිලමෙට ඇඳලා ගියේ 2004 අවුරුද්දෙ පැවැති පෙරහැරේ. 2005 අවුරුද්දෙ පෙරහැරෙත් නිලමෙට ඇඳලා ගියේ නෑ. 2006 අවුරුද්දෙ නිලමෙට ඇඳලා ගියා. මෙවර පෙරහැර ප්‍රධාන භාරකාර නිලමේ විදිහට ගමන් කළේ මේ මහත්තයා…” උඩුගම සාරානන්ද නායක හාමුදුරුවෝ කඩවසම් පෙනුමැති දේහධාරී තරුණයෙක්ව අපට හඳුන්වා දුන්නේ ය. හේ, පුලින නානායක්කාර ය. පෙරහැර භාරකත්වය පමණක් නොව, බෝධින් වහන්සේ ඇතුළු විහාරය භාර ප්‍රධාන නිලමේ ඔහුය. වගකීම් සහගත තනතුරකි. එහෙත් තම වගකීම සතුටින් කරගෙන යන බව ඔහුගේ කතාවෙන් අපට වැටහිණි.

“මෙරට බෝධින් වහන්සේනමකට පවත්වනු ලබන එකම පෙරහැර මංගල්‍යයේ භාරකාර නිලමේවීමට ලැබීම මගේ ජීවිතයේ ලැබුණු විශාල භාග්‍යයක්. බොහෝම සතුටින් ඒ වගකීම ඉටු කරනවා. ඒ වගේම අවට වතුවල ජීවත් වෙන ජනතාව, උඩුගම ප්‍රදේශවාසීන් පෙරහැර මංගල්‍යයට කැපවෙන හැටි දැක්කම පුදුම හිතුණා. ඔවුන්ගේ කැපවීමට මමත් ධෛර්යවත් වුණා. ලබන අවුරුද්දෙ පෙරහැර මංගල්‍යය පෙරටත් වඩා හොඳට කරන්න උපරිමය කරනවා. පෙරහැර මංගල්‍යය සාර්ථක කරගැනීමට දායක සභාවේ, ප්‍රදේශවාසීන්ගේ, වතු ජනතාවගේ උපරිම ශක්තිය ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ බෝධින් වහන්සේගේ ආශ්චර්යය මටත් දැන් දැනෙනවා. මේ විහාරයේ භාරකාර නිලමේ තනතුර ලැබුණට පස්සෙ මගේ ජීවිතයෙත් සැබෑ වෙනසක් සිද්ධ වුණා. උඩුගම පමණක් නෙමෙයි, ගාල්ල ප්‍රදේශවාසීන් ඇතුළු මෙරට සියලු ජනතාවට පැමිණ ආශ්චර්යවත් බෝධින් වහන්සේ වැඳපුදා ගන්නා ලෙසට මම ආරාධනා කර සිටිනවා…” තිස්හැවිරිදි පුලින නානායක්කාර මහතාගේ ජීවිතයේ සිදුව ඇති දැහැමි පරිවර්ථනය හේ, අපට පැහැදිලි කළේ ය. එහෙත් පෙළගැසෙන සටහනට එම කතාව බර වැඩිය. එහෙත් උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානයේ වැඩසිටින බෝධින් වහන්සේ මෙරට ට පූජා කරන ලද ඉන්දිරා ගාන්ධි මහත්මියට, එවකට මෙරට අග්‍රාමාත්‍යවරිය ලෙස සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට, බෝධින් වහන්සේ වැඩම කරවීමට මූලිකත්වය ගත් නෙළුවේ ශ්‍රී ජිනරතන නායක හාමුදුරුවෝ ඇතුළු එම පින්කමට දායකත්වය ලබාදුන් ගිහි – පැවිදි පින්වතුන්ට සෑම දිනකම බෝධි වන්දනාවෙන් පසු පින් අනුමෝදනා කිරීමට අමතක නොකර බව උඩුගම සාරානන්ද නායක හාමුදුරුවෝ විශේෂයෙන් සිහිපත් කළහ. එමෙන්ම උඩුගම ශ්‍රී මහා බෝධිය ගැන පසුගිය සතියේ පළ වූ ලිපිය කියවා ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අග්ග මහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද හාමුදුරුවෝ ද දුරකථනය ඔස්සෙ සම්බන්ධ වෙමින් විශේෂ ප්‍රකාශයක් කළේ ය. මේ ඒ කතාවය.

“1976 අවුරුද්දෙ ජනවාරි මාසෙ මේ බෝධින් වහන්සේ ලංකාවට වඩම්මවාගෙන ආවේ නෙළුවේ ශ්‍රී ජිනරතන නායක හාමුදුරුවොයි, මමයි. බුද්ධගයාවේ සිට ශ්‍රී ලංකාවට වැඩම්මුවේ මගේ දෑත මතින්. උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානයේ බෝධින් වහන්සේ රෝපණය කරන උත්සවයේ ප්‍රධාන දේශනය කළෙත් මමයි. එදා රෑ බෝධින් වහන්සේ දෙසට දේවතා එළි පාත් වෙනවා මම ඇස්වලින් දැක්කා. අනුහස් ඇති බෝධින් වහන්සේනමක් බව එදා මට තේරුණා. ඒ සිතිවිල්ල අද යථාර්ථයක් බවට පත්වෙලා තියෙනවා. මමත් ලංකාවට වැඩම කළ සෑම අවස්ථාවකම උඩුගම පුරාණ විහාරස්ථානයට ගිහින් බෝධින් වහන්සේ වන්දනා කරගන්නවා. ඒ වගේම මේ බෝධින් වහන්සේ ලංකාවට වැඩමවීමට ප්‍රධානත්වය ගෙන කටයුතු කරපු භාරතයේ ප්‍රධාන සංඝනායක, ඉන්දීය මහ බෝධි සමාගමේ ප්‍රධාන ලේකම් නෙළුවේ ශ්‍රී ජිනරතන නායක හාමුදුරුවෝ බෝධින් වහන්සේ වඩම්මවාගෙන ලංකාවට වැඩම කළේ අවුරුදු 25ට පස්සෙ. උන්වහන්සේගේ කාලේ ඉන්දිය මහබෝධි සමාගමේ විශාල දියුණුවක් ඇති වුණා. ඒ වගේම උන්වහන්සේට දෙරටේම ඉහළ පිළිගැනීමක් තිබුණා. ලංකාවේ බොහෝ තරුණ භික්‍ෂුන් වහන්සේට ධර්මදූත සේවයට පිවිසෙන්න මාර්ගය විවර කර දුන්නෙ උන්වහන්සේ. මගේ ධර්මදූත සේවයට මහ අත්වැලක් වුණෙත් උන්වහන්සේ…” දීර්ඝ කතාබහකින් පසු පියනන්ද හාමුදුරුවෝ නිහඬ වූහ.

උඩුගම ශ්‍රී මහා බෝධිය සම්බන්ධයෙන් පසුගිය සතියේ පළ වූ ලිපිය කියැවූ බොහෝදෙනෙක් අපට කතා කර ස්තූති කළහ. බෝධින් වහන්සේගේ අනුහස් අත්දුටු කිහිපදෙනෙක් ද කතා කර අත්දැකීම් පැහැදිලි කළහ. ඒ සියලු විස්තර මේ කතාවට ඇතුළත් කිරීමට අසීරුය. අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේට පමණක් දෙවැනි උඩුගම ශ්‍රී මහා බෝධින් වහන්සේ වන්දනා කරගෙන ඔබත් එහි අනුහස් අත්විඳින්න යැයි අපි මතක් කර සිටිමු. සෑම වසරකම ජූලි මාසයේ 05 වැනිදා සිට 11 වැනිදා දක්වා කාලය තුළ උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වෙන ‘මහ බෝ වන්දනාව’ පිංකම් මාලාවට ද සම්මාදම්වීමට ඔබට අවස්ථාව තිබෙන බව සිහිපත් කර සිටිමු. බෝධි මළුවේ සුදු වැලි තලාව ඇමදීම, මල් ආසන, පැන් ආසන පිරිසිදු කිරීම, බෝධි වන්දනා කිරීම මහා කුසල් රැස්වෙන පින්කමකි.

තරංග රත්නවීර


advertistmentadvertistment