අපස්මාර ඔසුවක් හොර පාරෙන් රෝහල්වලට රිංගවන්න හදලා

79

මෙරටදී නිෂ්පාදනය කරනු ලැබූ ‘ Sodium Valaperate 100 mg නමැති අපස්මාර රෝගීන් සඳහා ලබාදෙන ඖෂධයක් ලියාපදිංචි සහතිකයෙන් තොරව ව්‍යාජ ලියාපදිංචි සහතිකයක් හරහා වෛද්‍ය සැපයුම් ඒකකයට ලබාදීමට ලිපිගොනු ඉදිරිපත් කර ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අනාවරණය කරයි.

ඖෂධ නියාමන අධිකාරිය සහ වෛද්‍ය සැපයුම් ඒකකය අතර මේ ආකාරයෙන් ව්‍යාජ ලිපි ලේඛන නිකුත්වීම ජාවාරමක් ලෙස කලක සිට පැවත ඇති අතර මෙම ලිපි නිකුත් කළ කේන්ද්‍ර සොයාගැනීම සඳහා කර ඇති පැමිණිලිවලට අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය පරීක්‍ෂණ තීව්‍ර කළ යුතු බව ද එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා සඳහන් කරයි.

අදාළ අපස්මාර රෝගීන් සඳහා ලබාදෙන ඖෂධය ව්‍යාජව ලියාපදිංචි කර ගැනීමට ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ විජිත් ගුණසේකර මහතාගේ අත්සන සහ නිල මුද්‍රාව ද අදාළ ලිපියේ සඳහන්ව තිබීම විශේෂත්වයක් බව ද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගනුදෙනුවෙන් අනතුරුව වෛද්‍ය සැපයුම් ඒකකය වත්තල ඖෂධ සමාගම මගින් ලබාදෙන ලිපි ලේඛන ඖෂධ නියාමන අධිකාරිය හරහා පසු විපරම් කිරීමේ වැඩසටහන යටතේ මේ අන්දමට ‘සෝඩියම් වැලපරෙට්’ නමැති ඖෂධය මෙරට තුළ නිෂ්පාදනය කිරීමට ලියාපදිංචි සහතිකයක් ඇති බවට සඳහන් කරමින් ඉදිරිපත් කරන ලද ලේඛනයත්, ඖෂධ නියාමන අධිකාරිය මගින් සකස් කරන ලද ලියවිල්ලක් නොවන බව මේ වනවිට තහවුරු වී ඇති බවත්, ඒ සම්බන්ධව ද පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව ද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් සඳහන් කර සිටී.
සුජීව තත්සර


advertistmentadvertistment