අපේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව

ලෝක ආර්ථික වර්ධනය පහත වැටේ

ලෝක බැංකුව විසින් පසුගිය අප්‍රේල් 23 දින නිකුත් කළ ද්වි-වාර්ෂික ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන කිරීම (Sri Lanka Development Update) නම් වාර්තාව නිකුත් කර තිබේ. එය මෙවර නම් කර ඇත්තේ ‘Staying on Track’ එනම් “මාර්ගයේ රැඳී සිටීම” යන තේමාවෙනි. මේ තේමාවේ අර්ථය වන්නේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අප මෙතෙක් පැමිණි ප්‍රතිපත්ති දිශානතියේ තවදුරටත් ඉදිරියට ගමන් කළ යුතු බවයි. පසුගිය රජය සහ වත්මන් රජය අතර රාජ්‍ය පාලන ක්‍රියාවලියේ කවර වෙනස්කම් තිබිය හැකි වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව දියත් කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වෙනසක් සිදුව නැත. එය අයිඑම්එෆ් එකඟතා හා කොන්දේසි ප්‍රකාරව මේ රජය යටතේ ද ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙතෙක් අනුගමනය කළ ක්‍රියාවලිය හේතුවෙන් ආර්ථිකයේ ස්ථාවර බව ගැන අප කතා කළත් ජනතාව සිටින්නේ ඉතා අමාරුවෙනි.

මේ අනුව ලෝක බැංකුව නිකුත් කළ ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන කිරීම නම් වාර්තාවේ මෙසේ සඳහන් වේ.

අපි තවත් දුප්පත් වෙයි

ශ්‍රී ලංකා ආර්ථිකය නිදහසින් පසු ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස තියුණු ආර්ථික හැකිලීමක්, පෙර නොවූ විරූ ලෙස ඉහළ උද්ධමනයක් සහ මුදල් අවප්‍රමාණයක් සහ ජාත්‍යන්තර සංචිතවල වේගවත් පහත වැටීමක් ඇති විය. 2022-23 අර්බුදය මධ්‍යයේ සහ අයිඑම්එෆ් වැඩසටහනට අනුව රජය විසින් සාර්ව ආර්ථික ස්ථායිතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා පිරිවැය පිළිබිඹු කරන උපයෝගිතා මිලකරණය, නව ආදායම් පියවර සහ විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්තියට නැවත පැමිණීම ඇතුළු ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරන ලදී. ඊට අමතරව, ණය සහ මූල්‍ය කළමනාකරණය, මහ බැංකු ස්වාධීනත්වය, විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ, ආයෝජන වාතාවරණය සහ දූෂණ විරෝධී පියවර සඳහා සහාය වීම සඳහා නීති සම්පාදනය කරන ලදී.

ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී, බොහෝ ශ්‍රී ලාංකිකයන් තවමත් ජීවත්වීමේ අරගලයක නිරතව සිටිති. කුටුම්භ ආදායම්, රැකියා සහ සමස්ත සුභසාධනය තවමත් අර්බුදයට පෙර මට්ටම්වලට වඩා බෙහෙවින් පහළ මට්ටමක පවතින අතර, දරිද්‍රතා අනුපාතය 2024 දී සියයට 24.5 ක් ලෙස භයානක ලෙස ඉහළ මට්ටමක පැවතුණි. ශ්‍රම වෙළෙඳපොළ සාමාජිකයන් අඛණ්ඩව අරගල කරන අතර, මිනිසුන් විදේශයන්හි අවස්ථා සෙවීම නිසා එය සංක්‍රමණ වැඩි වීමට හේතු වේ.

රට මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා රජය අයිඑම්එෆ් සහාය ඇතිව අනුගමනය කළ ක්‍රියාමාර්ග ගැන කියා ඇති ලෝක බැංකුවේ මේ වාර්තාව, ආර්ථික වර්ධනය පැත්තෙන් ධනාත්මක මට්ටමක් සහ මූල්‍ය කාර්යසාධනය අතින් ප්‍රගතියක් ලබා තිබියදීත්, ආර්ථිකය හමුවේ සැලකිය යුතු අභියෝග තවමත් පවතින බව අවධාරණය කර ඇත. මේ අනුව ලෝක බැංකුව කියන්නේ ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් තිබුණත්, එසේම ආර්ථිකය ස්ථාවර වී ඇති බව කියා සිටියත් ජනතාවගෙන් විශාල පරිසක් ඉතා අමාරුවෙන් සහ දරිද්‍රතාවයෙන් සිටින බවයි. එසේම තවමත් ආදායම් මට්ටම් වර්ධනය වී නොමැති බවත් සුභසාධනය පැත්තෙන් තවමත් රට තිබෙන්නේ ආර්ථික අර්බුදයට වඩා පසුපසින් බවත් ලෝක බැංකුව කියයි.

ලෝක බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වන ප්‍රධාන පණිවිඩයන් තුනක් මෙසේ සඳහන් කළ හැකිය.

1.2024 වසරේ ආර්ථික වර්ධනය, මූල්‍ය ශේෂයන් සහ විදේශ සංචිත යනාදිය අපේක්ෂාවන් ඉක්මවා යමින් ආර්ථිකය අඛණ්ඩව යථා තත්ත්වයට පත්වෙමින් පවතී. නමුත් ගෘහස්ථ ආදායම්, රැකියා සහ මූල්‍ය නොවන සුභසාධනය අර්බුදයට පෙර මට්ටම්වලට වඩා බෙහෙවින් පහළින් පවතී.

  1. ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබිය දී, මධ්‍ය කාලීන ආර්ථික වර්ධනය මධ්‍යස්ථව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර අර්බුදයේ අහිතකර බලපෑම්, ආර්ථික වර්ධනයට පැවති ව්‍යුහාත්මක බාධාවන් සහ සැලකිය යුතු ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවයන් පිළිබිඹු කරයි.
  2. මධ්‍යකාලීන ආර්ථික වර්ධනය සහ දරිද්‍රතාවය අඩු කිරීමේ අපේක්ෂාවන් යන්න අඛණ්ඩ සාර්ව ආර්ථික ස්ථාවරත්වය (විනිමය අනුපාත නම්‍යශීලීභාවය, මුදල් සහ මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වාගෙන යෑම) සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීම (වෙළෙඳාම, ආයෝජන, රාජ්‍ය ව්‍යවසායයන්, තරගකාරීත්වය, කාන්තා ශ්‍රම බළකායේ සහභාගිත්වය ආදිය) මත රඳා පවතී.
අපි තවත් දුප්පත් වෙයි

මේ වන විට 2022 වසරේ අප මුහුණ දුන් ආර්ථික වර්ධනයට සාපේක්ෂව ආර්ථිකය ස්ථාවර වී ඇති නමුත් ලෝක බැංකුව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව හමුවේ සැලකිය යුතු අභියෝග තවමත් පවතින බවයි. මේ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව නැවත යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ දරිද්‍රතාවයට පත්ව හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක සිටින බව ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසා ඇත. ලෝක බැංකුවේ ිSri Lanka Development Update නම් මෙම වාර්තාව ප්‍රකාශයට පත්කරමින් ඩේවිඩ් සිස්ලන් මහතා මේ බව කියා ඇත. ඔහු කියන පරිදි රටේ සෑම තුන් දෙනෙක්ගෙන් කෙනෙක්ම දුප්පත්කමට ඇද වැටී හෝ ඇද වැටීමේ අවධානමක් ඇත. එය ප්‍රතිශතයක් ලෙස සියයට 33 ක් තරම් ඉතා ඉහළ ප්‍රතිශතයකි. මෙතක් කල් අප කතා කළේ ජනතාවගෙන් හතරෙන් එකක් දුප්පත්කමට ඇද වැටී ඇති බවකි. එහෙත් ලෝක බැංකුව කියන මේ කතාව අනුව මෙරට ජනගහනයෙන් විශාල ප්‍රතිශතයක් දුප්පත්කමට මුහුණ දී සිටින නිසා රට දියුණු කර ගැනීමේ දී මේ දුප්පත්කමේ සිටින ජනකොටස අවම කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මේ නිසා 2022 වසරේ රට වැටුණු ආර්ථික අගාදයෙන් රට සැලකිය යුතු දුරකට ගොඩට පැමිණ ඇති බව සත්‍යයක් වුවත් රටේ විශාල ජනතාවක් ජීවත් වන්නේ ඉතා අමාරුවෙන් බව අප අමතක කළ යුතු නොවේ. එසේම දිළිඳු ජන කොටස සැලකිය යුතු ලෙස වර්ධනය වීම ද සිදුව ඇති නිසා ලෝක බැංකුව කියන්නේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම සෑම කෙනකුටම බලපාන සහ විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූවන්ට ප්‍රතිලාභ ලැබෙන බව සහතික කරගැනීම අවශ්‍ය බවයි. ඒ සඳහා රැකියා නිර්මාණය කරන සහ දුප්පතුන්ට සහාය වන ප්‍රතිපත්ති කෙරෙහි ශ්‍රී ලංකාවට අවධානය යොමු කරන ලෙස ලෝක බැංකුව සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත. ඒ නිසා දරිද්‍රතාවය අඩු කිරීමට සහ මධ්‍යකාලීන ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට වැඩි උත්සාහයක් දැරීමට අවශ්‍ය බව ද ලෝක බැංකුවේ මෙම වාර්තාවේ සඳහන් වේ.

2024 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය අත්කරගෙන ඇති ප්‍රගතිය ගැන සඳහන් කරන මේ ලෝක බැංකු වාර්තාව කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කැපී පෙනෙන ප්‍රකෘතියක් අත්කර ගෙන ඇති අතර, එය පෙර අපේක්ෂිත සියයට 4.4 ට සාපේක්ෂව සියයට 5 ක වර්ධනයක් වාර්තා කරමින් වර්ධන අපේක්ෂාවන් ඉක්මවා ගොස් ඇති බවයි. මෙම වර්ධනයට කර්මාන්ත හා සේවා, විශේෂයෙන් ඉදිකිරීම් සහ සංචාරක ආශ්‍රිත සේවාවන්හි ශක්තිමත් ක්‍රියාකාරීත්වය හේතු වී ඇත. ගෝලීය ප්‍රචණ්ඩත්වයන් සහ පෙර නොවූ විරූ වෙළෙඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවන් මධ්‍යයේ, අර්බුදයේ බලපෑම් සහ වර්ධනයට ව්‍යුහාත්මක බාධාවන් පිළිබිඹු කරමින් 2025 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 3.5 දක්වා මධ්‍යස්ථ වනු ඇතැයි අපේක්ෂා කරනු ඇති බව ද එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ. මේ නිසා ලෝක ආර්ථික වර්ධනය මන්දගාමී වීම ඇතුළු නව ලෝක ආර්ථික පරිසරයේ අහිතකර බලපෑම්වලට මුහුණ දීමට සිදුවීම නිසා අපේ ආර්ථිකයට ද එහි අහිතකර බලපෑම්වලට මුහුණ දීමට සිදුවීම අනිවාර්ය දෙයකි. එනිසා අපගේ අනාගත ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමේ උත්සාහයන් තවත් දුෂ්කර හා අභියෝගාත්මක වනු ඇත. මේ නිසා රජය මේ ගැන දැඩි විශේෂ අවධානය යොමුකර මේ අලුත් තත්ත්වයට මුහුණ දීම සඳහා වන උපායමාර්ග සැලසුම් කළ යුතුව ඇත.

ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබුණත්, බොහෝ ශ්‍රී ලාංකිකයන් තවමත් බලවත් ආර්ථික පීඩනයට මුහුණ දී සිටින නිසා මේ ඉහළ මට්ටමක තිබෙන දරිද්‍රතාවය අවම කර ගැනීම සඳහා විශාල ප්‍රයත්නයක් දැරීමට රජයට ඉදිරි කාලයේ දී සිදුවනු ඇත. කවර ආර්ථික ස්ථාවරත්වයක් ගැන අප කතා කළත් ජනතාවගෙන් තුනෙන් එකක් පමණ දුප්පකමට ඇද වැටී ඇත්නම් එය ඉතාම අහිතකර තත්ත්වයකි. එසේම එය වහාම පිළියම් යෙදිය යුතු තත්ත්වයකි. දරිද්‍රතාවය අඩු කිරීමට අප රට විසින් ඉදිරියේ දී වැඩි උත්සාහයක් දැරීම අවශ්‍ය බව ලෝක බැංකුව කියන්නේ ද මේ නිසාය. රටක් දියුණු වීමේ දී දිළිඳු ජනකොටස අවම විය යුතුමය. ඒ නිසා මේ ඇතිකරගෙන තිබෙන ආර්ථික ස්ථාවරත්වයේ ප්‍රතිලාභ රටේ වැඩි පිරිසකට බලපාන තත්ත්වයට ඉදිරි කාලයේ ප්‍රතිපත්ති වෙනස් කිරීම් කරගත යුතු වනු ඇත. ඒ සඳහා රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය වර්ධනය කරගෙන ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීම ද අත්‍යවශ්‍ය කාරණයක් වේ.

නව ලෝක ආර්ථික පරිසරය බෙහෙවින් අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇති බව මේ වන විට කතාබහට ලක්ව ඇති දෙයකි. ඇමෙරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය ද එයට ප්‍රධාන වශයෙන් බලපා ඇති සාධකයකි. මේ සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳුම් ඇති කර ගැනීමට ද රජය යොමුව ඇත. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත සමයේ සාකච්ඡාවලට සහභාගි වීම සඳහා මෙරටින් ඇමෙරිකාවේ වොෂින්ටන් බලා ගිය ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඇමෙරිකාවේ වෙළෙඳ බලධාරීන් සමග මේ තීරු බදු ප්‍රශ්නය ගැන සාකච්ඡා කර ඇත. ඒ ගැන ඉකුත් සිකුරාදා (25දා) රජය විසින් ප්‍රකාශයකක් ද නිකුත් කර තිබිණි.

එම ප්‍රකාශයේ සඳහන් වන්නේ දෙරට අතර අපක්ෂපාතී හා සාධාරණ වෙළෙඳ සබඳතාවක් සහතික කරලීම සඳහා කඩිනමින් ගිවිසුමකට එළැඹිය හැකි බවට වොෂින්ටන් ඩීසීහි ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලයේදී තානාපති ජේමිසන් ග්‍රියර් මහතා අපේක්ෂා පළ කර තිබෙන බවයි.

මෙම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති යෝජනා තානාපති ග්‍රියර් මහතාගේ ඇගැයුමට ලක්ව තිබේ. ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ අරමුණින් දෙරට අතර සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යෑමට දෙරටේ නියෝජිතයන් මෙහිදී එකඟතාවකට එළඹ ඇත. මේ එකඟතාව පරිදි හැකි ඉක්මණින් කෙටි කාලයක් තුළ අදාළ ගිවිසුමට එළැඹීමටද දෙපාර්ශ්වයම කැමැත්ත පළ කර තිබේ. පසුගිය දිනවල ඇමෙරිකාවට ගොස් සිටි ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලයේදී එහි තානාපති ජේමිසන් ග්‍රියර් මහතා හමුව ඇත. එම හමුවේ දී ග්‍රියර් මහතා වෙත යොමු කළ ලිපි ගනුදෙනුවල මුල් පිටපත් මුදල් අමාත්‍ය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් අනුව, ශ්‍රී ලංකා දූත පිරිස විසින් ඒ මහතා වෙත භාර දී තිබේ. අතීතයේදී මුහුණ දුන් අභියෝග සහ අනාගතයේ මතු විය හැකි අභියෝග ජය ගැනීමට මෙන්ම ආර්ථිකය යළි පූර්ණ ලෙස යථා තත්ත්වයට පත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පිළිබඳව එහිදී නියෝජිත පිරිස තානාපති ග්‍රියර් මහතාව දැනුවත් කර තිබේ. වෙළෙඳ හිඟය අඩු කිරීමටද, තීරුබදු සහ තීරුබදු නොවන බාධක අවම කිරීම සඳහාද එක්සත් ජනපද රජය සමගින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති යුහුසුළු සහ ධනාත්මක කැපවීම පිළිබඳව මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිස පෙන්වා දී ඇත. මේ තොරතුරු ජනාධිපති මාධ්‍ය අංශය විසින් ප්‍රකාශයට පත් කර තිබුණි. රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා මගින් ද මේ අධික තීරු බදු ප්‍රශ්නයට විසඳුමක් (යම් සහනයක්) ඇතිකර ගැනීමට උත්සාහ දැරිය යුතු වන නමුත් මේ සඳහා අප විසින් මේ අනුව දැනට ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2. 5 ක පමණ ශ්‍රී ලංකාවට වාසිදායක වෙළෙඳ ශේෂයකි. මේ නිසා රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මගින් මේ ඇමෙරිකානු නව තීරු බදු ප්‍රශ්නයට යම් සහනයක් උදා කරගත හැකි වුවත් මේ ප්‍රශ්නයට මුහුණ දීමට එය ප්‍රමාණවත් නොවෙනු ඇත. ඒ අනුව අපට පැතිකඩ ගණනාවකින් මේ ප්‍රශ්නයට පිළියම් සෙවීමට අනිවාර්යයෙන්ම සිදුවෙනු ඇත. රජය විසින් ආර්ථික කළමනාකරණය පිළිබඳ විශේෂ කමිටුවක් ද පිහිටුවනු ලැබ ඇත. මේ විශේෂ කමිටුව ස්ථාපිත කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව ඇත. මේ වෙනස් වී ඇති සහ මන්දගාමී වී ඇති ලෝක ආර්ථිකයට මුහුණ දීම ද මේ ආර්ථික කළමනාකරණය පිළිබඳ විශේෂ කමිටුවේ අංක එකේ වගකීමක් වනු ඇති බව අපගේ විශ්වාසයයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගියදා නවතම ලෝක ආර්ථික දැක්ම ප්‍රකාශයට පත් කළේය. 2025 ජනවාරි මාසයේ මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කළ ලෝක ආර්ථික දැක්ම සමග 2025 අප්‍රේල් ලෝක ආර්ථික දැක්ම සසඳා බලන විට ප්‍රධාන වශයෙන්ම ලෝක ආර්ථික වර්ධන අපේක්ෂා සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති බව නිරීක්ෂණය කළ හැකිය. එම අරමුදල විසින් නවතම ලෝක ආර්ථික දැක්ම ප්‍රකාශයට පත් කරමින් පවසා ඇත්තේ ලොව පුරා රජයන් ප්‍රතිපත්ති ප්‍රමුඛතා නැවත සකස් කිරීම සහ අලුතින් අවිනිශ්චිතතාවන් ඉහළ මට්ටම් කරා ළඟා වීමත් සමග භූ දර්ශනය වෙනස් වී ඇති බවයි. 2025 ජනවාරි ලෝක ආර්ථික දැක්ම මේ නවතම යාවත්කාලීන කිරීම හා සසඳන විට ගෝලීය වර්ධනය සඳහා වන අනාවැකි සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. සියවසකින් නොදුටු මට්ටම්වලට තීරුබදු අනුපාත පිළිබිඹු කිරීම මගින් බෙහෙවින් අනපේක්ෂිත ආර්ථික පරිසරයක් උදාකර ඇති බව එම ලෝක ආර්ථික පෙර දැක්මේ සඳහන් වේ. එහි සඳහන් වන පරිදි 2025 ජනවාරි ලෝක ආර්ථික දැක්මට අනුව මේ වසරේ (2025) මෙන්ම ලබන වසරේ (20260 ලෝක ආර්ථික වර්ධන අනුපාතය සියයට 3.3 ක් වනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර තිබුණි. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව ලෝක ආර්ථික දැක්මට අනුව මේ වසරේ (2025) ආර්ථික වර්ධනය සියයට 2.8 ක් දක්වා අඩුවෙනු ඇති බවට මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර ඇත. මේ අනුව ආර්ථික වර්ධන පුරෝකථනය සියයට 0.5 කින් සැලකිය යුතු ලෙස අඩු කර තිබේ. එසේම 2026 වසරේ ආර්ථික වර්ධනය ද සියයට 3.3 සිට සියයට 3.0 දක්වා අඩුවෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම පුරෝකථනයයි. ලෝක ආර්ථිකයේ මේ මන්දගාමීත්වය අනිවාර්යයෙන්ම අපේ ආර්ථික අපේක්ෂාවන්ට ද අහිතකර ලෙස බලපානු ඇති අතරම මේ තත්ත්වයෙන් රටේ ජනතාවට විය හැකි පීඩාව අවම කර ගැනීමේ උපායමාර්ගවලට (හදිසි තත්ත්වයක් ලෙස සලකා) රජය විසින් යොමුවිය යුතු වනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]


advertistmentadvertistment