අපි යන වාහනය දෙසට කාන්තාවක් දුවගෙන ආවා – ප්‍රහාරයෙන් 4ක් මියගියා

62

2008 දී පැන්න බෝම්බකාරිය ගැන මගෙන් අදටත් ප්‍රකාශයක් ගෙන නෑ
මෛත්‍රිපාල සිරිසේන උසාවියේදී කියයි

තමා ඝාතනය කිරීමේ අරමුණින් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් 2008 වසරේදී තමන් ගමන් කළ රථ පෙළට පැන බෝම්බයක් පුපුරුවාගෙන ජීවිත ගණනාවක් විනාශ කළත් මේ දක්වා එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ නිලධාරීන් තමාගෙන් කිසිම ප්‍රකාශයක් සටහන් කර නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (28දා) කොළඹ මහාධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් පැවැසීය.

2008 වසරේ ඔක්තෝබර් මස බොරලැස්ගමුව ප්‍රදේශයේදී එම බෝම්බ ප්‍රහාරය එල්ල වීමෙන් පසුව ආරක්‍ෂාව පතා සිය ආරක්‍ෂක නිලධාරීන් ඇතුළු පිරිස ගමන් ගත් රථය බොරලැස්ගමුව පොලිසියට ඇතුළුකොට පැය දෙකකට අධික කාලයක් ගත කළ බවත් එම පොලිස් නිලධාරීන් හෝ ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් තමාගෙන් ප්‍රකාශ සටහන් කිරීමක් නොකළ බවත් හිටපු ජනාධිපතිවරයා කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා ඉදිරියේදී සාක්‍ෂි දෙමින් පැවැසීය.

2008 වසරේ ඔක්තෝබර් 19 වැනිදා සිදුවූ එම බෝම්බ පිපිරවීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත්තේ 2023.12.18 වැනිදා බවත් විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාරදී ඇත්තේ 2024 වසරේදී බවත් විනිසුරු ආර්.එම්. එස්. සපුවිද මහතා එහිදී දෙපාර්ශ්වයට අවධානය කළේය.

2008.10.01 වැනිදා හා 2008.10.09 වැනිදා අතර කාලයේදී දැනට මියගොස් සිටින එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියක වන සම්මුගරාසා ගජවාලිනි සහ පැමිණිල්ල නොදත් තවත් අය සමග නිශ්චිත තැනැත්තකු වන මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 17ක් යටතේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් වන සෙල්වරාජා කිරුවාකරන් හෙවත් මොරිස් හා තම්බයියා ප්‍රකාශ් හෙවත් ධනුෂ් නමැති විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි. එම නඩුවේ සාක්‍ෂි විභාගය ඊයේ (24දා) මුල්වරට කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ පසුවන සාක්‍ෂිකාර මෛත්‍රිපාල සිරිසේන මහතා පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ ධම්මික උඩවත්ත මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි දෙමින් මෙසේද පැවැසීය.

සිද්ධිය වූ දිනය මට මතකයි. මම එවකට පැවැති රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. එම ප්‍රදේශයේ පිහිටි පුරන් කුඹුරු අස්වැද්දීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගි වීමට මම ඇතුළු පිරිසක් සහභාගි වුණා. උත්සවය අවසන් වෙලා දහවල් 1.30 – 2.00 ට විතර ආපසු යමින් සිටියදී තමයි මෙම සිද්ධිය වුණේ. මම ඇතුළු දහ දෙනෙක් ගමන් කළේ ඉදිරියෙන්ම. ධාවනය වූ රථයේ මම දුටුවා එක්තරා කාන්තාවක් දුරකථන ඇමතුමකට සවන් දෙමින් අපි ගමන් කළ වාහනය දෙසට වේගයෙන් එනවා. අපේ රියැදුරු වේගයෙන් රථය ධාවනය කළ නිසා ඇය අප ගමන් කළ රථයට පැනීමට දැරූ උත්සාහය ව්‍යාර්ථ වුණා. ඇය පිටුපසින් ආව ආරක්‍ෂක නිලධාරීන් ගමන් කළ රථයේ වැදී තිබුණා. එම බෝම්බ ප්‍රහාරයෙන් සිවුදෙනකු මියගොස් තවත් පිරිසකට තුවාල සිදුවුණා. ඒ කම්පනය නිසා මම සති දෙකක් පමණ පීඩා වින්දා. මා මේ වනවිට විවිධ රජයන් යටතේ අමාත්‍ය ධුර 23ක් දරා තිබෙනවා. වසර පහක් රටේ විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මම වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ග්‍රාම නිලධාරියකු ලෙසටයි. 1989 දී තමයි පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ.

නඩුවේ වැඩිදුර විභාගය අද (29දා) දක්වා කල් තැබූ විනිසුරුවරයා පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් සිවුදෙනකුට නොතිසි නිකුත් කිරීමට නියෝග කළේය. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ වසන්ත බණ්ඩාර නවරත්න මහතා පෙනී සිටි අතර පළමුවන විත්තිකරු වෙනුවෙන් නීතිඥ සුරංග බණ්ඩාර මහතාත් දෙවන විත්තිකරු වෙනුවෙන් නීතිඥ සන්ජු ශ්‍රී වීරසේකර මෙනෙවිය සමග නීතිඥ අසිත විපුලනායක මහතාත් පෙනී සිටියහ.
ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment