අල්ලස් නඩුවෙන් කොස්තාපල්ට අත්හිටුවූ සිරදඬුවම්

1

ලුණුගම්වෙහෙර පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටිය දී මෙයට 11 වසරකට පමණ පෙර රුපියල් දසදහසක අල්ලසක් ලබාගත් බවට පිළිගත් පොලිස් කොස්තාපල්වරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා වසර පහකට අත්හිටුවූ බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම කළේය.

එයට අමතරව අල්ලස ලබාගැනීම අයැදීම යන චෝදනා දෙකට වරද පිළිගත් විත්තිකාර පොලිස් නිලධාරියාට රුපියල් දසදහසක දඩයක් ද නියම කළ විනිසුරුවරයා එකී දඩය නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිරදඬුවම් ලබාදීමට ද නියෝග කළේය.

එමෙන්ම අල්ලස් පනතේ 29 වන වගන්තිය යටතේ විත්තිකාර පොලිස් නිලධාරියා සතු ඡන්දය භාවිත කිරීම ඇතුළු සිවිල් අයිතිවාසිකම් අත්හිටුවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට එම නඩුවේ තීන්දුව වහාම මැතිවරණ කොමසාරිස්වරයා වෙත යැවීමට ද විනිසුරුවරයා නියෝග කළේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුරාධා සිරිවර්ධන මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය. එම නඩුවේ අනෙක් විත්තිකරු ලෙස නම්කර තිබූ පොලිස් සැරයන්වරයා මේ වනවිට මියගොස් ඇති බවද අධිකරණය හමුවේදී අනාවරණය විය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment