බොම්බරජාගේ රාජකාරිය ලේසි නැත

අවුරුදු සියයකට වඩා පරණයි

අතීතයේ සිට ජන සාහිත්‍යයේ පෝෂණයට මෙන්ම අපේකම, එකමුතුකම හා සාමූහික වගකීම් වලින් බැඳුණු සාරධර්ම කැටිවූ අපූරු සංස්කෘතියක් ගොඩනැගීම සඳහා අලුත් අවුරුද්ද මහත් රුකුලක් වී ඇත්තේය.

ලෝකයේ සෑම රටකම පාහේ දක්නට ලැබෙන ජන ක්‍රීඩා සහ ජන නැටුම්වල ඒ ඒ රටවලට ආවේණික වූ ලක්ෂණ දක්නට ලැබුණත් ඒ සියලු රටවල් අභිබවා යන ජන ක්‍රීඩා සහ ජන නැටුම් කලා සම්ප්‍රදායක් අපට උරුමව ඇත. ඒවා සුවිශේෂ වන්නේද සිංහල අරෑත් අවුරුද්ද හා බැඳී පැවතීම හේතුකොටගෙනය.

අලුත් අවුරුදු සමග බැඳී පැවතුණු ජන ක්‍රීඩා රැසක් එදා සමාජයේ දක්නට ලැබුණි. ඇතැම් ජන ක්‍රීඩා ස්වභාවික පරිසරය හා බද්ධව පැවතුණි . අලුත් අවුරුදු සමයේ පල හටගන්නා කජු සහ ඕලිඳ මූලික කරගනිමින් සිදුකරන වළ කජු ගැසීම, ඔලිඳ කෙළිය වැනි ජන ක්‍රීඩා ඒ සඳහා උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය. එදා ජන සමාජයේ ගුස්ති ඇල්ලීම, චක්ගුඩු, එළුවන් කෑම, කතුරුඔන්චිල්ලා, පන්දුකෙළි, ලී කෙළි, පොල් කෙළි ආදිය ජනප්‍රිය ක්‍රීඩාවන් බවට පත්ව තිබූ බව ජනශ්‍රැත පර්යේෂකයන් පෙන්වා දෙන්නේය.

මෙම ජන ක්‍රීඩා සියල්ල පාහේ සාමූහිකව කණ්ඩායමක් එක්ව සිදුකළ යුතු ක්‍රීඩාවන් වීම විශේෂත්වයකි. මෙවැනි ජන ක්‍රීඩා අතුරින් කතුරුඔන්චිල්ලාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. අතීතයේ සිට නොයෙක් ප්‍රදේශවල අවුරුදු කාලයට’ පාරම්පරිකව බඳින කතුරුඔන්චිල්ලා දක්නට’ ලැබෙන්නේය. බොහොමයක් තවමත් සාම්ප්‍රදායිකව දේශීය අමුද්‍රව්‍ය යොදා සකස් කරන අතර අතීතයේ සිට ගැමියන් විසින් ත්‍රිවිධ රත්නය ප්‍රධාන කොට ගනිමින් පත්තිනි දෙවියන් මත විශ්වාසය තබා පත්තිනි දෙවියන් මූලික කරගනිමින් පුද පූජා පවත්වා බාරහාර වෙමින් ආශිර්වාද ලබා ගනිමින් නැකැත් චාරිත්‍රවලට අනුව කතුරුඔන්චිල්ලාව බැඳීම සිදු කරයි.

කතුරුඔන්චිල්ලාවේ ආරම්භය සම්බන්ධයෙන් ජනකතා හැරෙන්නට වෙනත් මූලාශ්‍රයක නිශ්චිත තොරතුරක් සඳහන්ව නොමැති අතර ප්‍රවීණ ගත් කතුවරයකු හා ජනශ්‍රැත පර්යේෂකයෙකු වන ඉංගිරියේ ජනක තරංග ආරියරත්න මහතා සඳහන් කර සිටින්නේ කතුරුඔන්චිල්ලාව නිර්මාණය වීමේදී අතීතයේ ගොවිතැන් කටයුතු සඳහා යොදාගන්නා ලද ජල චක්‍රයේ සරල ක්‍රමෝපායන් දායක වන්නට ඇති බවයි.

පරම්පරාවෙන් පරම්පරාවට එන කතුරු ඔංචිල්ලා ශාස්ත්‍රය

කතුරුඔන්චිල්ලා බැඳීමේ කලාව පිළිබඳ සොයා බැලීමේදී වසර සියයකට එහා සිට පාරම්පරිකව කතුරුඔන්චිල්ලා බඳින ගම්මුන් ඇතැම් ගම්මානවල ජීවත් වන්නේය. ඔවුන් නොයෙක් රැකියාවල නිරත වෙමින් සිට අවුරුදු කාලයට කලඑළි බැස සාමූහිකව ක්‍රියාත්මක වෙමින් සීමිත දින වකවානුවක් තුළ කතුරුඔන්චිල්ලාව නිර්මාණය කරන්නේ පළපුරුද්දෙනි. ඒ සඳහා වියපැහැදැම් වන මුදල් ගම්මුන්ගේ ආධාර මත සහ ධනවත් පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත සිදු කරයි. ඇතැම් ගම්මාන තුළ කාලාන්තරයක් තිස්සේ ගම්මානයේ බඳින කතුරුඔන්චිල්ලාව එක් පුද්ගලයකු විසින් තනිව සේවකයන් කිහිපදෙනකු යොදා ගනිමින්’ නිර්මාණය කරන අතර ඒ සඳහා ඔහු තම පෞද්ගලික මුදල් වියපැහැදම් කරයි. එහෙත් කතුරුඔන්චිල්ලාව පැදීම සඳහා මුදල් අය නොකරන අතර ඔහු වියපැහැදැම්වු මුදල සොයා ගැනීම සඳහා’ කතුරුඔන්චිල්ලාව පදින ස්ථානයේ කැට සෙලවීමේ වැනි ක්‍රීඩා සිදුකරමින් යම්කිසි මුදලක් උපයා ගනී. එමගින් ඔහු කතුරුඔන්චිල්ලාව අවසානයේ තනිව බාරහාර ඔප්පු කරමින් දානමාන දීම ආදී කටයුතු සිදු කරගනී.

අලුත් අවුරුද්දේ හතුරු නොවී ගමම පදින කතුරු ඔංචිල්ලාව

වසර හතළිස් හයක් පුරා ගමේ කතුරුඔන්චිල්ලාව ගෝල බාලයින් යොදා ගනිමින් බඳින ප්‍රේමදාස මාමා අපට හමුවන්නේ බුලත්සිංහල මහගම ප්‍රදේශයෙනි. ඔහුගේ වයස අවුරුදු හැත්තෑ හයකි. ගමේ කතුරු ඔන්චිල්ලාව හේතුවෙන්ම ප්‍රේමදාස මාමා ගමේ ප්‍රසිද්ධ චරිතයක් බව ගම්මුන් සමග කතාබහ කිරීමේදී වැටහුණ එක් කාරණාවකි. මේ පාර නම් අමාරුයි මහත්තයෝ කතුරුඔන්චිල්ලාව බඳින්න සල්ලි ටිකත් පොලියට ගන්නත් වුණා කොහොමහරි කරගන්නත් එපැයි. මේ පදින්නේ හතළිස් හයවෙනි වතාවනේ…. ණය වුණත් ප්‍රේමදාස මාමාගේ හඬෙහි ආඩම්බර කමක් ගැබ්ව ඇති අයුරු අපට වැටහුණි. මම පුංචි කොලුව සන්දියේ අපේ ගමේ හිටිය තෝමස් මාමා කියලා කෙනෙක් එයයි තව එකොළොස් දෙනෙක් එකතුවෙලා තමයි මේ කතුරුඔන්චිල්ලාව බඳින්නේ එයාලා දැන් නැහැ’ මම උපදින්නත් ඉස්සෙල්ලා ඉඳං තමයි මේක බඳින්න පටන් අරන් තියෙන්නේ. මට මතකයි එතකොට මට අවුරුදු අට නමයක් විතර ඇති තෝමස් මාමලා ඔන්චිල්ලාව බඳිනකොට අපි බලාගෙන ඉඳලා පොඩි පොඩි වැඩවලට උදව් කරනවා, ඔන්චිල්ලාව පදින කාලෙට එකතු වෙන සල්ලි වලින් සත දහය පහළොව අපිට දෙනවා අපිත් දවසම එතන තමයි. පස්සෙ පස්සේ මම ඇතුළු මගේ වයසේ කීපදෙනෙක් හිටියා අවුරුදු ගාණක් තෝමස් මාම ඇතුළු කණ්ඩායමට වැඩ කරා.

ඒ කාලේ හරි රසවත් ගමේ මේ වගේම තවත් කතුරුඔන්චිල්ලාවක් තිබුණා ඒක බැන්දෙ බසිවිලියොං කියලා මාමා කෙනෙක්. ඒකත් කාලාන්තරයක් තිස්සේ තමයි තියෙන්නේ. අවුරුදු කාලෙට මේ ඔන්චිල්ලා බඳින දෙගොල්ලෝ නොයෙක් මත ගැටුම් ලොකු තරගයක් තියෙනවා හොඳට කතුරුඔන්චිල්ලා දෙක හදන්න පොඩි පොඩි රණ්ඩු සරුවලුත් යන්නැත්තෙම නෑ. ඔන්චිල්ලා දෙකට කවුරු හරි එක පාර්ශ්වයක කෙනෙක් හානි කරයි කියලා දෙගොල්ලම බයයි. එළිවෙනකන් ඔන්චිල්ලාව මුර කරනවා. තෝමස් මාමගේ එක මුර කරන්න මමත් එක්ක තව දෙතුන් දෙනෙක් හිටියා. ඒකට අපිට කුලිය ගෙවනවා. අපි මුර කරනවද කියලා බලන්න රෑට තෝමස් මාමලාගේ කට්ටිය එනවා. හැන්දෑවෙම කතුරුඔන්චිල්ලාව පැදලා ඉවර වුණහම ඔන්චිල්ලාවේ බාල්දියක් එල්ලනව නැත්තං ලී දණ්ඩක් දානවා බැරිවෙලාවත් අපිට නින්ද ගිහිල්ලා තිබුණොත් බාල්දිය හරි ලී දණ්ඩ හරි තෝමස් මාමල ඇවිල්ල අරගෙන ගිහිල්ලා තිබුණොත් අපිට එදාට පඩි නැහැ. ඒ වගේ වෙච්ච දවසුත් තියෙනවා. කොහොම හරි කවදාවත් කතුරුඔන්චිල්ලා දෙකට කවුරුත්ම හානි කරල නැහැ. ඒ විදිහට තරගෙට කතුරුඔන්චිල්ලා අවුරුදු පහළොවක් විතර බැන්දා. තෝමස් මාමගෙ එකට ගොඩක් සෙනග එනවා බසි විලියොං මාමගේ එකට සෙනග යනවා අඩුයි. ඒකට එයාල ටිකක් තරහයි.

තුන් ගුණයක් සල්ලි හොයන්න ක්‍රමයක්

අලුත් අවුරුද්දේ හතුරු නොවී ගමම පදින කතුරු ඔංචිල්ලාව

ඔංචිල්ලාව පදිනකොට ඒ කාලේ මම තමයි බොම්බරජා වැඩේ කරේ. බොම්බරජා කියන්නේ කැට හොලවන වැඩේ කරන කෙනා. එක වගේ කැට තුනක් අරගෙන කෝප්පෙකට දාලා හොලවනවා කොටු හයක් තියලා ඒවට ඔට්ටු අල්ලන්න කියනවා එක වගේ තුනක් ආවොත් තුන් ගුණයක් සල්ලි. දෙකක් ආවොත් දෙගුණයක් සල්ලි. එකක් ආවොත් දාපු එක විතරයි. එකක්වත් නැත්නම් පරාදයි. ඉතිං ඕකෙනුත් මම කීයක් හරි හොයා ගන්නවා. ඒ කාලේ මට මේ කැට ගෙනල්ලා දුන්නේ රටින්. අපේ ගමේ හිටිය ඇඩ්ඩිං මුදලාලි කියල’ කෙනෙක් එයාගේ පුතා පයිලට් කෙනෙක් එයා රට ගිහිල්ලා එනකොට මට කැට ගෙනල්ලා දෙනවා නිකං. රුපියලක්වත් ගන්නෙ නැහැ. ඒකෙ තියෙන්නෙ ආසි හේරා පොරව බූරුවා නමයයි දහයයි. මේකට අපේ පැත්තෙ කියන්නේ වයි තියනවා කියල ඩබල් තියනවා කියලත් කියනවා. වැඩේට ලොකු ඉල්ලුමක් තිබුණා. සමහර දවස්වලට පරාද වෙනවා කූඩුව ගලවන්නවත් සල්ලි නෑ.

ඔහොම ඉන්නකොට මට අවුරුදු තිහේදි විතර වගේ තෝමස් මාමා එකපාරටම ගෙදර කට්ටියගේ කිවුම් බහකට කතුරුඔන්චිල්ලාව බඳින වැඩේ නවත්තනවා. ඒක මම තෝමස් මාමගෙන් ඇහුවා එයා කිව්වා ගෙදර කට්ටිය කියනවා මේ පාර බඳින්න එපා කියලා ඒක නිසා මේ පාර බඳින්නැහැ. ඒකට මට හරි දුකයි අතේ සල්ලිත් නෑ මම කල්පනා කර කර ගමේ කඩේ ළඟට එනකොට කඩේ මුදලාලි එකපාරට කිව්වා ප්‍රේමදාස ඔන්න උඹට චෙක් එකක් ඇවිල්ලා තියෙනවා කියලා. කඩලා බැලුවහම ඒකෙ දොළොස්දාහක් තියෙනවා ඒ මගේ රබර් වගාවට රජයෙන් දීපු ආධාරයක්. දෙයියො දුන්න වගේ මම දෙපාරක් හිතුවේ නෑ බැංකුවට ගිහින් චෙක් එක මාරු කරලා ගෝලයෝ ටිකකුත් අරගෙන ඔන්චිල්ලාව බඳින වැඩේට අත ගැහුවා. චෙක් එක මාරු කරපු සල්ලි වලින් වැඩ කරන අයට පඩි ගෙව්වා. මට වැඩේ කරගන්න පුළුවන් උනා. එදා ඉඳන් තමයි ගමේ කතුරුඔන්චිල්ලාව මට ආවේ.

මේ වෙනකොට හතළිස් හයවෙනි වතාවට තමයි මේක බඳින්නේ. ගමේ හැමෝම මට මේ වැඩේට උදව් කරනවා. මගේ බිරිඳත් මේකට ගොඩක් උදව් කළා. එයා නොහිටින්න මට එච්චර කාලයක් මේ ඔන්චිල්ලාව බඳින්න වෙන්නේ නැහැ. ඔන්චිල්ලාව පදින්න පටන් ගන්න දවසේ ලොකු කෑම මෙසයක් අරිනවා ගමටම ආරාධනා කරනවා මගේ බිරිඳ තමයි ඒ ඔක්කොම කෑම හදන්නේ අවාසනාවකට එයත් දැන් වසර දෙකකට විතර උඩදී මියගියා. දරුවොත් එක්ක ඔන්චිල්ලාව පදින්න ඒ කාලේ ආපු බවලත් උදවිය ඔන්චිලි වාරම් කියනවා ගොඩක් සතුටු වෙනවා.

වර්තමානයේ මෙය නිර්මාණය කිරීම නැත්නම් සකස් කිරීමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නේ උඩුමුල්ලගේ විමලසේන බාසුන්නැහේ. මම තමයි මේකෙ සම්පූර්ණයෙන්ම බඳින්නේ. මම දැන් මේක බඳින්න අරන් අවුරුදු එකොළහක් වෙනවා. මට ඉස්සෙල්ලා මගේ තාත්තා තමයි මේ වැඩේ කරේ. එයාගේ උඩුමුල්ලගේ කරෝලිස් තාත්තා තමයි මේ කූඩුවේ මුල්ම බාසුන්නැහැ. මේක බඳින්න පටන් අරන් තියෙන්නේ 1953 වසරේ. මේක තමයි මා හිතන්නේ ලොකුම ඔන්චිල්ලාව. මුල්ම පාර පනස් හතර දෙනෙකුට යන්න බැඳලා තිබුණා. පස්සේ’ විසි හතර දෙනෙකුට වාඩිවෙලා යන්න සකස් කරා.’ අදටත් මේක තමයි ලොකුම ඔන්චිල්ලාව කියල මට හිතෙන්නෙ. මම දැකලා තියෙන හැම එකකම අට දෙනෙකුට තමයි යන්න පුළුවන්. තාත්තත් දොළොස් දෙනාගේ කල්ලියෙ කෙනෙක්. තෝමස් සිංඤා් මාමා තමයි මූලිකත්වය ගත්තේ. එයා ඇල්පිටිය පරෙයිගම පැත්තේ කෙනෙක්. කසාද බැඳලා තමයි මහගමට පදිංචියට ආවේ. තාත්තා නැති වෙනකොට වයස අවුරුදු අනූඅටක්. දැන් මගේ වයස අවුරුදු හැටපහක්. මම තනියම බඳින්න පටන් අරන් අවුරුදු එකොළහක් වෙනවා. මම හිතන්නේ ඔන්චිල්ලාව මේ පාර පදින්නෙ හැත්ත එක්වෙනි වතාවට කියලා.’

මම පොඩි කාලේ ඉඳන් තාත්තා මේක බඳින හැටි බලාගෙන ඉන්නවා. පොඩි පොඩි වැඩවලට උදව් වෙනවා තාත්තාගෙන් තමයි මම වැඩ ඉගෙන ගත්තේ. ඒ ඉගෙන ගන්න ගිහිල්ලා සෑහෙන්න ගුටි කාලා තියෙනවා. බැනුම් අහලා තියෙනවා.

මුලින්ම නැකැත් බලලා දෙවියන්ට කන්නලව් කරලා මඟුල් බෙර ගහලා තමයි වැඩ පටන් ගන්නේ. තුණුරුවන් පත්තිනි දෙයියන් වගේම දෙවොල් දෙවියන්ටත් බාරහාර වෙලා තමයි වැඩ පටන් ගන්නේ. ඒක රජ කාලේ ඉඳන් එන සිරිතක්. ඉස්සර මේක තනිකරම ලී දඬු පුවක් පටි කිතුල් පුවක් කඳන් භාවිතා කරලා තමයි හැදුවේ. දැන් අපි හයිය පුවක් කඳක් හොයාගන්න බැරි නිසා මහා දන් ඩියමට යකඩ කඳක් යොදාගෙන තියෙනවා. ඒක විතරමයි මේ මුළු ඔන්චිල්ලාවෙම යකඩ කියලා තියෙන්නේ. රෝද හතර තනිකර කිතුල් කොටන්වලින් තමයි හදල තියෙන්නෙ. ඒක ඇතුළට ග්‍රීස් සහ මිනිරන් දාලා තමයි හයි කරන්නේ. ඊට පස්සේ පුවක් පටි යොදාගන්නවා. පුවක් ගස් දහතුනක් විතර යනවා. ලනුමුඩි 1200 ක් විතර යනවා. ගැට 304ක් තියෙනවා එක එක ස්ථානවලට දාන්න. එක එක වර්ගයේ ගැට රෝද හතරට දාන්නේ. පොල් ගෙඩි බැම්ම අනිත් ඒවට දාන්නේ කරස්ස බැම්ම හැමෝටම ගැට දාන්න බෑ. අලුත් පරම්පරාව මේවා ඉගෙන ගන්නේ නැහැ මගෙන් පස්සේ මේ කලාව ඉගෙන ගන්න කෙනෙක් තාම මට හරියට හම්බවුණේ නෑ. මට හිතෙන්නෙ මේක මෙතනින් ඉවර වෙයි කියලා. මේවා අනාගත පරපුර වෙනුවෙන් රැකගන්න මොකක් හරි වැඩපිළිවෙළකුත් ඕන කරනවා.

කොහොම වුණත් මම මාසයක් එකහමාරක් මෙතන තමයි වැඩකරන්නේ. ඒ කාලෙට මට ලොකු ආදායමක් නෑ. තියෙන්නේ ආත්ම තෘප්තිය. අපි හරි ආසාවෙන් මේක කරන්නේ. මේක පදින්න ගොඩක් දුර පළාත්වල ඉඳන් කට්ටිය එනවා. ඒ කාලේ ඔන්චිලි වාරම් කියන්න වෙනම කට්ටියක් එනවා. එයාල එන්නේ ආසාවට සත පහකටවත් කුලියට නෙමෙයි.

උඩ යන රවුමට පපුවයි දන්නේ
පාතට එනකොට නිවිලයි එන්නේ
පොල්ලත් පැත්තට බය නොසිතන්නේ
පත්තිනි දෙව්දුව අප රැක ගන්නේ

තාලෙට බැරි වුණත් විමලසේන බාසුන්නැහේ එක වාරමක් අපට මතක් කළා. ඒක බලන් ඉන්න හරි ලස්සනයි. දැන් කාලේ ළමයි ඔන්චිලි වාරම් දන්නෙ නැහැ කියමින් අප බලා සිටියදී කරස්ස බැම්මක් කිටිකිටියේ තද කලේ තවත් මට පුළුවන් යන ආඩම්බරය හිතේ දරාගෙන බව අපට වැටහුණි. අලුත් අවුරුද්ද සමග සංස්කෘතිය ජන සාහිත්‍යය සාමූහිකවගකීම් එකමුතුකම එකල මොනතරම් අපූරුවට තිබෙන්නට ඇත්දැයි මෙවැනි අපූරු නිර්මාණශීලී මිනිසුන්ගේ ජීවිත අත්දැකීම් හා කැප කිරීම් තුළින් මනාව පිළිබිඹු වෙයි. එය රැක ගැනීම සියලු මිනිසුන් සතු වගකීමක්ම වන්නේය.

නයනදුල සෙන්දනායක


advertistmentadvertistment