අවසන් පූර්ව වටයට මහනුවර, සී.එච්., සී.ආර්. සහ හැව්ලොක්

37

“මාස්ටර් කාඩ්-ක්ලිෆර්ඩ් අභියෝග කුසලාන” තරගාවලියේ

“මාස්ටර් කාඩ් – ක්ලිෆර්ඩ් අභියෝග කුසලාන” ප්‍රදානය උදෙසා දැන් ක්‍රියාත්මක අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛ පෙළ පිළිමළුන් පිටුදැකීමේ රග්බි පාපන්දු තරගාවලියේ තීරණාත්මක අවසාන පූර්ව වටයට පිවිසීමට මහනුවර සමාජය, මෙට්ලන්ඩ් පෙදෙසේ සී. එච්. ඇන්ඩ් එෆ්. සී. සමාජය, ලොන්ඩන් පෙදෙසේ සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. සමාජය සහ හැව්ලොක් උද්‍යානයේ හැව්ලොක්ස් සමාජය සමත් විය.

අර්ධ අවසන් පූර්ව වටයේ දී මහනුවර සමාජය හමුවේ ශ්‍රී ලයන්ස් සමාජය ලකුණු 33 කින් ද සී. එච්. ඇන්ඩ් එෆ්. සී. සමාජය හමුවේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 12 කින් ද සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. සමාජය හමුවේ පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 11 කින් ද හැව්ලොක්ස් සමාජය හමුවේ යුද හමුදා සමාජය ලකුණු 22 කින් ද පරාජය ලැබීය.

ඉකුත් වසරේ “ක්ලිෆඩ් කුසලාන” ශූරතාව දිනා ගත් පොලිස් ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියට එක් වෙමින් මුහුණ දුන් පළමු තරගයේදීම පරාජයට පත්වීම කැපී පෙණුනි. ඒ අතරේ අනු ශූරයන් වූ හැව්ලොක්ස් සමාජයට මෙවර පළමු කඩයිම පැන ගැනීමට හැකියාව ලැබිණි.

මෙවර තරගාවලියේ ආරම්භක අවසන් පූර්ව තරගය (Semi Final) හෙට (01) ප.ව. 04.00 ට මහනුවර සමාජය සහ සී. එච්. ඇන්ඩ් එෆ්. සී. සමාජය අතර මහනුවර, නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර දෙවන අවසන් පූර්ව තරගය අනිද්දා (02) ප.ව. 04.00 ට සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. සමාජය සහ හැව්ලොක්ස් සමාජය අතර කොළඹ හැව්ලොක් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කෙරේ.

අර්ධ අවසාන පූර්ව වටයේ තරග ප්‍රතිඵල පහත දැක්වේ.

සී. ආර්. ලකුණු 31 – පොලිස් ලකුණු 20

ලොන්ඩන් පෙදෙසේ දී පැවැති සී. ආර්. පිල සහ පොලිස් පිල අතර තරගයෙන් ලකුණු 31 – 20 ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට සී. ආර්. ක්‍රීඩකයන් සමත් වූහ.

තරගයේ ප්‍රථම භාගය නිම වන විට ලකුණු 13 – 07 ක් ලෙස පෙරමුණ ගැනීමට පොලිස් පිල සමත් වුවද එය එය ජයග්‍රහණයකින් අවසන් කර ගැනීමට නොහැකි වීම මෙහි දී කැපී පෙණුනි.

සී. ආර්. පිල ගෝල් දිනුම් 04 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු එකතුව සටහන් කර ගත් අතර ගෝල් දිනුම් 02 ක් සහ දඬුවම් පහර 02 ක් මගින් පොලිස් පිලේ ලකුණු එකතුව සටහන් විය.

සී. එච්. ලකුණු 22 – ගුවන් හමුදාව ලකුණු 10

රත්මලානේ දී ක්‍රියාත්මක කෙරුණු සී. එච්. පිල සහ ගුවන් හමුදා පිල අතර තරගයෙන් ලකුණු 22 – 10 ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සී. එච්. ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ ප්‍රථම භාගය නිම වන විට ලකුණු තත්ත්වය 19 – 10 කි.

මෙවර මාස්ටර් කාඩ් ලීග් තරගාවලියේ සිව් වැනි ස්ථානය හිමි කර ගෙන සිටි ගුවන් හමුදාවට එරෙහිව මෙම තරගයේ ජයග්‍රහණය වාර්තා කර ගැනීමට “පළඟ” ශූරතාවයෙන් සෑහීමට පත්වන්නට සිදු වූ සී.එච්. පිල සමත් වීම ඒ අතරේ කැපී පෙණුනි.

ජයග්‍රාහී සී. එච්. පිල ගෝල් දිනුම් 02 ක් උත්සාහක දිනුම් 01 සහ දඬුවම් පහර 01 ක් ආශ්‍රිතව ලකුණු ලබා ගත් අතර ගෝල් දිනුම් 01 සහ දඬුවම් පහර 01 ක් මගින් ලකුණු පුවරුව ඉහළ නංවා ගැනීමට ගුවන් හමුදාවට හැකියාව ලැබිණි.

හැව්ලොක්ස් ලකුණ 40 – යුද හමුදාව ලකුණු 18

හැව්ලොක්ස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී හැව්ලොක්ස් සමාජය හමුවේ ලකුණ 40 – 18 ක පරාජයක අමිහිර අත්විඳින්නට යුද හමුදාවට සිදු විය. ප්‍රථම භාගය නිමා වන විට ලකුණු තත්ත්වය 26 – 11 කි. ජයග්‍රාහී හැව්ලොක්ස් පිල ගෝල් දිනුම් 05 සහ උත්සාහක දිනුම් 01 ක් මගින් ලකුණු රැස් කර ගන්නා අතර වාරයේ දී යුද හමුදාවට සටහන් කර ගැනීමට හැකියාව ලැබුණේ ගෝල් දිනුම් 01, උත්සාහක දිනුම් 01 සහ දඬුවම් පහර 02 ක් පමණි.

මහනුවර ලකුණු 41 – ශ්‍රී ලයන්ස් ලකුණු 08

මෙවර තරගාවලිය ආරම්භ කරමින් ඉකුත් බදාදා (26) නිත්තවෙල දී පැවති ප්‍රථම තරගයේ ජයග්‍රහණය මහනුවර සමාජය සතු විය. එහි දී ලකුණු 33 ක පරාජයක අමිහිර අත් විඳින්නට කෝඩුකාර ශ්‍රී ලයන්ස් සමාජයට සිදු විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment