ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව කියා සිටිය ද දැන් එම පනත උපයෝගී කර ගෙන භාෂණයේ නිදහස හා පුරවැසි නිදහස අහිමි කරමින් මාධ්‍ය දඩයමක නිරත වීම සාධාරණ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03දා) පැවසීය.
හෙතෙම එසේ කියා සිටියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව විපක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කරමිනි.
ආණ්ඩුව මැතිවරණ වේදිකාවල කියූ දේවල් කරන්න කාලය එළැඹ ඇති බවත් එසේ ක්‍රියාත්මක කරන දේවල් ජනතාවට හිතකර නම් විපක්ෂයේ සහයෝගය හිමිවන බවත් රටට සුබවාදී රටටත් ජනතාවටත් වැදගත් වැඩසටහන්වලට පූර්ණ සහයෝගය දෙන බවත් හෙතෙම පැවසීය.
විශාල ජනවරමක් ලබා ගැනීමට රජයට සමාජ මාධ්‍යයේ සහාය ලැබුණත් මේ මොහොත වන විට ඉවත් කරනවා කියූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කර ගෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දඩයම් කරන බවත් කියන දේ කරන ආණ්ඩුවක් නම් මේ මර්දනය නතර කළ යුතු බවත් ඒ මහතා කීය.
ඉවත් කරනවා කියූ ත්‍රස්ත විරෝධී පනත යටතේ ආණ්ඩුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගත්ත ද එම අත්අඩංගුවට ගැනීම ත්‍රස්ත විරෝධි පනත යටතේ සිදු කළ නොහැකි බවට ගරු විනිසුරුවන් පවා කියා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන