නිලමේ අයියා වැඩට හරිම දක්ෂයි. එයාගේ සහෝදරයොත් එහෙමයි. පොල් ගස් වටේ කාණු කපන්නද, සුද්ධ කරන්නද? වෙන ඕනෑ වැඩක් කරපු හයිය හත්තිය තිබුණ මිනිස්සු. වත්තටමයි ජීවිතේ යට කළේ.’

සෙල්ලයියා අලගම්මා, අම්මා දැන් පටන් ගත්තේ නිලමේ අයියාගේ කතාවයි. ඇගේ කතාව සිංහල, දෙමළ උච්චාරණයන්ගේ මුහුවකි. ආයෙත් වතාවක් ඇගේ දෑස්වල කඳුළු පිරෙන්නට පටන් ගත්තේ ඒ අතරේය. ඇයට ඉකි ගැසෙන තාලයට කතාවට විරාම වැටෙයි. යළි ඇරඹෙයි.

‘අන්තිම කාලෙ නිලමේ අයියා එකතැන් වෙලා හිටියේ. ගෙදර හිටපු නිලමේ අයියාව එළියට ඇදලා දැම්මේ, ඇඳෙන් උස්සලා අරන් ගෝනියක තියලා. බඩු මුට්ටු ඔක්කෝම එක්ක, ඒ මනුස්සයාව එළියට දැම්මා.‘ නිලමේ අයියා ට්‍රැක්ටරයකින් දරුවකුගේ නිවසකට ගෙනගොස් දමා ඇති අතර, එහි අවසන් සුසුම් හෙළා ඇත.

නිලමේ අයියා කියා එදිනෙදා කීවාට ඔහුගේ උප්පැන්න නාමය අල්ගම්පිටිගේ සෝමරත්නය. 1920 දී ඔහුගේ පියා අල්ගම්පිටිගේ මනුවෙල් අප්පුහාමි මුලින් මාවත්ත ගොවිපළේ වැඩ පටන්ගත්තේය. නිලමේ අයියා වයස අවුරුදු 16 සිට වත්තේ වැඩය.

ජීවිත කාලයක් වෙහෙස වී රස්සාව කළාට පසු, සිය නිවාසයෙන් 2022 අගෝස්තු මාසයේදී එළියට ඇද දැමූ නිලමේ අයියාගේ ඉරණම, මාවත්ත නම් වූ, අක්කර 1500ක් වූ පොල්වතුයායේ කම්කරු රස්සාව කළ පවුල්වලට අයත් සියල්ලන්ගේ හද කම්පා කරවූ කතාවකි. අපි සිටියේ බණ්ඩිරිප්පුව, ලුණුවිල පිහිටා ඇති, මාවත්ත ගොවිපළේය. මෙය පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ තිබෙන සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ සමාගම් දෙක අතරින් එකක් වන, සීමාසහිත ශ්‍රී ලංකා කුකුළු පාලන සංවර්ධන (පෞද්ගලික) සමාගමේ වතුයායකි. පොල් වත්තක්, කුකුළු සහ අනෙකුත් සත්ව පාලන ගොවිපළ, බිත්තර රක්නාගාර ඇතුළු පහසුකම් මෙහි ඇත. පොදුජනයා සතු සම්පතකි. එහෙත්, ලංකාවේ ඉතාම අකාර්යක්ෂමවම පවත්වාගෙන යන ආයතනයකි.

නිලමේ සහ අරුලානන්දන්

ආණ්ඩුවේ විකුණන තදියම නිසා පාරට ඇද දැමූ මාවත්තේ මිනිස්සු

අප සමග කතා කළේ එහි පරම්පරා ගණනක් සේවය කළ පවුල් ගණනාවකට අයත් උදවිය විශ්‍රාම ගැනීමෙන් පසු, නිවාසවලින් එළියට ඇද දැමීමට රජය ගත් තීන්දුවකින් අවතැන්වූවන්ය. ඔවුන් කර ඇති වරද, ජීවිතයම කඹුරා, ශරීරයට නොහැකි වෙද්දී විශ්‍රාම ගැනීමය.

නිලමේ අයියා වාගේම පවුල් ගණනාවක් එලෙස එළියට දමා ඇත. අවතැන් වූ ලෙච්චමන් අරුලානන්දන් අද ඉන්නේ අඹ ගසක් යටය. තමන්ගේ දෑතින් තැනූ නිවාස දෙසට හූල්ලමින්, එළියට ඇද දමන ලද ගෘහභාණ්ඩ විවිධ තැන්වල තැන්පත් කළ ඔවුහු විවිධ තැන්වලට වී අවතැන්ව සිටිති.

මේ කතාව මේ මොහොතේ ශ්‍රී ලංකා රාජ්‍යය පාලනය කරනු ලබන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු නායක ප්‍රජාව ජනතාව ගැන අසංවේදීව ගෙන යන පෞද්ගලිකකරණය, විකුණා දැමීම මුල් කරගත් රාජ්‍ය ප්‍රතිපත්තියට මෙය අනුබද්ධය. 2022 ඔක්තෝබර් 21 වැනිදා පාර්ලිමේන්තුව සුමිත් උඩුකුඹුර පාර්ලිමේන්තුවේදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පශු සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් කියා තිබුණේ ‘පාඩු ලබමින් පවතින ගොවිපළ කිහිපයක් පෞද්ගලික ආයෝජකයන් සමග එක්ව සංවර්ධනය කර එම ගොවිපළවල නිෂ්පාදන කාර්යය වැඩි කිරීම සඳහා දීර්ඝකාලීනව බදු පදනම මත පෞද්ගලික ආයෝජකයන්ට ආයෝජන අවස්ථා ලබා දීමට සැලසුම් කර ඇත.’ යනුවෙනි.

සැලසුම මෙය විකිණීමටය. ගැනුම්කරුවා වෙනුවෙන්, වතුයායේ සේවය කොට මේ වෙද්දී විශ්‍රාම ගොස් සිටින පවුල්, නිවාසවලින් ඉවත් කර දීමේ වගකීමය, ආණ්ඩුව ඉටු කරමින් සිටින්නේ. අද මේ රාජ්‍ය සම්පත විකිණීමේ තදියම නිසා, එය ගොඩනැගූ මිනිසුන්ට නිදහසේ සැඳෑ සමය ගෙවන්නත් අයිතිය අහිමිය.

සෙල්ලයියා අලගම්මා, 1993 සිට මාවත්ත ගොවිපළේ සේවය කොට, වියපත් වූ පසු රැකියාවෙන් ඉවත් වී තිබුණි. ලැබුණු අර්ථසාධක මුදලින් ඇය තමන්ගේ නිවස හදන්නට පටන් ගත්තාය. ඇයව නිවසෙන් එළියට ඇද දමා තිබුණේ, තමන්ගේ දියණියගේ විවාහය කරන්නට ඔන්න මෙන්න තිබියදීය. සැමියා එකතැන්ව, ප්‍රතිකාර ලබමින් සිටියදීය.

‘ෆන්ට් එකෙන් හදපු මගේ ගෙදර, ගිය අවුරුද්දේ අගෝස්තුවේ මගේ දුවගේ විවාහය කරගන්න බැරි වුණා. මේ අවුරුද්දේ නොවැම්බර් මාසයේ මහත්තයා නැති වුණා. මිනිය තියන්නවත් ඉඩ දුන්නේ නැහැ. අපේ පවුල් අවුරුදු තිහ හතළිය කැළේ කොටලා හම්බ කළා. දැන් අපි අනුන්ගේ ගෙවල්වල. අපට ගෙදර අයිතිය ලැබෙන්න නම් එක්කෝ අපි වැඩ කරන්න ඕනෑ. නැත්නම් දරුවෙක්ව වත්තේ වැඩට දෙන්න ඕනෑ. දැන් වැඩ කරන්න බැහැ සර්.‘ ඒ මංගල්‍යයත්, අවමංගල්‍යයත් තමාගේ දෑතින් තැනූ නිවසේ කරගන්නට බැරි වූ ඇගේ වේදනාවයි.

ජීවිත කාලයක් ජීවිතය වෙනුවෙන්

ආණ්ඩුවේ විකුණන තදියම නිසා පාරට ඇද දැමූ මාවත්තේ මිනිස්සු

සිය පවුලම ජීවිත කාලයම සේවය කළත් පලක් නැත, ඇයට කිසිදු අයිතියක් නැත. ඈතාතීතයේ පැමිණි අර්ධ වහල් ශ්‍රමික ක්‍රමවේදයක වාගේ, දරුවාව හෝ වැඩට යැවීමෙන් මිස තමන්ගේ ජීවන භුක්තිය තිබූ නිවාසය රැකගැනීමේ අවසරය ඔවුන්ට නැත.

අපි මේ නිමා කරන්නේ, ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සිට මලයග දෙමළ ප්‍රජාව පැමිණ වසර 200ක් ගතවෙන වසරයි. ඔවුන් මුහුණදුන් ගැටලු රාශියක් කාලාන්තරයක් තිබුණේ මෙරට දේශපාලන සාකච්ඡාවලින් බැහැරවය. ඔවුන්ගේ හඬ නෑසෙන තරම් වීය. ඔවුන්ගේ ගැටලු අදෘෂ්‍යමාන වීය. ලක්ෂ ගණනක ජනප්‍රජාවකගේ හඬ එසේ නෑසී ගියේ නම්, ඉන්දියාවෙන් පැමිණි පවුල් 12කින් ඇරඹුණු මාවත්තේ වැසියන්ගේ හඬ කාට ඇසෙනු ඇතිද?

අප මේ කතා කරන අසාධාරණයට ලක් වූ ජනකොට්ඨාශයෙන් බහුතරය ඉන්දීය දෙමළ සම්භවයක් ඇති පවුල්ය. ලාංකික පවුල් කිහිපයක්ද සිටී. නවසිය ගණන්වල මුල (බොහෝ අයට තමන්ගේ පවුල පැමිණි නිශ්චිත වර්ෂය මතකයේ නැත.) ලංකාවට පැමිණි ඔවුන්ගේ පරපුර මාරවිල මාවත්ත පොල් වතුයායක පදිංචි විය. පොල් වතුයායේ පොල් තිබියදීම එම වතුයාය සත්ව පාලනය දක්වාත් යොමු වීය. එලෙස පරම්පරා කිහිපයක් තිස්සේ වත්තටම කඹුරමින් දිවි ගෙවූ උදවියය, මෙලෙස නිවාසවලින් එළියට ඇද දමා ඇත්තේ.

මුලින් පැමිණි පවුල් 12කට ලැබී තිබුණේ ලැයිම් කාමරය. පවුල් සංඛ්‍යාව වැඩි වන විට අමතර ලැයිම් නිවාස ලැබී තිබුණත්, ඒවා අඩු පහසුකම්වලින් යුක්ත වීය. වයස අවුරුදු 12 වැනි ළාබාල වයසේ සිට වත්තේ වැඩට ගිය අය ඒ අතර සිටී. ඔවුහු ඉතා අඩු දෛනික වැටුප්වලට වැඩ කර ඇත්තෝය.

‘රුපියල් හැටේ පඩියට මුලින් ගියා. විශ්‍රාම ගනිද්දී දවසක වැටුප රුපියල් 850යි.‘ මෙසේ කීවේ වල්ලිඅම්මාය.

‘මගේ අම්මා පාර්වතී. එයාගේ අම්මා මාරම්මා. මම අවුරුදු 12 ඉඳන් වත්තේ වැඩ. දවසට පැය අටේ වැඩ මුරයක් කියලා නෑ. උදේම වත්තට යනවා. හැන්දෑ වෙනතුරු වත්තේ වැඩ කළා. ඒ අතරේ මම දරුවන් පස්දෙනෙක් හැදුවා. ඒ ළමයි රස්සාවලට ගියා. මේ වැටුපට මේ වත්තේ වැඩ කරන්න යවන්න බැහැනේ. පුතාලා වත්තේ වැඩ කළාට, කසාද බැන්දාම පඩිය මදි නිසා අස් වුණා. එළියට දාපු ගමන් අපි වත්ත ඇතුළේම තියෙන පිට්ටනියේ මඩු ගහගෙන හිටියා. ඒත්, අපට කිව්වා වත්ත ඇතුළේ ඉන්න එපා, පාරට ඇදලා දානවා කියලා. ඒ නිසා අපි එතැනින් යන්න ගියා. ජීවිත කාලෙම වැඩ කරලා ගත්ත, අර්ථසාධක සල්ලි ඔක්කොම අපි මේ ගෙදරට යට කළා. දැන් ඉන්න තැනක් නැහැ.‘ වල්ලිඅම්මා වැඩිදුරටත් එසේ කීවාය.

මේ ලැයිම් කාමරවල ජීවත් වූ පවුල්, කල් යද්දී ඒ ඒ ලැයිම් කාමර අලුත්වැඩියා කරමින් නිවාස තනාගැනීමට පාලනාධිකාරයේ අවසර පතා තිබුණි. ජීවිත කාලයක් වත්තට යට කළ දහදිය කඳුළුවල අවසන් මුදල්මය ප්‍රතිඵලය වූ අර්ථසාධක මුදල අතට ගත් විගස තම තමන්ගේ නිවාස තනාගැනීමට බොහෝ අය යොමු වීය. ඒ අනුව මේ නිවාස ඔවුන් තමන් උපයාගත් මුදලින් තනාගත් ඒවාය.

ඔවුන්ට කිසි අවබෝධයක් නොතිබුණත්, 2017 සිට රජයේ නිල නිවාසවලින් අනවසර පදිංචිකරුවන් ඉවත් කොට, ඉඩම් යළි පවරාගැනීමේ නීතිරීති පාවිච්චි කරමින්, ඔවුන්ව නිවාසවලින් එළියට දැමීම සඳහා නීතිමය කටයුතු අරඹා තිබුණි. එදා රනිල් වික්‍රමසිංහ රජය බලයේ සිටි අතර, මෙම ඉඩම් සියල්ල අත්පත් කරගෙන විකුණා දැමීමේ ප්‍රතිපත්තිය වෙනුවෙන් උක්ත ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණි. 2022 දී නිවාසවලින් එළියට ඇද දමමින් අවසන් කර තිබුණේ ඒ ක්‍රියාවලියයි.

මේ උදවිය අද මේ මොහොත වන විට මාරවිල ප්‍රදේශයේ සිංහල, බෞද්ධ මෙන්ම කතෝලික සංස්කෘතිය සමග අපූර්ව ආකාරයකින් ඔවුන් මිශ්‍ර වී ඇත.

සංහිඳියාවේ ගම්මානයක්

‘අපේ පවුල් අවසන් කටයුතු කරන්න මරණාධාර සමිතියට සම්බන්ධ වුණා. පන්සලට බැඳුණා. කෝවිලක් තියෙන්නේ මීගමුවේ.‘ අලගම්මා කියන්නීය. ගමේ ඇති දේවාලය සියලු ආගම්වල මුසුවකි. බෝධියක් ඇත, බුද්ධ ප්‍රතිමා වහන්සේ, කාලි අම්මා, ජේසුස් ප්‍රතිමා වහන්සේ, මෙන්ම ගණ දෙවියන්ද එහි ඒ ඒ කුටිවල වැඩ වසත්හ. සාම්ප්‍රදායික බෞද්ධ ඌරුවක් ඇති දේවාලවල දක්නට නොමැති හින්දු දෙවිවරුන් වැඩ සිටීමත්, කතෝලික සම්ප්‍රදායෙන් ලබා ඇති ආභාසයත් මේ ජන කොට්ඨාශයේ ඇදහිලි සංස්කෘතියෙහි විවිධත්වය කියා පායි.

අද ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර මෙන්ම ඇදහිලිත් පන්සල් හා සම්බන්ධ වේ. මළගෙදරක් කරන්නේ සිංහල ආරටය. යන්නේ පන්සලටය. දරුවන්ට උගන්වන්නේ සිංහලෙන් වන නිසා, තරුණ පරපුරේ සමහරුන් දෙමළ දන්නේත් නැත. සමහර දරුවන්ට නම් යොදා ඇත්තේත් සිංහලෙනි. මෙය ‘සිංහලකරණයක්’ විදියට ඍණාත්මකව ලේබල් කරන්නටවත්, ඉතා සුන්දර සංස්කෘතික මුහුවක් ලෙස ධනාත්මකව සෞන්දර්යකරණය කරන්නටවත් අප සූදානම් නැත. මේ මිනිසුන්ගේ ජීවන යථාර්ථයට අප අර්ථකථන දෙන්නේ කුමකටද? මේ ඔවුන්ගේ ජනවාර්ගික අනන්‍යතාව, සංස්කෘතික පැවතුම් හෝ ආගමික ඇදහිලි නොව, කා බී ජීවත් වූ නිවස පවා අහිමි කර දැමූ මොහොතකි.

එසේ විග්‍රහ කරන්නේ නම් 1983 කළු ජූලිය මොහොතේ මාවත්තට කඩාවැදුණු මැරයන් ගැනත්, ඔවුන් වනගත වී සැඟවී තමන්ගේ දේපළ කොල්ලකන අයුරු බලා සිටි හැටිත් දීර්ඝ ලෙස කතා කරන්නට සිදු වනු ඇත. එහෙත් දැන් කතාව ඇත්තේ එතැන නොවේ.

‘ඉන්න තැනක් අරන් දුන්නොත් ඇති. නිකං ඉඳලා නෙවෙයිනේ අපි මේක ඉල්ලන්නේ. මැරිලා මැරිලා මැරිලා වැඩ කරලානේ. අපෙන් වැඩ අරගෙන, දැන් අපව එළියට ඇදලා දාන එක අසාධාරණයිනේ. ඒ ගැන හිතලා තමයි අපට දුක.‘ අලගම්මා කැටි කළේ ඔවුන්ගේ පොදු ඉල්ලීමය.

ඔවුන්ට ඉඩම් අයිතිය ලබා දුන්නාට ඔය වතුයායෙන් මහා පංගුවක් විනාශ වන්නේ නැත. අක්කර 1500ක පමණ සමස්ත වතුයායෙන් මේ ඉල්ලා සිටින්නේ අක්කර තුනහතරක භූමියකි. අක්කර සිය ගණන් අල්ලාගෙන පුද්ගලික අංශයේ බලවතුන් සිටී. අල්ලාගත් දැවැන්ත ඉඩම් යායවල් අපි අපේ දෑසින් දුටුවෙමු. ඒ ඉඩම් අතර, 1977 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත් ව ගෙන ආ ‘ඉඩම් අත්පත් කරගැනීමේ විශේෂ විධිවිධාන පනත‘ යටතේ පර්චසය රුපියල් 10ට එවකට එක්සත් ජාතික පක්ෂ දේශපාලනඥයෙකු වූ විජයපාල මෙන්ඩිස් ලබා ගත් කුප්‍රකට ඉඩමත් ඇත. ඉතිහාසයේ ලියැවී ඇති එම ඉඩම් කොල්ලයන් හමුවේ, පරම්පරා ගණනක් ලේ, දහදිය පොළොවට යට කළ මිනිසුන්ට නිවෙසක් දෙන්නට බැරි නම් මේ රාජ්‍යය කෙතරම් බිහිසුණුද? සාහසිකද?

සේවාව අමතක කළ රජයේ ගොවිපල

සීමාසහිත ශ්‍රී ලංකා කුකුළු පාලන සංවර්ධන (පෞද්ගලික) සමාගම සමාගම මීට පෙර ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට සීයට 51ක් සහ ලිබියානු අරාබි විදේශ ආයෝජන සමාගමට සීයට 49ක් කොටස් අයිතිය තිබූ සමාගමක් විය. 2014 දී ලිබියානු සමාගම සතු වූ කොටස්ද, පශු සම්පත් මණ්ඩලයට මිලට ගත් අතර, රජයට පූර්ණ අයිතිය ඇති සමාගමක් බවට පත්ව තිබුණි. එහෙත්, එලෙස පවරාගත් මොහොතේ සිට මේ වටිනා සම්පත නිසිපරිදි කළමනාකරණය කර තිබුණේත් නැත. ලංකාවේ සත්ව නිෂ්පාදන ක්ෂේත්‍රයට මෙයින් ඉටු කළ හැකි මහඟු සේවය ඉටු නොවුණේ ඒ නිසාය.

2020 දී අමාත්‍ය චමල් රාජපක්ෂ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් අනුව, 2020 ජුනි 10 වැනිදා තීන්දු කර තිබුණේ, මෙම සමාගම විසුරුවාහැර ඒ යටතේ ඇති මාවත්ත ගොවිපළ සහ එහි කාර්යමණ්ඩලය ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයටයට අන්තර්ග්‍රහණය කරගැනීමටය. ඈවරකරුවෙකු පවා පත් කළත්, තවමත් එම ක්‍රියාවලිය අවසන් කර නොමැත.

කෙසේ නමුත්, රජය සතු මෙම ගොවිපළවලින් ගත හැකි සේවාවන් බොහොමයකි. අප කුකුළුමස්, බිත්තර ඇතුළු සත්ව නිෂ්පාදනවල මිලාධික බව ඇතුළු ගැටලු කිහිපයක් දකින්නේද? ඒවා ආමන්ත්‍රණය කරන්නට මෙම ගොවිපළ උපකරණයක් ලෙස පාවිච්චි කළ හැක. සංවර්ධන සැලසුමක් ඇති රජයකට, ග්‍රාමීය ආර්ථිකයේ දුර්වල තැන් ආමන්ත්‍රණය කරන්නට මෙම ආයතන මහඟු සම්පතකි.

ආණ්ඩුවේ විකුණන තදියම නිසා පාරට ඇද දැමූ මාවත්තේ මිනිස්සු

කුකුළු පාලන කර්මාන්තයේ සංවර්ධනයට අදාළ ව්‍යාපෘති හඳුනාගැනීමත්, තාක්ෂණික දැනුම යොදාගැනීමත් මේ ආයතනයේ කාර්යභාරයක් ලෙස හඳුනාගෙන තිබේ. කුකුළු නිෂ්පාදන ක්ෂේත්‍රයේ සංවර්ධනයට අවශ්‍ය සම්පත් දායකයන් හා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන දේශීය හා විදේශීය වශයෙන් ලබාගැනීම මෙන්ම, සමුපකාර ක්‍රම ආදිය පාවිච්චි කරමින් ග්‍රාමීය ආර්ථිකය සමග ඒකාබද්ධ වී දියුණු මට්ටමෙන් ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම එහි තවත් කාර්යභාරයකි. නිෂ්පාදකයන්, පාරිභෝගිකයින් සහ ගැනුම්කරුවන් හඳුනාගැනීමත්, එම කර්මාන්තයට අවශ්‍ය කරන ආහාර, ඖෂධ වර්ග ඇතුළු සියලු ආයතනික සම්බන්ධීකරණයන් සිදු කිරීම මගින්, මෙම ආයතනයට විශාල භූමිකාවක් ඉටු කළ හැක. එයින් ලාභ ඉපැයීමේ හැකියාවත් ඇත.

ඒ සියල්ලට පෙර ආයතනයේ අකාර්යක්ෂමතා නැති කළ යුතු බවට නම් විවාදයක් නැත. පසුගිය වසර කිහිපයක විගණකාධිපති වාර්තා පෙන්වා දෙන්නේ ආයතනයේ දරුණු අකාර්යක්ෂමතා ගොන්නකි. වත්තේ වැඩ කරන අය පවා කියන්නේ, තම තමන් දියුණු වූවා මිසක, මෙම වතුයායේ පරිපාලකයන් ක්ෂේත්‍රයේ දියුණුවට කළ දෙයක් නැති බවය.

විගණකාධිපති වාර්තා කිහිපයකම පෙන්වා දී ඇත්තේ, මෙම වත්තේ පොල් වගාවට අමතරව තවත් බෝග වගා කිරීමේ හැකියාව පවතින බවත්, එයින් ලාභ ලැබිය හැකි බවත්ය. ඊටත් අමතරව දැනටමත් මෙම වතුයායේ තිබෙන රන් තැඹිලි ගස්වල ආදායම හරිහැටි ගණනය කර නොමැති බවත් පෙන්වා දී තිබේ. ඊට අමතරව මෙහි බිත්තර රැකීමට ඇති රක්නාගාරයේ ධාරිතාවෙනුත් හරිහැටි ප්‍රයෝජන ගන්නා බව පෙන්වා දී තිබේ.

2020 විගණකාධිපති වාර්තාවේ ඇති කරුණු අතරින් ප්‍රධාන කරුණු දෙකක් පමණක් ගනිමු. බ්‍රොයිලර් කුකුළන් විකිණීම, කොල්ලුපිටිය විකුණුම්හල, බිත්තර විකිණීම සහ කුකුළන් විකිණීමෙන් 2019 දී රුපියල් මිලියන 9ක ආදායමක් තිබුණි. එම ආදායම් සම්පූර්ණයෙන් 2020 වෙද්දී අහිමි කරගෙන තිබුණි. දෙවැනි කරුණ වන්නේ ගොවිපළේ ඇති පොල්ගස් 9000ක ආදායමයි. එක් මුරයකදී ගෙඩි 50,000ක් කැඩීමට හැකි බවත්, ඒ අනුව වර්ෂයකදී රුපියල් මිලියන 26ක ආදායමක් ඉපැයීමේ හැකියාව ඇති නමුත්, උපයා ඇත්තේ මිලියන 15ක් පමණක් බවත් එහි පෙන්වා දී තිබේ. එමෙන්ම පොල්ගස් පිළිබඳ තොරතුරු අඩුවෙන් දක්වා තිබේ.

මෙසේ තිබියදී වුව 2021 දී මෙම සමාගම රුපියල් මිලියන 9ක් ලාභ උපයා තිබුණි. ග්‍රාමීය ප්‍රජාවත් දායක කරගනිමින්, මෙහි ජීවත්වෙන සේවකයන්ට නිසියාකාර වැටුප් ඉපැයීමේ හැකියා ඇති රැකියා අවස්ථාවන් ජනනය කරමින් කටයුතු කරන්නේ නම් මෙම ගොවිපළ මහඟු සම්තකි.

විගණකාධිපති වාර්තා කිහිපයක සඳහන්ව තිබෙන තිබෙන, එක් විශේෂ කරුණක් වන්නේ බාන්ස් පෙදෙසේ ඇති කාගේ හෝ පරිභෝජනයට අත්හැර දමා ඇති නිවස ගැන කතාවයි.

‘2014 වර්ෂයේ රු. 22,500,000කට අගය කරන ලද බාන්ස් පෙදෙසේ පිහිටි නිවාසයෙහි වටිනාකම සාධාරණ අගයට මූල ප්‍රකාශනවලට ගෙන නොතිබුණි.‘ යනුවෙන් වාර්තා කිහිපයක සඳහන්ව තිබුණි. 2020 විගණකාධිපති වාර්තාවේ සඳහන් වන්නේ, මෙම නිවසේ දැනටමත් නිලධාරියෙකු පදිංචිව සිටින බවත්ය.

කාලිමුත්තු තෙයිවානිගේ පරම්පරා හතරක් මේ වත්තට සේවය කර ඇත. දැන් ඇය සැත්කමක් කර සිටින හෘදය රෝගී මිත්තණියකි. ඇගේ ආදරණීය මුණුපුරා ශිෂ්‍යත්වය ඉහළින් සමත්ව සිටියත්, ඉන්න හිටින්නට තැනක් නොමැතිකම ඒ අධ්‍යාපනය වනසා දමන්නට හේතු වී තිබේ. ශංකරන් වල්ලිඅම්මා, සෙල්වදොරේ රාජේන්ද්‍රන්, සින්නතම්බි සෙල්වම්, ලෙච්චමන් අරුලානන්දම්, අශෝකන් දිනූෂා ආදී නම් 20කට වැඩි ප්‍රමාණයක් මේ නිවාස අහිමිවූවන් අතර පෙන්වාදිය හැක.

මේ සියල්ලන්ගේ කතා, උක්ත පිරිසේ අසරණකම, නොහැකියාව ඉස්මතු කරමින් අවසන් කරන්නට අපට හිත් නොදේ. මේ ජනතාව අද තමන්ගේ ඉඩම් අයිතිය වෙනුවෙන් තමන්ට හැකි දේ කරමින් සිටී. විවිධ ක්‍රියාකාරීන්, ජනමාධ්‍ය සහ නීතිඥවරුන් සහයෝගය දක්වමින් සිටී. ඇතැම්විට, මෙතෙක් කල් නිහඬව සිටි ඔවුහු, හෙට දිනයේ තදින් තම තමන්ගේ හඬ නගනු ඇත. තමන් ජීවිත කාලයක් සේවය කරමින් උපයාගත් තමන්ගේම අයිතිය පමණක් නොව, තමන්ගේ ලේ දහදිය මෙන්ම පරම්පරා හතරක වෙහෙසින් ගොඩනැගූ, අද අකාලයේ මියැදෙමින් තිබෙන, මාවත්ත ගොවිපළත් රැකගැනීමට ඔවුන් පෙරට පැමිණෙනු ඇත.

තරිඳු උඩුවරගෙදර


advertistmentadvertistment