නිලධාරීන්ගේ නොසැළකිල්ල සහ ආරක්ෂිත වැටක් නැතිකම ඛේදවාචකයට මුලයි – ගම්මුන්ගෙන් චෝදනා
පොලොන්නරුව සේවාගම ප්‍රදේශයේ රජයේ ලියාපදිංචි ආබාධිත වූවන්ගේ පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවීම් ලබමින් සිටි අවුරුදු 23ක් වයසැති තරුණයකු ළමා නිවාසය අසල ඇති ඇළකට වැටී දියේ ගිලීමෙන් මියගොස් ඇති බව පොලොන්නරුව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ඇළහැර සෑගල ගම්මානයේ පදිංචි බී. කේ. ජී. සුධීර රොෂාන් නමැති අවුරුදු 23ක පමණ වයසැති තරුණයෙකි. සේවාගම ළමා නිවාසයේ පුහුණුවීම් ලබමින් සිටි මෙම තරුණයා ඉකුත් 04 දා උදේ 11.45ට පමණ ළමා නිවාසය ආසන්නයේ ඇති අතු ඇළට එහි රැඳී සිටින තවත් ළමුන් දෙදෙනකු සමග බැස්ස අවස්ථාවේ ඇළට වැටී ඇති බව පොලොන්නරුව පොලිසිය කියයි.
ඇළට බැස්ස සුධීර රෝෂාන් ඇළේදී මුනින් අතට වැටී ඇති අතර ඇළට ගිය ළමයකු දුවගෙන ඇවිත් ‘සුධීර ඇළේ ඉන්නවා නැගිටින්නේ නෑ’ කියා එහි සේවකයන්ට පවසා තිබේ. විනාඩි 30ක පමණ කාලයක් ඇළේ වැටී සිටි සුධීර ළමා නිවාසයේ සේවකයන් ඇළට පැමිණ, තරුණයා ඇළෙන් ගොඩට ගෙන තිබේ. එහෙත් රෝෂාන් ඇළෙන් ගොඩට ගත්තද ඒ අවස්ථාව වන විටත් රොෂාන් මියගොස් සිටියහ. උතුරු මැද පළාත් සභාවේ ලියාපදිංචි මෙම ළමා නිවාසය ආසන්නයේ තවත් ළමා නිවාසයක් ඇති අතර දෙවැනි ළමා නිවාසයේ රැඳී සිටින අවස්ථාවේ අවාසනාවන්ත ලෙස මෙම තරුණයාගේ මරණය සිදුවී තිබේ. මෙම ළමා නිවාසය පිහිටා ඇති ස්ථානයේ අතු ඇළක් ඇති බවද ඇළට ආරක්ෂක වැටක් නැත. මෙහි රැඳී සිටින ආබාධිත ළමුන් තිදෙනකු ඇළට බසින අවස්ථාවේ එහි සේවය කරන නිලධාරීන් ඇළට බැසීම වැළක්වූවා නම් මෙම තරුණයාගේ ජිවිතය බේරා ගැනීමට හැකිවෙනු ඇතැයි ගම්වැසියෝ පෙන්වා දෙති.
සුධීර රොෂාන් සමග ඇළට බැස්ස ළමුන් දෙදෙනා ළමා නිවාසයේ සේවකයන්ට දැනුම් දෙනතෙක් මෙම තරුණයා පිළිබඳ සේවකයන් සොයා බැලීමක් කර නොමැති බවද වාර්තා වේ. මරණ පරීක්‍ෂණය පොලොන්නරුව රෝහලේ දී පැවැත්වුණ අතර මෙම මරණය දියට වැටී දිය පෙවීමෙන් සිදුවූ මරණයක් බව මරණ පරීක්ෂණයේදී තීරණය විය.
පොලොන්නරුව පොලිසිය මරණය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
ඇළහැර – නිශ්ශංක වෙලගෙදර