හිනිදුම ඝාතන ත්‍රිත්වයත්

කරන්දෙනිය සුද්දාගේ වැඩක් !

දකුණට යන්නත් බයයි…

එස්. ටී. එෆ්. එකටත් ඔත්තු දීලා…

තුන් සිංහලයම එක්සේසත් කළ දුටුගැමුණු රජ පාලන සමයේ සිට පැවත එන ඓතිහාසික දකුණු පුර මෑතක් වනතුරු ප්‍රසිද්ධව තිබුණේ දැවැන්ත යුග පුරුෂයන් රටට, ලෝකයට දායාද කළ පිංවත් භූමියක් ලෙසින්ය. එම යුග පුරුෂයන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මෙරට පමණක් නොව ජ්‍යත්‍යන්තරය තුළ පවා සිදුකළ සේවය අතිමහත්ය. එම නිසා දකුණු පුර වැසියන් ශ්‍රී ලංකා මාතාවට ගෙන දුන්නේ මහත් කීර්තියකි. ආඩම්බරයකි. සෑබැවටම ඒ අතීතය වර්තමානය වන විට දකුණේ එම තත්ත්වය සැබැවින්ම වෙනස් වී තිබේ. ඒ දකුණු පුරයෙන් බිහිවූ මෙලෝ රහක් නැති පාතාල අපරාධකරුවන් නිසාය. එම පාතාලයෝ දරුණු ගණයේ අපරාධ සිදුකරමින් දකුණේ පමණක් නොව රටේම ජනතාව භීතියට පත්කිරීමට වෙර දරති.

වර්තමානය වන විට දකුණු පළාත තුළ නිදහසේ ඇවිදීමටවත් නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. පසුගිය කාල සීමාව තුළ පාතාල වෙඩික්කරුවන්ගේ ගොදුරු බවට පත්වූ අහිංසක ජනතාව දෙස බැලීමෙන් එය මනාව පැහැදිලි වේ. කොටින්ම කිවහොත් ගෝත්‍රික පාතාලයක් දකුණේ පැතිරවීමට එම අපරාධකරුවෝ උත්සාහ කරති.

සුන්දර, ප්‍රෞඪ අතීතයක් තිබුණු දකුණු පළාත පාතාල අපරාධකරුවන් නිසා වෙනස්වීමට පටන් ගත්තේ අනූව දශකයේ මැද භාගයේ සිටයි. එම කාලය තුළ කොළඹ පාතාලය පරදා දකුණු පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම හිස ඔසවමින් තිබුණි. කොළඹ පාතාලය මෙන් නොව දකුණු පාතාලය ඉතාමත් භයානක ගෝත්‍රික ගණයේ පීචංම පාතාලයකි. එය එලෙස වනුයේ කොළඹ පාතාලය බොහෝ දුරට ලෙයට ලෙයින් පලි ගන්නේ තම හතුරාගෙන් පමණි. එහෙත් දකුණු පාතාලයේ එලෙස නොමැත. ඔවුහු තම සතුරාගෙන් පලි ගැනීමට නොහැකි වුවහොත්, ඔහුගේ අම්මා, තාත්තා, සහෝදරයා, ඥාතියා නැතහොත් මිතුරකු හෝ ඝාතනය කර තම පලිය ගන්නේ ගෝත්‍රිකයන් මෙන්ය. ඇත්තටම එය පීචං පාතාලයකි.

දකුණු පාතාලයේ මිලේච්ච සහ ආරම්භක පුරුක් ලෙස සූරියවැව රත්නවීර, වම්බොට්ටා, පාලංකඩ ගීනා, කඩිගමුවේ සැරයන්, අලකිරියා, ඕකෙවෙල ජගත්, පල්ලත්තර ජගත්, ජුලම්පිටියේ අමරේ, විතාරන්දෙණියේ ජදූර, ලන්දේවත්තේ බාලයා, බැදිගම උක්කුවා, ඕකෙවෙල ගයාන්, බටු මහත්තයා, ඇට ඉන්දික, ආමි ජිනේ, ස්ටැන්ලි තාබෘ සහ එස්. ටී. එෆ්. නඳුන්, කළු අජිත් වැන්නවුන් හැඳින්විය හැකිය.

දකුණු පාතාලයෙන් බිහිවූ දෙවන පරපුර ලෙස මාකඳුරේ මධුෂ්, කොස්ගොඩ සුජී, රත්ගම විදුර, කොස්ගොඩ තාරක, මනෝජ් මෙන්ඩිස්, පොඩි ලැසී, කරන්දෙණිය සුද්දා, රාජු, ලොකු පැටී, පොඩි පැටී, උනාකුරුවේ ශාන්ත, වැලි සැන්ඩ්‍රා, පොඩි පෝල්, කළු තුෂාර, කොස්ගොඩ ලොකුවා ආදී තවත් නම්ගිය දරුණු ගනයේ අපරාධකරුවන් බොහෝ පිරිසක් සිටිති. මොහුන් ගෝත්‍රික ගනයේ අතිශය දරුණු අපරාධකරුවන් ලෙස හැඳින්විය හැකිය. වර්තමානය වන විට මේ අතරින් කිහිප දෙනකු සිටින්නේ අඩි හයක් පොළොව යට සදාකාලික නින්දේය. තවත් පිරිසක් විදෙස් රටවල සැඟවී සිට මෙරට සිටින තම ගෝලබාලයන් යොදවා පාතාල අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම සිදුකරගෙන යති. ඒ අය අතරින් කරන්දෙනිය සුද්දා නැමැත්තා දරුණුම ගනයේ අපරාධකරුවකු ලෙස හැඳින්විය හැකිය. ඔහු ඒ තරමටම මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු දරුණු ගනයේ අපරාධ පමණක් නොව මත්ද්‍රව්‍ය ජාවාරමද සිදුකරගෙන යයි.

එලෙස විටින් විට කරළියට පැමිණෙන කරන්දෙණිය සුද්දා ගැන යළි කතාබහට ලක්වූයේ පසුගිය මස තිස් වෙනිදාය. ඒ දකුණු පළාතේ හිනිදුම පොලිස් වසමේ පනංගල ප්‍රදේශයේ දී සිදුවූ චිකාගෝ පන්නයේ ත්‍රිපුද්ගල ඝාතන සිද්ධියත් සමගයි. එම සිද්ධිය සැකවින් මෙසේය.

හිනිදුම පොලිස් වසමේ පනංගල, මහබෝධිවත්ත ලිපිනයේ පදංචි පරගහගොඩ විදානෙලාගේ දොන් ඉඳුනිල් සමන් කුමාර අවුරුදු පනස් හතරක් වයසැති පුද්ගලයෙකි. විවාහකයෙකි. තම ජීවිකාව ගෙන යෑම සඳහා විවිධ ව්‍යාපාරවල නිරතවූ ඔහු දකුණු පාතාලය සමගත් සමීප සම්බන්ධතා පැවැත්වූ අයෙකි. එම ප්‍රදේශයේ පැවති දිසාරා ලැගුම්හලේ අයිතිකරු ලෙස කටයුතු කළේ ද මොහුය. ඔහු එම ලැගුම්හල වසර කිහිපයක් සාර්ථක ලෙස පවත්වාගෙන ගියේ සැලකිය යුතු ආදායමක් මාසිකව උපයා ගනිමින්ය. එහෙත් කලක් යද්දී ලැගුම්හලින් ලැබෙන ආදායම අඩුවන්නට පටන් ගත්තේය. එයට ප්‍රධාන හේතුව වූයේ ඔහු පාතාලය සමග සම්බන්ධතා පවත්වාගෙන යෑම නිසා ලැගුම්හලේ වැඩකටයුතු සඳහා යොමු කළ කාලය අඩුවීමයි.

ඉඳුනිල් පාතාලයේ සම්බන්ධතා මත කරන්දෙනිය සුද්දාව දැන හඳින ගන්නේ දැනට වසර කිහිපයකට ඉහතදීය. ඉන් පසු ඔහු කරන්දෙණිය සුද්දා සමග කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේය. එම පාතාල උණත් සමග කරන්දෙණිය සුද්දාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට හා අපරාධවලටද නන් අයුරින් මොහු දායක විය. එම නිසා අවස්ථා කිහිපයකදී ඔහු පොලිස් අත්අඩංගුවට පවා පත්විය.

කලක් එලෙස ගත වෙද්දී දෙදෙනා අතර විරසකයක් ඇතිවුණි. එම විරසකයට ප්‍රධාන හේතුව මුදල් ගනුදෙනුවක් බව පැවසේ. ඉන් පසු කරන්දෙනිය සුද්දාගේ හතුරෙක් බවට ඉඳුනිල් පත්විය. අවස්ථා කිහිපයකදී කරන්දෙනිය සුද්දා ඉඳුනිල්ට තර්ජනය කර පැවසුවේ “තමන්ගේ වැඩවලට ඇඟිලි නොගසා පාඩුවේ සිටින ලෙසයි.” එහෙත් ඉඳුනිල් එම තර්ජනවලින් සැලුනේ නැත.

පසුගිය රජයේ එම පළාතේ ප්‍රබල දේශපාලනඥයකු, ඔහුගේ ලේකම්වරයකු ඇතුළු පිරිසක් ඉඳුනිල් ළඟින්ම ඇසුරු කළේය. එයට අමතරව තවත් සමාජයේ කැපීපෙනෙන විවිධ චරිත ඔහුගේ මිතුරන් බවට පත්විය. එමනිසා ඉඳුනිල් එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පුද්ගලයකු බවට පත්වී සිටියේය. එම ප්‍රසිද්ධිය, දේශපාලන බලය සහ මැරබලය තමන් වටා ඇතැයි සිතූ ඔහු කරන්දෙණිය සුද්දා ගේ තර්ජන ගර්ජන සත පහකට මායිම් නොකළේය.

එතනින් නොනැවතුණු ඔහු කරන්දෙණිය සුද්දාට පාඩමක් ඉගැන්විය යුතු යැයි සිතුවේය. ඒ වන විට ඔහු ආරක්ෂක අංශයේ නිලධාරීන් සමග පවා සමීප සම්බන්ධතා පවත්වාගෙන ගියේය. විශේෂයෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙක් සමගයි. ඉඳුනිල් එම නිලධාරියාට කරන්දෙණිය සුද්දාගේ පාතාල අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම ගැන තොරතුරු පවා ලබා දුන්නේය. එහෙත් වැඩි කලක් නොගොස් කරන්දෙණිය සුද්දා ඒ බව දැනගත්තේය.

“ඉඳුනිල්ට තවත් ජීවත් වෙන්න දෙන්න බැහැ. මට විරුද්ධව එස්. ටී. එෆ්. එකට ඔත්තු දෙන්නත් පටන් අරන්. මෙහෙම ගියොත් මගේ වැඩ ටික පාඩුවේ කරගෙන යන්න බැහැ. මම කොච්චර තර්ජන කළත් ගණන් ගන්නෙත් නැහැ. ඉක්මනටම මිනිහව ඉවරයක් කරලා දාන්න ඕනා. නැත්නම් මිනිහා විශාල කරදරයක් වෙනවා. ඒක නිසා ඌ ගැන ඇහැගහගෙන ඉන්න. වෙලාව ආවාම මම කියන්නම් කරන්න ඕන දෙය.” කරන්දෙණිය සුද්දා තම ගෝලබාලයන්ට ඉඳුනිල් ගැන පැවසුවේ එලෙසින්ය.

සමාජයේ ප්‍රබලයන් ඇසුරු කළත් පසුගිය වසර කිහිපය තුළ ඉඳුනිල් සිටියේ ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ දෙමින්ය. එයින් ගොඩ ඒමට නම් හැකි ඉක්මනින් මුදල් ටිකක් සොයාගත යුතු යැයි ඔහු කල්පනා කළේය. ඒ පසුගිය රජය පැවති සමයේය.

ඒ අනුව ඉඳුනිල් පසුගිය වසර දෙක තුන ඇතුළත ඔහුගේ හෝටලය විදේශීය රැකියා ලබාදීමේ මධ්‍යස්ථානයක් කොටගෙන විදේශ රැකියා සැපයීමේ නියෝජිතයකු ලෙස කටයුතු කළේය. ඔහු එම රැකියා අපේක්ෂිතයන් සෘජුවම යොමු කර ඇත්තේ ගාල්ල දිස්ත්‍රික් එජාප සංවිධායක සහ හිනිදුම ආසනයේ මනූෂ නානායක්කාර සහ වජිර අබේවර්ධනගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ ප්‍රියන්ත ජයතිලක නමැත්තාට ය. ප්‍රියන්ත ජයතිලක නමැත්තා එජාප ගාලු දිස්ත්‍රික් සංවිධායක ධුරයට අමරව ප්‍රදේශයේ විහාරස්ථානයක බස්නායක නිලමේ තනතුරක් හිමි පුද්ගලයෙකි.

ඉඳුනිල් සහ ප්‍රියන්ත විදේශ රැකියා අපේක්ෂිත තරුණයන්ට ඊශ්‍රායලය, රුමේනියාව, මැදපෙරදිග ආදී නොයෙක් රටවල්වල රැකියා ලබා දෙමින් ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ ගණන්වලින් මුදල් ලබාගෙන තිබේ. ප්‍රදේශවාසීහු ඒ බව සනාථ කරති.

රැකියා සැපයීම වෙනුවෙන් මුදල් ලබාගත් ඇතැමුන්ට රැකියා ලැබුණ ද, තවත් සැළකිය යුතු පිරිසකට පොරොන්දු ප්‍රකාරව රැකියා ලබාදී නැත. ඔවුන් හතර අතේ ණය වී ලක්ෂ ගණනක මුදල් ගෙවා තිබියදීත් තමන් අපේක්ෂා කළ රැකියා නොලැබීම පිළිබඳව පසුගිය සමයේදී ඉඳුනිල් සමන් කුමාරට සහ ප්‍රියන්ත ජයතිලකට දැඩි දෝෂාරෝපණ එල්ල කර තිබුණි. කාලයක් එලෙස ගෙවී ගියේය.

අම්බලන්ගොඩ බටපොළ ප්‍රදේශයේ පදිංචි නෙවිල් නැමැත්තකුගෙන්ද ඊශ්‍රායලයේ රැකියාවක් ලබාදෙන බව පවසමින් ඉඳුනිල් රුපියල් ලක්ෂ 25 ක මුදලක් ලබාගෙන තිබේ. එම මුදල සෘජුවම ප්‍රියන්ත ජයතිලකට ලබාදුන් බව ඉඳුනිල් නෙවිල් නමැත්තාට පවසා තිබේ. එහෙත් මාස කිහිපයක් ගතවුවද නෙවිල් නැමත්තාට අපේක්ෂිත විදේශ රැකියාව සපයා දී නොමැත. පොරොන්දු වූ පරිදි රැකියාව නොලැබුණු හෙයින් නෙවිල් දිගින් දිගටම තමා ලබාදුන් ලක්ෂ 25 ඉඳුනිල්ගෙන් ආපසු ඉල්ලා තිබේ.

නෙවිල්ගෙන් බේරීමට බැරිම තැන ඉඳුනිල් ඔහුට පවසා තිබුණේ පසුගිය මස තිස් වෙනිදා තම ලැගුම්හල වෙත පැමිණෙන ලෙසයි. ඒ තමන්ට ලබාදුන් ලක්ෂ 25ක මුදලින් කොටසක් ලෙස ලක්ෂ පහක මුදලක් ආපසු ලබා දෙන පොරොන්දුව මතයි.

දිනය පසුගිය මස තිස් වැනිදා ය. එදින අම්බලන්ගොඩ පදිංචි නෙවිල් “මම යනවා ඉඳුනිල්ව හම්බවෙන්න. මගෙන් ගත්ත සල්ලිවලින් ලක්ෂ පහක් ආපහු දෙන්නම් කීවා.” බිරිඳට එලෙස පවසා නිවසින් පිටත් විය. එලෙස පිටත්වූ නෙවිල් පැය කිහිපයක ගමනින් පසු ඉඳුනිල් ගේ දිසාරා හෝටලය වෙත පැමිණියේය. ඒ වන විටත් ඉඳුනිල් ඇතුළු සිව් දෙනෙක් එහි සිටියහ.

දුර තියාම නෙවිල්ව දුටු ඉඳුනිල්” එන්න එන්න සාදරයෙන් පිළිගන්නවා” යැයි පැවසීය. ඉන්පසු දෙදෙනා මද වෙලාවක් ආගිය තොරතුරු හුවමාරු කරගත්හ. අවසානයේ නෙවිල් “අයියේ සල්ලි දෙන්න මට ඉක්මනට යන්න ඕනා” යැයි පැවසීය.

එවිට ඉඳුනිල් “මොකද හදිස්සිය. පොඩ්ඩක් සෙට් වෙලා යමු. අනික සල්ලි අරන් ජගත් තවම ආවේ නැහැ. එයා එන්න ටිකක් පරක්කු වෙනවා. එතකම් පොඩි අඩියක් ගහමු මගේ ගානේ.”

නෙවිල්ට එම ඉල්ලීම අහක දැමීමට නොහැකි විය. ඒ අනුව ඔවුහු මධුවිත පානය කිරීමට පටන් ගත්හ. පැය කිහිපයක් ඔවුහු ආගිය තොරතුරු දොඩවමින් මධුවිත පානය කළහ. ඒ වනවිට රාත්‍රි 10.30 පසුවී තිබුණු අතර සියල්ලෝම සිටියේ බමණ මතින්ය.

එක් වරම සාදය පැවති දිසාරා හෝටලය වෙත ඩිස්කවරි වර්ගයේ යතුරුපැදියකින් නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පැමිණියේය. එම යතුරුපැදියේ පසු පස අසුනේ සිටි පුද්ගලයා අත ටී 56 වර්ගයේ ගිනි අවියකි. බමණ මතින් සිටි පිරිසට ඒ ගැන අවබෝධයක් නොතිබුණි.

පසුපස අසුනේ සිටි පුද්ගලයා එක්වරම යතුරුපැදියෙන් බැස විනාඩි කිහිපයක් ඇතුළත ඉඳුනිල් ඇතුඵ පිරිස ඉලක්ක කර ගෙන වෙඩි පිට වෙඩි තැබුවේය. එම වෙඩි ප්‍රහාර හමුවේ ඉඳුනිල් ඇතුළු පිරිසට සිදුවන්නේ කුමක්දැයි කියා සිතා ගැනීමටවත් නොහැකි විය. ඔවුන් කළේ තම ජීවිතය යැදීම පමණි.

එල්ල වන වෙඩි ප්‍රහාර හමුවේ එයින් පලක් නොවුණි. ඉඳුනිල්, නෙවිල් සහ චතුරංග කපාහෙලූ කෙසෙල් කඳන් මෙන් පොළොව මත ඇද වැටුණි. ඒ අතර අනෙක් පුද්ගලයන් දෙදෙනා දිවි බේරා ගැනීම සඳහා හිස ලූ ලූ අත දිව ගියේ මරුවිකල්ලෙන්ය.

වෙඩික්කරු එලෙස දිව යන දෙදෙනා ද ඉලක්ක කර වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළේය. එහෙත් එය සාර්ථක නොවුණි. පෙර පිනකට මෙන් ඔහුන්ගේ ජීවිත බේරුණේ කිසිදු හානියකින් තොරවයි. එම ඉලක්කය වැරදුණු බව දැනගත් වෙඩික්කරු යළි යතුරුපැදියට නැඟ තම සගයා සමග එම ස්ථානයෙන් පලා ගියේ කිසිදු අපහසුතාවයකින් තොරවයි.

ප්‍රදේශය දෙවනත් කරමින් ඇසුණු වෙඩි හඬවල්වලට ප්‍රදේශවාසීන් රැවටුණේ දිසාරා හෝටලය තුළ රතිඤ්ඤා පත්තු කරන බව සිතාය. එහෙත් සුළු මොහොතක් ගත වූ කළ එම ස්ථානයේ වෙඩි තැබීමක් සිදු වී ඇති බව ප්‍රදේශවාසීන්ට දැනගන්නට ලැබුණි. ඒ අනුව ප්‍රදේශවාසීන් එකා දෙන්නා එම ස්ථානයට පැමිණියහ. එලෙස පැමිණෙන විටත් ඉඳුනිල් ඇතුළු තිදෙනා ලේ විලක් මැද බිම වැටී සිටියහ.

එම දසුන දුටු ප්‍රදේශවාසීහු බියට පත්වූහ. වහාම ඔවුන් ඒ පිළිබඳව හිනිදුම පොලිස් ස්ථානය දැනුවත් කළේය. එම දැනුවත් කිරීම අනුව එතනට පැමිණි පොලිස් නිලධාරීහු පරීක්ෂණ සිදු කළහ. එහිදී අනාවරණය වූයේ වෙඩි වැදී සිටි ඉඳුනිල් ඇතුළු තිදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි.

මෙම ඝාතන සිද්ධිය පිළිබඳ පැති කිහිපයක් ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදුකළහ. එහිදී අනාවරණය වූයේ මෙම ත්‍රිත්ව ඝාතනය සිදුකර ඇත්තේ විදෙස්ගතව සිටින පාතාල අපරාධකරුවකු වන කරන්දෙණිය සුද්දාගේ මෙහෙයවීමෙන් බවයි.

ඝාතනයට ලක්වූ අවන්හල් හිමිකරු පොලිස් විශේෂ කාර්ය බළකායේ ඔත්තුකරුවකු ලෙස කටයුතු කර ඇති බවත්, ඔහුට කරන්දෙණිය සුද්දා විසින් අවස්ථා කිහිපයකදීම අනතුරු අඟවා ඇති බවත් හෙළිවී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ පාතාල මර්දනය සහ බුද්ධි අංශ ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. එස්. ධර්මප්‍රියට ඔත්තු දුන් බව කියමින් කරන්දෙණිය සුද්දා අවස්ථා කිහිපයකදීම අවන්හල් හිමිකරු වන ඉඳුනිල්ට බැණවැදී මරණ තර්ජන එල්ලකර තිබේ. මෙම ඝාතනය විදෙස්ගත වීම සඳහා මුදල් ලබාදීම නිසා ඇතිවූ ගනුදෙනුවක් මත සිදුවූවක් බවට මුලින් කියවුණද එම මුදල් ලබාදුන් හා ලබාගත් බව කියන දෙදෙනාම මියගිය අය අතර සිටින බව විමර්ශනවලදී හෙළිවිය. එම නිසා මෙය මුදල් ගනුදෙනුවක් මත සිදුවූ ඝාතනයන් නොවන බව තහවුරුවී තිබේ. මෙම ලිපිය ලියන විටත් එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු හිනිදුම ප්‍රාදේශීය සභාවේ හිටපු මහජන නියෝජිතයෙක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එලෙස අත්අඩංගුවට පත්වූ සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන අතර පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතී.

කවුද මේ කරන්දෙණිය සුද්දා ….

කරන්දෙණියේ හිතහොඳ දොස්තර නොහොත් වෛද්‍ය පියන්ත ප්‍රසාද් ජයසිංහ වෙඩි තබා ඝාතනය කරනු ලබන්නේ 2011 වර්ෂයේදීය. එකල ඔහු සේවය කළේ කරන්දෙණිය බොරකන්ද රජයේ රෝහලේය. ඔහුගේ සේවය ජනතාවට කොතරම් දැනුනාද කිවහොත් එම ප්‍රදේශවල වැසියන් ඔහුව හැඳින්වූයේ ‘හිත හොඳ දොස්තර’ ලෙසින්ය.

‘හිත හොඳ දොස්තර’ ගේ ඝාතනය පිටුපස සිටියේ ‘කරන්දෙණිය සුද්දා’ සහ ඔහුගේ සහෝදරයාය.

‘කරන්දෙණිය සුද්දාගේ’ සහෝදරයා වන සනත් ද සිල්වා නොහොත් රාජු කලක් විශේෂ කාර්යා බළකායේ සෙබළකු ලෙස සේවය කළේය. ඉන්පසු ‘හිත හොඳ දොස්තර’ ගේ ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ විසින්ය.

අත්අඩංගුවට ගෙන එම සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කළ ආකාරය හේතුවෙන් ‘කරන්දෙණිය සුද්දා’ පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ සමග වෛර බැඳ ගත්තේය. පසුව එම සැකකරුවන් දෙදෙනාව අධිකරණයට ඉදිරිපත් කළ අතර ‘හිත හොඳ දොස්තර’ ඝාතනයට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කළේය. වසර එකහමාරක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි එම සැකකරුවන් දෙදෙනාට ඇප ලැබුණි. ඇප ලැබී මාස කීපයක් ඇතුළත “කරන්දෙණිය සුද්දා” සහ ඔහුගේ සහෝදරයා ඉතා සූක්ෂම ලෙස ඩුබායි රාජ්‍යයට පලා ගියහ. එලෙස පැනගත් ‘කරන්දෙණිය සුද්දා’ පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහගෙන් පලි ගත්තේ තම ගෝලයන් යොදවා ඔහුව වෙඩි තබා මරා දමමින්ය.

එතනින් නොනැවතුණ ‘කරන්දෙණිය සුද්දා’ තවමත් දකුණු පළාත තුළ පාතල අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම සිදුකරගෙන යති. දැනටමත් ඔහු මනුෂ්‍ය ඝාතන දහ අටකට වැඩි ප්‍රමාණයක් සිදුකර තිබේ. වරක් මොහු ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට පත්වුවත් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි විය. එය අපගේ ආරක්ෂක අංශවල දුර්වල කමක් නිසා විය හැකිය. එදා එලෙස ඔහු මෙරටට ගෙන්වා ගත්තේ නම් මේ වන විට දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ මනුෂ්‍ය ඝාතන වැනි දරුණු ගනයේ අපරාධ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකරගත හැකිව තිබුණි.

ගයාන් සමරසිංහ
gayan982@gmail.com


advertistmentadvertistment