ඉන්දීය ක්‍රිකට් කලඹන සෞරව් ගංගුලි – විරාත් කෝලි ගැටුම

2089

පසුගිය දෙසැම්බර් 8 වැනිදා ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය විසින් දකුණු අප‍්‍රිකානු සංචාරය සඳහා වන ඉන්දීය ටෙස්ට් සංචිතය ප‍්‍රකාශය පත්කරන ලදී. එම මාධ්‍ය නිවේදනයේ අවසාන පේළියේ සඳහන් වූයේ විරාත් කෝලි වෙනුවට එක්දින නායකයා ලෙස රෝහිත් ෂර්මා පත් කළ බවයි. මේ අවසාන පේළිය නිසා ඉන්දීය ක‍්‍රීකට් හෙල්ලූම්කා තිබේ. විරාත් කෝලි කෙලින්ම පාලක මණ්ඩලය සමග ගැටුමක් ඇතිකරගෙන තිබේ. වීරාත් කෝලි සුපිරි ක‍්‍රීඩකයෙකි. එහෙත් ඔහු තරුවක් බවට පත්වූයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව නිසාය. කිසිවකු ක‍්‍රීඩාවට වඩා ඉහළ නැත. විරාත්ට එරෙහි අදහස් දක්වන ඉන්දීය විචාරකයෝ පවසන්නේ කිසිවෙක් ක‍්‍රීඩාවට වඩා සුපිරි නොවන බවයි. මෙය ඇත්තකි බැහැර කළ නොහැකිය. නමුත් ප‍්‍රකට ඉන්දීය මාධ්‍යවේදියකු වන ශේකාර් ගුප්තා පවසන්නේ ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ ප‍්‍රධානි සෞරව් ගංගුලි, විරාත් කෝලිට සලකා ඇත්තේ නීච ලෙස බවයි. ඔක්තෝබර් – නොවැම්බර් මාසවල පැවති විස්සයි විස්ස ලෝක කුසලානය අවසානයේ කොලි විස්සේ නායකත්වයෙන් ඉවත් කෙරිණි. පසුව එම නායකත්වයට පත්කෙරුණේ රෝහිත් ශර්මාය. දැන් එක්දින නායකත්වයත් ඔහුට පවරා තිබේ. මෙය විරාත් විමතියට පත්කළ පුවතක් විය. විස්සේ නායකත්වය ඉවත්කළ අවස්ථාවේ විරාත් සිය ඉන්ස්ටග‍්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ප‍්‍රකාශ කර තිබුණේ ඉන්දීය ටෙස්ට් සහ එක්දින නායකයා ලෙස දිගටම කටයුතු කිරීමට කැමති බවයි. පසුගිය 15 වැනිදා තනිවම පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් විරාත් දැක්වූ අදහස් නිසා බලවත් ආන්දෝලනයක් හටගෙන ඇත.

”මට කවුරුවත් කිව්වේ නැහැ විස්සේ නායකත්වය අත්හරින්න එපා කියලා. තේරීම් කමිටු රැස්වීමට පෙර මට ඇමතුමක් ලැබුණේ දෙසැම්බර් 8 වැනිදා. තේරීම් කමිටු ප‍්‍රධානි චේතන් ෂර්මා මා සමඟ ටෙස්ට් කණ්ඩායම ගැන සාකච්ඡා කළා එයට අපි දෙදෙනාම එකඟ වුණා. ඇමතුම අවසන් කිරීමට පෙර ඔහු කිව්වා තේරීම් කමිටු සාමාජිකයන් පස් දෙනාම මාව එක්දින නායකත්වයෙන් ඉවත් කරන්න තීරණය කරලා තියෙන බව. එයට මම පිළිතුරු දුන්නේ, ‘හරි, හොඳයි’ ඊට පෙර මට කිසිම දැනුම්දීමක් නැහැ. මේ විරාත්ගේ අදහස් වේ. එහෙත් මීට පෙර සෞරව් ගංගුලි පවසා තිබුණේ තමා විස්සයි විස්සේ නායකත්වය අත්නොහරින ලෙස විරාත්ට උපදෙසක් ලබා දුන් බවයි. නමුත් පුවත්පත් හමුවේදී විරාත් එය ප‍්‍රතික්ෂේප කළේය. එවිට ඇස් රතුවන්නේ කාගේද?

හිටපු නායක මොහොමඞ් අසරුදීන් දෙසැම්බර් 14 දා සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුනේ කවරක්ද? ”විරාත් කෝලි දන්වා ඇත්තේ ඔහු එක්දින තරගාවලියට නොමැති බවත් රෝහිත් ෂර්මා ඉදිරි ටෙස්ට් තරගයට නොමැති බවත්ය. විවේකයක් ගැනීමෙන් හානියක් නැත, නමුත් මෙය හුදෙක් කණ්ඩායමේ භේදය පිළිබඳ කතා සනාථ කරයි. එය ක‍්‍රීඩාවට කොහෙත්ම හොඳ නැත. මේ සටහන කෙසේ වෙතත් 15 වැනිදා විරාත් පැවසුවේ කුමක්ද? ඇත්තටම මම විවේක ගන්න ඉල්ලලා නැහැ. කවුරු මොනවා ලියනවද දන්නේ නැහැ. නමුත් මම ටෙස්ට් වලට සේම එක්දින තරගවලටත් ක‍්‍රීඩා කරනවා.

”මමයි රෝහිත් අතර ප‍්‍රශ්නයක් නෑ. පහුගිය අවුරුදු දෙකහමාරක් තිස්සේ ඒක පැහැදිලි කරලා නැවත නැවත කියලම මට මහන්සියි. රෝහිත් ඉතා දක්ෂ නායකයෙක්. උපායශීලීව ඉතා හොඳයි. කණ්ඩායම් පුහුණුකරුට මම උපරිම සහය දෙනවා කිසි ප‍්‍රශ්නයක් නැහැ.

විරාත් කෝලිගේ ට්විටර් ගිණුමේ මිලියන 45.3 ක අනුගාමිකයන් පිරිසක් සිටී. එසේනම් සිය වීරයාට වූ අසාධාරණය ගැන ඔවුන් කෝප නොවෙත්ද? කෝලි එක්දින නායකත්වයෙන් නෙරපා හැරීමට පාලක මණ්ඩලය කටයුතු කිරීම එක්දින තරගවලදී සියයට 70 ජයග‍්‍රහණ ප‍්‍රතිශතයක් වාර්තා කර ඇති ලෝක මට්ටමේ පිතිකරුවාට කළ බරපතළ අගෞරවයක් වන්නේද? මෙය සව්රව් ගංගුලි කළ පලිගැනීමක්ද? විරාත්, ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රශ්න එළියට දැමීම කිරීම බලවත් වරදක් බව රිපබ්ලික් ටීවී හි ආර්නාබ් ගෝස්වාමි මහහ`ඩින් චෝදනා කරමින් පවසයි. ඔහු බනින්නේ විරාත්ටය. හිටපු නායකයා ආත්මාර්ථකාමියකු බව ඔහු කියයි. අශෝක් මලහොත‍්‍රා යනු හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු මෙන්ම තේරීම් කමිටුවේද සිටි අයෙකි. ඔහු පවසන්නේ ඉතා බලවත් ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය සමග විරාත්ට ගැටීය නොහැකි බවයි. ඉදිරියේදී ටෙස්ට් නායකත්වය පවා ඔහුගෙන් ගැළවී යා හැකි බව මලහොත‍්‍රා කියයි. රවිචන්ද්‍රන් අශ්වින් ට නරක ලෙස සැලකූ ආකාරය හිටපු නායකයාට පාරාවළල්ලක් වී ඇති බව ඔහු කියයි. ඉන්දියාවේ ක‍්‍රිකට් යනු ආගමක්ම වන නිසා මේ ආන්දෝලනය ලෙහෙසියෙන් අවසන් වන්නේ නැත.

ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි මීට දින කිහිපයකට පෙර මේ අර්බුදය ගැන මෙසේ පවසා තිබිණි. ”අපිට මේ විවාදය තවදුරටත් ඉදිරියට ගෙනයන්න අවශ්‍ය නැහැ. මට මේ ගැන කියන්න දෙයක් නෑ. ඒක පාලක මණ්ඩලයේ වැඩක්. කෙසේ නමුත් පාලක මණ්ඩලයේ සභාපතිවරයාම මේක පාලක මණ්ඩලයේ වැඩක් යැයි කීම තරමක ප‍්‍රශ්නකාරීවේ. මෙය ඉදිරියට ගෙනගියහොත් අර්බුදය උඩුදුවන නිසා ගංගුලි කට වසාගනී. ඇත්තෙන්ම ගංගුලි ඉන්දීය ක‍්‍රිකට් පිලේ නායකත්වයෙන් ඉවත්කරනු ලැබුවේ එවක කණ්ඩායමේ පුහුණුකරු වූ ග්‍රෙග් චැපල් සමග ඇති කරගත් ආරෝවක් නිසාය. එවිට පාලක මණ්ඩලය ගත්තේ ක‍්‍රීඩකයාගේ පැත්ත නොව පුහුණුකරුගේ පැත්ත වේ. එහෙත් අනිල් කුම්බ්ලේ 2017 දී ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරයෙන් ඉවත්කරනු ලැබුවේ කෝලි ඇතුළු කණ්ඩායම ඔහුට එරෙහිවීම නිසාය. සුනිල් ගවස්කාර් සහ කපිල් දේව් අතර යැයි කියන විරසකයක් පිලිබඳව 1980 ගණන්වල පුවත්පත් තීරු ලිපිවල නොයෙක් දේ සටහන් විය. කපිල් 1984 – 85 දී එංගලන්තයට එරෙහිව කල්කටා ටෙස්ට් තරගයෙන් ඉවත් කිරීම, දිල්ලි ටෙස්ට් තරගයේදී දුර්වල පහරක් ක‍්‍රීඩා කරමින් දැවී යෑමත් සමඟම මතභේදයට තුඩු දී තිබුණි. ඉන්දීය ක‍්‍රිකට් නායකයා යනු සුපිරිම තරුවකි. ඒ ගැන තර්කයක් නැත. එය අහිමිවීම නිසා කෝලිට සිත්වේදනා ඇතිවීම අමුතු දෙයක් නොවේ. ඔහුද මනුෂ්‍ය ප‍්‍රාණියෙකි. කෙසේ නමුත් අද දිනයේ ඉන්දීය කණ්ඩායම දකුණු අප‍්‍රිකාව සමග සිය පළමු ටෙස්ට් තරගය සෙන්චූරියන් හිදී ක‍්‍රීඩා කරනු ඇත. ඉන්දියාවට නායකත්වය දෙන්නේ කෝලි වුවත් අද තරගයට රෝහිත් ශර්මා සහභාගි නොවන බව ප‍්‍රකාශ වී තිබේ. මෙය හිතේ අමාරුවක් ප‍්‍රකාශ කිරීමක් නොවනු ඇතැයි අපි හිතමු.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment