ඉන්දු – පාකිස්තාන් යුද ගිනි ඇවිළේ

108

‘සින්දූර් මෙහෙයුම’ ඉන්දීය හා පාකිස්තාන හමුදා අතර දැවැන්ත යුද ගැටුමක් බවට පත්ව තිබේ.

බදාදා දිනයේ සිට දෙරටම මිසයිල ප්‍රහාර, ගුවන් ප්‍රහාර, ඩ්‍රෝන ප්‍රහාර මෙන්ම බර අවිවලින් ද ප්‍රහාර එල්ල කර ගනිති.

සිකුරාදා අලුයම ඉන්දු කාශ්මීරයේ ජම්මු සහ පූන්ච් සහ රාජෝරි දිස්ත්‍රික්කවල දැවැන්ත පිපිරීම් රැසක් සිදුව තිබේ. ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ දකුණු ප්‍රදේශය වන ජම්මුහි තත්ත්වය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට අතිශයින් නොසන්සුන් වී තිබේ.

ඉන්දීය දේශසීමා ආරක්ෂක හමුදාව බ්‍රහස්පතින්දා කාශ්මීරයේ සම්බා දිස්ත්‍රික්කයේ පාකිස්තාන හමුදාව ඉන්දීය දේශ සීමාවේ සිදු කිරීමට ගිය ආක්‍රමණ උත්සාහයක් ව්‍යර්ථ කර තිබිණි. මෙම උත්සාහය මැයි 8 වන දින රාත්‍රී 11 ට පමණ සිදු විය.

ඉන්දියාවේ පන්ජාබ්හි පතන්කොට් හි ඉන්දියානු ගුවන් ආරක්ෂක පද්ධති විසින් පාකිස්තාන ගුවන් හමුදා ජෙට් යානයක් වෙඩි තබා බිම හෙළන ලද බව ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, ඉන්දීය රජයෙන් නිල තහවුරු කිරීමක් සිදු කර නැත.

ආරක්ෂක ආරංචි මාර්ගවලට අනුව, ඉන්දීය හමුදාව ජම්මු සහ කාශ්මීරයේ නෞෂෙරා ප්‍රදේශයේදී පාකිස්තාන ඩ්‍රෝන යානා දෙකක් ද වෙඩි තබා බිම හෙළා තිබේ. ඉන්දීය සහ පාකිස්තාන හමුදා අතර දැඩි කාලතුවක්කු වෙඩි හුවමාරුවක් මධ්‍යයේ ඩ්‍රෝන යානා විනාශ කර ඇත.

ජාත්‍යන්තර දේශ සීමා ආසන්නව පිහිටි ජම්මු, පතන්කොට් සහ උදම්පූර් හි හමුදා ස්ථාන ඉලක්ක කර පාකිස්තානය එල්ල කළ මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කළ බව ඉන්දීය ආරක්ෂක අංශ කියයි.

පාකිස්තානයේ ලාහෝරයේ ගුවන් ආරක්ෂක පද්ධතිය විනාශ කළ බවත් ඉන්දියාව පවසයි.

මේ අතර පාකිස්තානය පවසන්නේ තමන් ඉන්දීය ඩ්‍රෝන යානා 77 විනාශ කළ බවයි. ඉන්දීය ප්‍රහාරවලින් තම වැසියන් 31දෙනකු මියගොස් 57 දෙනකු තුවාල ලබා ඇති බව පාකිස්තාන හමුදාව කියයි.

ඉන්දීය හමුදා එක්ස් ගිණුමක සටහන්ව තිබුණේ: “ජම්මු සහ කාශ්මීරයේ ජාත්‍යන්තර සීමාවට ආසන්නව පිහිටි ජම්මු, පතන්කොට් සහ උදම්පූර් හමුදා ස්ථාන වෙත පාකිස්තානය මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාර එල්ල කර ඇතත් ඉන්දියානු සන්නද්ධ හමුදා විසින් මේ සියල්ල විනාශ කර තිබේ.” යනුවෙනි.

මැයි 7 වැනිදා ඉන්දියාව විසින් ‘සින්දූර් මෙහෙයුම’ දියත් කළ අතර පාකිස්තානයේ ත්‍රස්ත කඳවුරු නවයකට මිසයිල ප්‍රහාර එල්ලකර තිබිණි.

ලෂ්කර්-ඊ-තායිබා සහ ජයිෂ්-ඊ-මොහොමඩ් වැනි ත්‍රස්ත කණ්ඩායම්වලට සම්බන්ධ කඳවුරු මෙම ප්‍රහාරවල ඉලක්ක වූ බව ඉන්දීය නිලධාරීහු පැවසූහ. ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි අප්‍රේල් 22 වැනි දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පළිගැනීමක් ලෙස මෙම මෙහෙයුම සිදු කරන ලදි. දැන් එය මහා යුද්ධයක් බවට පත්ව තිබේ. ඉන්දු – පාකිස්තාන යුද උණුසුම හේතුවෙන් අයිපීඑල් තරගාවලිය අත්හිටුවා තිබේ.

චතුර පමුණුව


advertistmentadvertistment