එංගලන්ත තරුණියගේ ලක්ෂ 25ක් තිබූ ගමන් බෑගය බසයේදී සොරාගත් සැකකරු පෙතියාගොඩදී අත්අඩංගුවට

509

7දා තෙක් රිමාන්ඩ්

කැමරාව සහ ලැප්ටොප් එක විකුණලා

තරුණිය පොලිසියට පැමිණ දේපළ හඳුනාගනී

පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පළේදී එංගලන්ත ජාතික තරුණියකට අයත් රුපියල් ලක්ෂ 25කට අධික දේපොළ සහිත ගමන් බෑගය සොරාගත් සැකකරු පිටකොටුව පොලිසිය මගින් ඊයේ (31 දා) අලුයම පෑලියගොඩ පෙතියාගොඩදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම බෑගය සොරාගන්නා අවස්ථාවේ බස්රථයේ තිබූ සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ විමර්ශන පැවැත් වූ පිටකොටුව පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවකු වන අතර මත්ද්‍රව්‍ය පානය කිරීමට අවශ්‍ය මුදල් ලබා ගැනීම සඳහා විදෙස් තරුණියගේ ගමන් බෑගය සොරාගෙන ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

සැකකරු හොරාගත් භාණ්ඩ අතරින් කැමරාව සහ ලැප්ටොප් පරිගණකය අලෙවි කර එම මුදල් ්වලින් මත්ද්‍රව්‍ය පානය කර ඇති බව පොලිසිය පවසයි.

එංගලන්ත තරුණියගේ ලක්ෂ 25ක් තිබූ ගමන් බෑගය බසයේදී සොරාගත් සැකකරු පෙතියාගොඩදී අත්අඩංගුවට

එසේ අලෙවි කළ කැමරාව සහ ලැප්ටොප් පරිගණකය හොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මේ අතර මෙම සිද්ධියට මුහුණ පෑ විදෙස් තරුණිය ඊයේ පිටකොටුව පොලිසිය වෙත පැමිණ ඇයගේ ගමන් බෑගය පරීක්ෂා කර ඒවා තමාගේ බව හඳුනාගෙන ඇත.

එහිදී තරුණිය තම ගමන් බෑගය හොයා දුන් පොලිස් නිලධාරීන්ට සහ තමන් අසරණ තත්ත්වයට පත් වූ අවස්ථාවේ උදව් උපකාර කළ සියලු දෙනාට ස්තූතිය පුද කිරීමට ද කටයුතු කළාය.

දුම්රිය ප්‍රමාදයක් නිසා මෙම එංගලන්ත ජාතික තරුණිය බස් රථයකින් ඇල්ල බලා යෑමට සූදානම් වෙද්දී පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළේදී මෙම සිද්ධියට මුහුණ පෑවාය.

යූටියුබ් චැනලයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම තරුණිය මෙරටට පැමිණි අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණ පෑවාය.

සැකකරු සිදුකළ මෙම පහත් ක්‍රියාව නිසා රටේ කීර්තිනාමයට මෙන්ම සංචාරක කර්මාන්තයට කළු පැල්ලමක් එක් විය.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

බස්රථයක් තුළදී එංගලන්ත ජාතික තරුණියක ගෙන් රුපියල් ලක්‍ෂ 25කට අධික වටිනාකමක් සහිත භාණ්ඩ සහ ඩොලර් 20,000ක් අඩංගු ගමන් බෑගය සොරාගත් සැකකරු ලබන 7වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (31 දා) නියෝග කළේය. සොරාගත් භාණ්ඩ සමග සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි.

හේමන්ත රන්දුණු සහ ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment