ඖෂධ නොමැතිව රෝගීන් දැඩි දුෂ්කරතාවයක
දැනටමත් ඖෂධ 170 ක් හිඟයි…හෘද රෝගීන්ට දියවැඩියා රෝගයට දෙන ඖෂධත් ඒ අතර
බාල බෙහෙත්වල මහමොළකරු කෝප් කමිටුවේදී හෙළිවෙයි
රෝගීන් රැසකගේ ඇස් අන්ධවීමට හේතු වූ අක්ෂි දියරය ගෙන්වන ලද සමාගම තවමත් අසාදු ලේඛනගත කිරීමට කටයුතු කර නෑ
බෙහෙත් හිඟ නිසා හොර බෙහෙත් විකුණන ජාවාරමකුත්
මේ කතාව ලියන්නට පාදක වන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාලයක බෙහෙත් ගැනීමට පැමිණි රෝගියකුගේ මුවින් ගිලිහුණු දුක්බර වචන කිහිපයක් නිසාය. ඒ තමන් මුහුණ දුන් දුෂ්කරතාවය ගැනය. “මහත්තයෝ බෙහෙත් ගන්න මම පෝලිමට ආවේ පාන්දරම. අතේ සල්ලි නැති නිසයි ආණ්ඩුවේ ඉස්පිරිතාලයකට ආවේ සීනි අමාරුවට බෙහෙත් ගන්න. ඒත් මේ ඉස්පිරිතාලේ තියෙන්නේ බෙහෙත් ජාති දෙකයිලු. දොස්තර මහත්තයා ඉතිරි ඒවා එළියෙන් ගන්න කියලා තුණ්ඩුවක් ලියලා දුන්නා. හැබැයි ටිකක් ගණන් කියලත් කිව්වා. ඒත් මගේ අතේ ගෙදර යන්න විතරයි සල්ලි තියෙන්නේ.. අපි කොහොමද මෙහෙම වියදම් කරලා බෙහෙත් ගන්නේ…” ඔහු එසේ කියන්නට විය.
මේ වන විට රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින ඖෂධ හිඟය නිසාවෙන් රටේ අහිංසක රෝගී ජනතාව අසරණභාවයට පත්ව ඇති බව කීමට මේ කතාවම හොඳටම ප්‍රමාණවත්ය. අද වන විට ආණ්ඩුවේ රෝහලේ පවතින බෙහෙත් හිඟය රටේ අහිංසක රෝගීන්ගේ ජීවිතයට බලපෑමක් වී ඇත්තේද මෙසේය. තවත් විදිහට කිව්වොත් ආණ්ඩුව අලුත් වුණාට රටේ ඖෂධ ප්‍රශ්නය තවමත් පරණය. එක තැනය. හරි හැටි විසඳී නැත. ඒ බව නිවැරදිවම වටහා ගැනීමට නම් ආණ්ඩුවේ රෝහලක බෙහෙත් පෝලිමක සිට ගත යුතුමය.
අද වන විට ආණ්ඩුවේ රෝහලකින් බෙහෙත් ගන්නට ගිය විටක මෙවැනි වදනක් ද ඇසෙනු නොඅනුමානය. “මේ බෙහෙත ඉස්පිරිතාලේ නැහැ. මේක පිටින් ගන්න වෙනවා. අපි තුණ්ඩුවක් ලියලා දෙන්නම් පිටින් ගන්න.” ආණ්ඩුවේ ඉස්පිරිතාලයක වෛද්‍යවරයෙකු එසේ කියන්නේ දැනටමත් ඖෂධ වර්ග බොහොමයක් මෙරට රෝහල් පද්ධතිය තුළ නොමැති නිසාය. එසේ නම් දැන් සිදුවී ඇත්තේ ආණ්ඩුවේ රෝහලක පැය ගණනක් පෝලිමේ සිටගෙන හිඳ රෝගය පරීක්ෂා කරවාගෙන ෆාමසියකට ගොස් මුදල් ගෙවා බෙහෙත් ගැනීමටය. ඒ විතරක්ද නොවෙයි. මේ ඖෂධ හිඟය හිතනවාට වඩා තවත් දරුණු වන්නේ රජයේ රෝහල්වල තබා පෞද්ගලික ඔසුසල්වලද බොහෝ අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් මේ වනවිට පවතින නිසාය.
ඖෂධ 170 ක හිඟයක්
රජයේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප් සභාව) හමුවේ මෙරට සාමාන්‍යයෙන් භාවිත කෙරෙන ඖෂධ වර්ග 862ක් අතරින් ඖෂධ 170ක හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා පසුගියදා ප්‍රකාශ කළේය. එසේ හිඟව පවතින ඖෂධ අතර අත්‍යඅවශ්‍ය ඖෂධ හිඟවීම සුළු කොට තැකිය නොහැක්කේ අපේ රටේ රෝගීන්ගෙන් වැඩිමනක් හෘද රෝග, වකුගඩු රෝග, දියවැඩියා රෝග තත්ත්වයන්ට ගොදුරු වී ඇති නිසාය. රජයේ රෝහල්වල හා පෞද්ගලික රෝහල්වල ද ඖෂධ නොමැතිකම නිසා රෝගී ජීවිත ලක්ෂ ගණනින් අනතුරකට පත්ව ඇති බවද වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේය. රජයේ වෛද්‍යවරු පෙන්වා දෙන අන්දමට මෙරට රෝහල් පද්ධතිය තුළ හෘද ක්‍රියාකාරීත්වය අඩපණ වූ රෝගීන්ට ලබාදෙන මුත්‍ර කාරක ඖෂධයක් වන ෆුරෝසමයිට් (Furosemide) එන්නත නොමැති වීමෙන් රෝගීන්ගේ ජීවිත අවදානමකට පත්ව ඇත. මෙම ඖෂධය අධි රුධිර පීඩනය, හෘදයාබාධ හා ශරීරයේ තරලය එකතු වීම සඳහා ප්‍රතිකාර කිරීමටත් වකුගඩු නිසි ලෙස ක්‍රියා නොකරන විට මුත්‍රා පහ කරවීමටත් භාවිත කරන ඖෂධයකි. එම එන්නත මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ හිඟවීමෙන් අදාළ ඖෂධය පෙති වශයෙන් රෝගීන්ට ලබාදීම මේ වනවන විට වෛද්‍යවරුන් රෝහල් තුළ සිදුකරන බවට වාර්තා වේ. එසේ රෝගීන්ට පෙති වශයෙන් ලබාදෙන්නේද ඒ සඳහා වෙනත් විකල්පයක් නොමැතිකම නිසා බවද වෛද්‍යවරු පෙන්වා දෙති.
මෙරට හිඟව පවතින ඖෂධ අතර දියවැඩියා රෝගීන්ට ලබාදෙන ටොල්බියුටිමයිඩ් (Tolbutamide) ඖෂධය රෝහල්වල නොමැතිවීමද සුළුකොට තැකිය නොහැකිය. එම ඖෂධය මෙරට සෞඛ්‍ය පද්ධතියේ නොමැතිවීමෙන් දියවැඩියා රෝගීන්ට සිදුව ඇත්තේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදීමටය. මෙම ඖෂධය මෙරට රෝහල් පද්ධතිය තුළ තබා පිටතින්වත් රෝගීන්ට මිලදී ගැනීමට නොමැතිවීමෙන් දියවැඩියා රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
අලුත් ආණ්ඩුවෙන් සෞඛ්‍යයට අඩු සැලකිලි ද
අලුත් ආණ්ඩුව පත්වී මාස හයකට අධික කාලයක් ගතවුවද මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගැටලු තවමත් හරිහැටි විසඳී නොමැති බව පෙනී යන්නේ ඖෂධ හිඟය මේ වනවිටද පවතින නිසාය. ආණ්ඩුවේ රෝහල් තුළ ඖෂධ වර්ග එකසිය හැත්තෑවකට අධික ප්‍රමාණයක හිඟයක් පවතින අතර මේ අතර ජීවිත ආරක්ෂක ඖෂධ ද පවතින්නේ ය. ඇතැම් ඖෂධ සඳහා සැපයුම්කරුවන් කිසිවකු නොමැති අතර බොහෝ ඖෂධ සඳහා සැපයුම්කරුවන්ගේ පවතින ඒකාධිකාරිය තවමත් සුපුරුදු පරිදිම ක්‍රියාත්මක ය. එසේ පැවතීම ගැටලුවක් බවටද පසුගිය කෝප් කමිටුවේදී පවා අනාවරණය වන්නට විය.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජිව මහතා කියා සිටින්නේ සෞඛ්‍ය ඇමැතිවරයා නලින්ද ජයතිස්ස වුවද තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් ජාලය තුළ කෙහෙළිය රඹුක්වැල්ල පාලන කාලයේදී මෙරට ඖෂධ වෙළඳපොළ හසුරුවන ලද සැපයුම්කරුවන්, අතරමැදියන් සහ නිලධාරීන් ඒකාධිකාරියක් පවත්වාගෙන යෑම බරපතළ ගැටලුවක් බවය. වැඩිදුරටත් වෛද්‍යවරයා සඳහන් කරන්නේ මේ වනවිට සෞඛ්‍ය පද්ධතිය දරුණු ලෙස කඩා වැටී වසර තුනකට ආසන්න කාලයක් ගත වුවද සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සැපයුම් ඒකකය, ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව යන ආයතනවල පවතින දැඩි අකාර්යක්ෂමතාව සහ නිලධාරීවාදයත්, දූෂිත පරිපාලන ක්‍රමවේදයත් නිසා රට තුළ බරපතළ සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බවය. මැති ඇමැතිවරුන් ජනමාධ්‍ය ඔස්සේ කුමන කතා ප්‍රකාශ කළ ද ඖෂධ සැපයුම නිෂ්පාදනය සහ බෙදාහැරීම නිසි මාර්ගයට ගැනීමට මෙම අකාර්යක්ෂම නිලධාරීවාදය අසමත්ව ඇති බව ඔහු කියයි. ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාවේ සැබෑ මහමොළකරුවන් අනාවරණයට මේ දක්වා අසමත්ව ඇති අතර රුපියල් මිලියන හයකට අධික මුදලක් යොදවා ස්ථාපිත කළ දත්ත පද්ධතිය අකාර්යක්ෂම වීම නිසා අදට ද බොහෝ කටයුතු සිදුවන්නේ එහි නිලධාරීන්ගේ සාමාන්‍ය ක්‍රමවේද යටතේ බවට වෛද්‍යවරයා පෙන්වා දෙයි. තව ද ඉන්දියාවේ හෝ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නැති ඖෂධ ඇතැම් පුද්ගලයන් ගුවන්තොටුපළ හරහා රැගෙන විත් ප්‍රධාන රෝහල් අසල අඩු මිලට විකුණන ජාවාරමක් සිදුකෙරෙන බව වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙයි. වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් පවා එම ජාවාරම්කරුවන්ගෙන් ඖෂධ ලබාගන්නා ලෙසට රෝගීන්ට බලපෑම් කරන බව ය.
ඖෂධ සැපයුම අඩාලයි
පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය
සමිති සන්ධානයේ සභාපති,
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව
ඇතැම් ඖෂධ සමාගම් දින දෙකක් වැනි කාලයකදී ඖෂධ ලියාපදිංචි කරගත්ත ද ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් සමාගම් ලියාපදිංචි කර ගැනීමට වසර දෙකකට අධික කාලයක් ගත කරන බව පසුගියදා විගණකාධිපති විසින් නිකුත් කළ වාර්තාවේ ඉතා පැහැදිලිව සඳහන් විය. එහිදී තෝරාගත් සමාගම්වලට ප්‍රමුඛතාවය ලැබෙන අන්දමට ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් කටයුතු කිරීම නිසා මේ වන විට ඖෂධ වෙළඳපොළ තුළ ඒකාධිකාරයක් නිර්මාණය වී ඇත්තේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සමාගම්වලට අත්තනෝමතික ලෙස ඉහළ මිල ගණන්වලට රජයට ඖෂධ සැපයීමට හැකි වී ඇති බවද වෛද්‍යවරු පෙන්වා දෙති. එසේම රාජ්‍ය ඖෂධ සංස්ථාව ටෙන්ඩර් ක්‍රියාවලිය සඳහා මාස නවයකට අධික කාලයක් ගත කිරීමත්, ටෙන්ඩර් ක්‍රියාවලියේ ගැටලු සහගත තත්ත්වයක් මතුවුවහොත් නැවත ටෙන්ඩර් කැඳවීම ආදී ක්‍රියාවන් නැවත නැවත සිදුවීම නිසා ඖෂධ සැපයුම් ජාලය අධික ලෙස ප්‍රමාද වී පවතින බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එසේම රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් අලුතෙන් හඳුන්වා දෙන නීති රීති නිසා සැපයුම්කරුවන් ගිවිසුම් ගණනාවකට අත්සන් කිරීමට සිදුවීමෙන් ප්‍රමාදයන් වැඩිවී ඇති බව සැපයුම්කරුවන් පවසන බවද වෛද්‍ය චමල් සංජීව කියා සිටියි.
රාජ්‍ය ඖෂධ සංස්ථාවේ වර්තමාන පරිපාලනය තුළ සිදුවූ බරපතළම ටෙන්ඩර් මගඩි කිහිපයක් ද පසුගියදා අනාවරණය වන්නට විය. එසේ තිබියදීත් පසුගිය කාලසීමාවේදී දිවයින පුරා රෝගීන් රැසකගේ ඇස් අන්ධවීමට හේතු වූ prednisolone eye drop අක්ෂි දියරය ගෙන්වන ලද සමාගම මේ දක්වා අසාදු ලේඛනගත කිරීමට ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර නොමැති බවද පසුගියදා පැවති කෝප් කමිටුවේදී අනාවරණය විය. තවද මේ වන විට රට පුරා ඖෂධ එකසිය හැත්තෑවක පමණ හිඟයක් පවතින බවත් මෙම හිඟය මැඬපැවැත්වීම දුෂ්කර තත්ත්වයක පවතින බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය විජේසූරිය මහතා මෙම කමිටුවේදී අනාවරණය කළේය. මෙම ඖෂධ අතරින් තිස් හතකට ආසන්න ප්‍රමාණයක් සඳහා සැපයුම්කරුවන් සොයා ගත නොහැකි බවත් තවත් ඖෂධ හැටක් සඳහා සිටින්නේ එක් සැපයුම්කරුවකු බැගින් බවද ඔහු එහිදී කියා සිටියේ ය. තව ද ඇතැම් ජීවිත ආරක්ෂක ඖෂධ සහ කුඩා දරුවන් සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ සඳහා සැපයුම්කරුවන් සොයාගැනීම දුෂ්කර බවද වෛද්‍ය විජේසූරිය මහතා එහිදී කියා සිටියේය.
කෝප් කමිටුවේ හෙළිවූ කෙහෙළියගේ ඖෂධ වංචාව
පසුගිය 2022 වසර මෙරට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් වසරකි. එම කාලය තුළ මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ බොහෝ ඖෂධ හිඟයක් තිබෙන බව කියමින් හදිසි මිලදී ගැනීමේ කඩතුරාවට මුවාවී සිදුකළ ඖෂධ වංචා අද වන විට කෝප් කමිටුවේදී අනාවරණය වෙමින් පවතී. ඉකුත් 26 දා හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ කාලයේ සිදු වූ වංචා පිළිබඳව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාව (කෝප්) මගින් යළිත් වරක් හෙළි කරනු ලැබීය. එහිදී කෝප් කමිටුව දැඩි පරිශ්‍රමයක් දරමින් දීර්ඝ සාකච්ඡාවකින් පසු අදාළ ඖෂධ සමාගමට මෙරටට ඖෂධ ගෙන්වීමට අවසරය දුන්නේ කවුද යන්න හෙළි කර ගත්තේය. අවසානයේ එම කමිටුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා කෝප් කමිටුවට දන්වා සිටියේ මෙරටට ඖෂධ ආනයනය කිරීම සඳහා අදාළ පෞද්ගලික සමාගම තෝරා ගැනීමට හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල උපදෙස් දුන් බවය.
මේ පසුගිය 26 දා කෝප් කමිටුවේ සිදුවූ එකී සාකච්ඡාවෙන් කොටසකි.
කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර
2022 වසරේ ඔක්තෝම්බර් මාසයේ ඖෂධ හිඟයක් තිබුණාද? නැහැනේ. එහෙනම් මොකක්ද මේ විශේෂ ක්‍රියාවලියක් හදන්න තිබුණු වුවමනාව. කැබිනට් පේපර් එක තියෙන්නේ දහවෙනි මාසේ 25 කියලා. නමුත් මේක ඉදිරිපත් කරන්නේ නව වැනි මාසයේ. මේක හරි පුදුමයි. ඒකෙ සඳහන් වෙනවා රටේ ඖෂධ හිඟයක් තියෙනවා. ඉදිරි සති තුනක් ඇතුළත ඖෂධ නැත්තටම නැතිවෙනවා කියලා. එහෙම තමයි කැබිනට් පේපර් එකෙන් පෙන්නලා දීලා තියෙන්නේ. ඇත්තටම ඒ වනවිට රටේ ඖෂධ හිඟයක් තිබුණාද?
වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ
“ඒ ගැන හරියටම කියන්න දන්නේ නෑ.”
රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.ඩී. වික්‍රමරත්න
“දන්නේ නෑ කියන්නේ කොහොමද? ඇමැතිවරයා නෙවෙයිනෙ කැබිනට් පත්‍රිකාව හදන්නේ. ඔයාල දෙන තොරතුරු මතයි මේක හදන්නේ. කවුද මේ කැබිනට් පත්‍රිකාව හැදුවේ.”
සභාපති
“අපි අහන්නේ ඒ කාලය තුළ රටේ ඖෂධ අර්බුදයක් තිබුණ ද කියලයි.”
හිටපු ලේකම්
“වෛද්‍ය සැපයුම් අංශයයි තොරතුරු ලබා දුන්නේ. රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු අනුව තමයි මේ කැබිනට් පත්‍රිකාව හැදුවේ.”
සභාපතිවරයා
“මේ කමිටුව නොමග යවන්න එපා. කවුද මේ කියන සමාගමට අනුමැතිය දෙන්න කියලා කිව්වේ.”
හිටපු සෞඛ්‍ය ලේකම්
“කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමයි එම සමාගම තෝරා ගත්තේ”
එහිදී කෝප් කමිටු සභාපතිවරයා පැවසුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඇගයීමකින් තොරව, අනවශ්‍ය යෝජනා හරහා ඉදිරිපත් කරන ලද ඖෂධ වර්ග 38ක් ආනයනය කිරීම සඳහා එම අධිකාරිය මගින් 2022 දෙසැම්බර් 30 වැනි දින “සැවොරයිට්” නම් පෞද්ගලික සමාගමකට අවසරය දී ඇති බවය. එසේ නම් පසුගිය කාලය තුළ මෙරටට බාල බෙහෙත් ගෙනාවේ කවුද යන්න දැන් කාටත් පැහැදිලි විය යුතුය. ඒවාට දඬුවම් දීමට නීතියට භාරය. එහෙත් දැන් ඇත්තේ අලුත් ආණ්ඩුවකි. අලුත් සෞඛ්‍ය ඇමැතිවරයෙකි. ආණ්ඩුව අලුත් වුණාට සෞඛ්‍ය ප්‍රශ්නය තවමත් පරණයි කියා අප කියන්නේ මේ වන විටද ඖෂධ හිඟයක් මෙරට පවතින නිසාය. ආණ්ඩුව කළ යුත්තේ හැකි ඉක්මනින් එය විසඳීමය. නැතහොත් සිදුවන්නේ ඖෂධ හිඟය නිසා මෙරට දහස් ගණනින් රෝගී ජනතාවට ජීවිත වලින් වන්දි ගෙවීමටය.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව
රමින්ද මාවතගේ