ඉන්දීය ඇල්ටෝ මෝටර් රථය ලක්‍ෂ 65ක්
ඇක්වා මෝටර් රථයක් ලක්‍ෂ 135ක්
වෙසල් රථයක් ලක්‍ෂ 200ක්
ජපන් ඇල්ටෝ රථයක් ලක්‍ෂ 75ක්
වැගන් ආර් රථයක් ලක්‍ෂ 90ක්
ඉලෙක්ට්‍රික් මෝටර් රථ (පාවිච්චි කරන ලද) කෝටි දෙකකට
හිටිහැටියේ වාහන ගැන කන වැකුණු කතාව සුබ ආරංචියක් නම් නොවේ ය. ඒ, මේ වන විට වසර පහක කාලයක් තිස්සේ මෙරට අත්හිටුවා තිබූ වාහන ආනයනය යළි සක්‍රීය වුව ද එසේ මෙරටට ගෙන්වනු ලබන වාහනවල මිල ගණන් ඇදහිය නොහැකි තරමටම ඉහළ යෑම ය. අපේ රටේ බොහෝ දෙනකු අලුත් ආණ්ඩුවක් එනතුරු හිටියේ ද වාහනයක සිහිනය සැබෑ කරගන්නට ය. එහෙත් අත්හිටුවා තිබූ වාහන ආනයන සීමා ලිහිල් කළ ද තවත් නොබෝ දිනකින් මෙරටට හාපුරා කියා එන අලුත් වාහනයක හිමිකරුවකු වන්නට ද ලෙහෙසි පහසු ද නැත. මෙවර මෙරටට ගෙන්වන ආනයනික වාහනවලට ආණ්ඩුවේ බදු මුදල් ද එකතු වූ විට අලුත් වාහනයක මිල දැනට පවතින මිලටත් වඩා දෙගුණ තෙගුණ වී යන්නේ ය. ඒ ගැන වාහන ආනයනකරුවන්ගේ සංගමය කියන්නේ, 2020 වසරට සාපේක්‍ෂව ඇතැම් වාහන මිල 45%කට වැඩි ප්‍රතිශතයකින් පමණ ඉහළ යා හැකි බව ය. අලුත් වාහනවල මිල එසේ වැඩිවන විට පරණ වාහනවල මිල ද ඉබේටම ගණන් වැඩිවන බව වාහන වෙළෙඳපොළ නිරීක්‍ෂණය කිරීමේදී පෙනී යන්නේ ය.
හිතපු නැති මුදලකට අලුතෙන් එන වාහන මෙන්න
පෙබරවාරි මස 01 වැනිදා සිට පෞද්ගලික වාහන ආනයනයට අවසර ලබා දෙමින් මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේ ය. ඒ අනුව වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු ලංකාවට ගෙන්වන පළමු වාහන තොගය ද මේ මස අවසන් සතිය වනවිට මෙරටට පැමිණීමට නියමිත ය. ඒ අනුව වාහනවල මිල ගණන් වැඩිවිය හැකි බව ද වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපතිවරයා පසුගිය දිනක මාධ්‍යයට කියා තිබුණි. වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ, එසේ ආනයනය කරනු ලබන වාහනවල මිල ගණන් මෙසේ විය හැකි බව ය.
“මේ වෙනකොට 95%ක් වාහන ආනයනය ප්‍රකෘති කරලා තියෙනවා. ඒ අනුව මෙරටට වාහන ගෙන්වීමේදී ඉන්දීය ඇල්ටෝ මෝටර් රථයක මිල රුපියල් ලක්‍ෂ 65ක්, ඇක්වා මෝටර් රථයක් ලක්‍ෂ 135ක්, වෙසල් රථයක් ලක්‍ෂ 200ක් දක්වා වැඩිවිය හැකියි. ජපන් ඇල්ටෝ රථයක් ලක්‍ෂ 75ක් විතර වේවි. වැගන් ආර් රථයක් ලක්‍ෂ 90ක් පමණ වේවි. ඉලෙක්ට්‍රික් මෝටර් රථ (පාවිච්චි කරන ලද) කෝටි දෙකකට වැඩිවෙයි” යැයි ඔහු පැවැසී ය.
තවද මෙවර ආනයනය කරන ලද වාහන මිල ඉහළ යෑමට හේතුව ගැන ද ඔහු කියන්නේ මෙවැනි කතාවකි.
“රජය වාහන ආනයනය විවෘත කළත් ඒ කළේ බොහොම බයෙන්. ඒකට හේතුව ඩොලර්වලින් තියෙන පීඩනය නිසා. වාහන ආනයනයේදී ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශය විශ්වාස කළා. එතනයි මේ ප්‍රශ්නය තියෙන්නේ. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ගත්ත තීන්දු තීරණ එතරම් හොඳ නැහැ. වාහන ආනයනයේදී තාක්‍ෂණික ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. ඒ කියන්නේ, වාහන ආනයන කාලසීමා නිෂ්පාදන වර්ෂයට අරගෙන තමයි ගැසට් පත්‍රය පළකරලා තියෙන්නේ. මොකද වාහන නිෂ්පාදකයන් වාහනයක දිනය දෙන්නෙ නැහැ. පළමුවැනි ගැසට්එක බස් සඳහා ගහද්දිත් වැරදීමක් වුණා. අපි සංගමයෙන් ඉල්ලීමක් කළා මේ වැරැද්ද නිවැරදි කරන්න කියලා. නමුත් දැන් ඒ නිවැරදි කිරීම වෙනුවට ගැසට් පත්‍රයේ තියෙන දිනය ජනවාරි 14 කියලා සලකන්න කියලා තියෙනවා. එතකොට 2022 වාහනයක් ජනවාරි 14 කියලා සැලකුවහොත් අවුරුදු තුන පනිනවා. එතකොට 2022 වාහනයක් අපේ රටට ආනයනය කරන්න බැහැ. අනෙක්එක, රජය බලාපොරොත්තු වෙන බදු ආදායම එන්නෙත් නැහැ. අපි ඉල්ලන්නේ අවුරුදු පහක් හෝ හතක් නිෂ්පාදන වර්ෂය පරණ වාහන ගෙන්වන්න අවසර දෙන්න කියලයි. එතකොට ඇල්ටෝ රථයක් සාමාන්‍යයෙන් ලක්‍ෂ 50කටත්, අනෙක් මෝටර් රථ ලක්‍ෂ 70ක විතර මිලකට දෙන්න පුළුවන්. එතකොට පොඩි ගාණක් ඩොලර් ගිහින්, උපරිම බදු ප්‍රමාණයක් රටට එනවා. ඔය දේ මුදල් අමාත්‍යාංශය තේරුම් නොගත්ත එකයි තියෙන ප්‍රශ්නය. ආණ්ඩුව කළේ පසුගිය කාලය තුළ කෘත්‍රිමව හැදුණු මිල ඇත්ත මිලක් කරපු එකයි”.
පරණ වාහනවලත් මිල වැඩිවෙයි ද?
වාහන මිල වැඩිවීම පිළිබඳ කතාකරන විට එයට ප්‍රධාන හේතුව වන්නේ මීට වසර හතරකට පෙර එනම්, 2020 වසරේ මුල් භාගයේ සිට මෙරට ආර්ථිකය අර්බුදකට මුහුණ දීම ය. කඩාවැටුණු ආර්ථිකය නිසා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තාවකාලිකව අත්හිටුවීම හා සීමා පැනවීමට එකල පැවැති ගෝඨාභය රජය පියවර ගත්තේ ය. මෙරට වාහන ආනයනය ද අත්හිටුවනු ලැබුවේ ද ඒ අනුව ය. ඉන්පසු සිදුවන්නේ මෙරට තිබෙන වාහන විශාල ලෙස මිල ඉහළ යෑම ය. රුපියල් ලක්‍ෂ පහකට ආසන්නව තිබූ ත්‍රිරෝද රථය ද රුපියල් ලක්‍ෂ දහයේ සිට පහළොව දක්වා වැඩිවිය. රුපියල් ලක්‍ෂ 20 – 30 අතර මිලකට අලෙවි වූ වැගන් ආර් මෝටර් රථයක් ලක්‍ෂ 60 – 70ක් දක්වා ඉහළ ගියේය. සෙසු වාහනවල ද මිල ඉහළ යන්නට වූයේද එපරිද්දෙන්ම ය. එයට හේතුව වාහන ආනයනය සීමා කිරීම නිසා සැපයුම අඩුවීම ය. කෙසේ වෙතත් මෙවර, රජය වාහන ආනයනය යළි ආරම්භ කිරීමත් සමග පවතින වාහනවල මිල ගණන් සාමාන්‍ය මට්ටමකට පැමිණෙනු ඇතැයි ඇතැම් වාහන ආනයනකරුවෝ කියති. එහෙත් වාහන ආනයනකරුවන්ගේ සංගමය කියන්නේ, විදේශ රටවල නිෂ්පාදිත වාහනවල මිල ගණන් මේ වනවිට විශාල අගයකින් වැඩිවී ඇති හෙයින් ලංකාවට ගෙන්වන වාහන මිල තවදුරටත් ඉහළ යා හැකි බව ය. ඔවුන් කියන්නේ, රජය විසින් බදු අනුපාත පහළ දැමුවහොත් පමණක් වාහන මිල අඩුකිරීමට හැකිවන බව ය.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ කියන්නේ ද මෙම නව බදු ප්‍රතිශතවලට අමතරව වාහන ආනයනයේදී දැනට පනවා ඇති අනෙකුත් සියලුම බදු එක්වූ පසු ආනයනය කෙරෙන සියලුම වාහන සඳහා පවතින සමස්ත බදු ප්‍රතිශතය 500%ක් දක්වා වැඩිවිය හැකි බව යි. එයට අමතරව ඇතැම් වාහන මාදිලි සඳහා එම බදු ප්‍රතිශතය 600% දක්වා ඉහළ යා හැකිබව ද ඔහු කියන්නේ ය.
රජය පනවා ඇති නව බදු ව්‍යුහය අනුව නිෂ්පාදිත දින සිට වසර 10කට අඩු වාහන සඳහා 200% සිට 300% දක්වා බදු පනවා ඇත. එය එන්ජින් ධාරිතාව සහ මෝටර් බලය මත පදනම්ව තීරණය කරන්නකි. ආනයනික වාහන සඳහා මිල තීරණය වීම කෙරෙහි බලපාන්නා වූ ප්‍රධාන බදු වර්ග හතරක් ද ඇත්තේ ය. එනම් විශේෂ ආනයන බද්ද, සුඛෝපභෝගි බද්ද, වාහනයේ CIF අගය මත පදනම් වන බද්ද සහ 18%ක වැට් බද්ද ය.
රජයේ අලුත් බදු ක්‍රමය නිසා ආනයනික වාහන මිල වැඩිවීම පිළිබඳ වාහන ආනයනකරුවන්ගේ සංගමය කියන්නේ මෙවැන්නකි.
“උදාහරණයක් විදිහට වැගන් ආර් වැනි 660ජජ වාහන සඳහා පැවැති රුපියල් ලක්‍ෂ 16ක බද්ද රුපියල් ලක්ෂ 18.5 දක්වා ඉහළ යනවා. විට්ස් වැනි 1,000ජජ වාහන සඳහා පැවැති රුපියල් ලක්‍ෂ 20ක බද්ද රුපියල් ලක්ෂ 24.5 දක්වා ඉහළ යා හැකියි. ටොයොටා, ඇක්වා, කොරොලා, ඇක්සියෝ වැනි 1,500ජජ වාහන සඳහා පැවැති රුපියල් ලක්‍ෂ 57ක බද්ද රුපියල් ලක්ෂ 66 දක්වා ද ඉහළ යනවා”.
මෙතෙක් එන්ජින් ධාරිතාව 2000cc සහ 2500cc ඉක්මවන වාහන සඳහා පමණක් අය කළ සුඛෝපභෝගි බද්ද නව රෙගුලාසි යටතේ 1500cc ඉක්මවන වාහන සඳහා ද අදාළ හෙයින් ඉකුත් 2020 වසරට සාපේක්‍ෂව ඇතැම් වාහන මිල 45%කට වැඩි ප්‍රතිශතයකින් පමණ ඉහළ යා හැකි බව ද වාහන ආනයන අංශය පෙන්වා දේ.
ගෙවන්න පුළුවන් නම් වාහන ගන්නලු
වාහනයක් මිලදී ගැනීමේදී තමන්ට ගෙවන්නට හැකි වාරිකය තීරණය කර මූල්‍ය සමාගම්වලින් ණය ලබාගන්නා ලෙස සමස්ත ලංකා දේපළ අත්පත් කරගැනීමේ වෘත්තිකයන්ගේ සංගමය මහජනතාවගෙන් පසුගිය 8දා මාධ්‍ය හමුවකදී ඉල්ලීමක් කළේ ය. එම සංගමයේ ලේකම් ප්‍රියන්ත ලියනගේ පවසනුයේ, තමන්ගේ වාහනයේ වාරික ගෙවා ගැනීමට නොහැකි වන අවස්ථාවල ඒ වෙනුවෙන් පෙනී සිට සහන ලබාදෙන බව ඇතැමුන් පවසන බැවින් එවැනි අයවලුන්ට හසුනොවී අදාළ මූල්‍ය සමාගමෙන් හෝ තම සංගමය අමතා උපදෙස් ලබාගන්නා ලෙසය.
‘පනින්න පෙර සිතා බලනු’ යැයි ජන ව්‍යවහාරයේ ප්‍රකට කියමනක් ඇත්තේ ය. සමස්ත ලංකා දේපළ අත්පත් කරගැනීමේ වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම්වරයා කියන්නේ ද එම කියමනටම සමාන වූ කතාවකි. වාහනයක් මිලදී ගැනීමේදී කල්බදු වාරික ක්‍රමය යටතේ (ෆිනෑන්ස් පහසුකම්) ඕනෑ තරම් මූල්‍ය ආයතන පාරිභෝගිකයන්ට ණය පහසුකම් සපයන්නට සැදී පැහැදී සිටියි. පඳුරකට පයින් ගැසුවොත් අඩුම තරමේ තුන හතරක් විසිවන තරමටම මේ කියන මූල්‍ය ආයතන රටේ සෑම නගරයක් පාසාම දිනෙන් දිනම බිහිවී ඇත. වාහනයේ වටිනාකමින් වැඩිකොටසක් කල්බදු ණය පහසුකම යටතේ වාහනයේ හිමිකරුවාට දෙන්නේ වාරික ගෙවීම් අවසානයේදී වාහනයේ වටිනාකම මෙන් දෙගුණයක මුදලක් එකී මූල්‍ය ආයතන අත්පත් කරගෙන ය. රජයේ හා වෙනත් පිළිගත් මූල්‍ය සමාගම් හැර අනෙකුත් මූල්‍ය සමාගම් අප කියන ඉහළ වාරික ගෙවීම් යටතේ පාරිභෝගිකයා අදවනවිට සූරාකන්නන් බවට පත්වී හමාර ය. අද වනවිට අලුත් වාහනයක් හෝ පාවිච්චි කරන ලද වාහන මිලදී ගැනීමේදී පාරිභෝගිකයා වැඩි සැලකිල්ලක් දැක්විය යුත්තේ ද ඒ නිසාම ය. එහිදී තමන් වාහනයක් මිලදී ගැනීමේදී තමන්ට ගෙවන්නට හැකි වාරිකය තීරණය කර මූල්‍ය සමාගම්වලින් ණය ලබාගන්නා ලෙස සමස්ත ලංකා දේපළ අත්පත් කරගැනීමේ වෘත්තිකයන්ගේ සංගමය කියයි.
වාහන ගැන මවපු හීන
මේ වන විට වාහන මිල ඉහළ යෑම පිළිබඳව රටේ බොහෝ ජනතාව දැන් මැසිවිලි නඟන්නේ ය. කොටින්ම කිවහොත් මේ ආණ්ඩුව බලයට එන්නට පෙර එහි සිටි අපේක්‍ෂකයකු කියා තිබුණේ, ජපානයේ විට්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්‍ෂ දොළහකට ලංකාවට ගෙනත් දිය හැකි බව ය. ඔහු එහිදී කියා තිබුණේ, රජය එම වාහන සඳහා රුපියල් ලක්‍ෂ හැත්තෑවක අසූවක පමණ බද්දක් අය කරමින් ඇති බව ය. ඔහුගේ මේ කතාව ගැන නැවත විමසා බැලීමේදී තේරුම් යන්නේ ද බලයට එන්නට පෙර කී කතා දැන් වලංගු නොවන බව ය. එයට හේතුව වාහන ආනයනකරුවන් කියන පරිදිම පෙර පැවැති බදු මුදලටත් වඩා දැන් ආනයනික වාහන සඳහා බදු මුදල් වැඩි කර ඇති බව ය.
අලුත් ආණ්ඩුවෙන් අඩුවට වාහනයක් මිලදී ගැනීමට බොහෝ දෙනකු සිටියේ ද විසල් බලාපොරොත්තු තබාගෙන ය. මේ වාහන මිල ඉහළ යෑම පිළිබඳව වාහනයක් ගන්න බලාපොරොත්තුව සිටි අයකු කියූ කතාවකි.
“අපි හිතුවා අලුත් ආණ්ඩුවෙන් එයාලා බලයට එන්න ඉස්සර කියපු විදිහට මිනිස්සුන්ට වාහනයක් අරගන්න පුළුවන් වෙයි කියලා. මොකද දැන් අවුරුදු පහක විතර ඉඳලා මිනිස්සු වාහනයක් ගන්න බලාගෙන ඉන්නේ. ඒත් දැන් ආණ්ඩුව කරලා තියෙන්නේ පොඩි මිනිහට ගන්න තියෙන ඇල්ටෝ රථයටත් වැඩිපුර බද්දක් ගහලා. ලක්‍ෂ 25කට විතර තිබුණු ඇල්ටෝ රථයත් දැන් අලුතින් ලක්ෂ 65ක් විතර වෙනවලු. අපි ආණ්ඩුවෙන් අහන්නේ මොකක්ද පොඩි මිනිහට කරල තියෙන්නේ කියලා. ඒ අය කිව්වේ හැම ගෙදරකටම වාහනයක් ගන්න පුළුවන් වාතාවරණයක් හදනවා කියලා. අද ඒ ඔක්කොම බොරු වෙලා. වාහන තියා අන්තිමට යතුරුපැදියක්වත් ගන්න බැරි තත්ත්වයට අද පත්කරලා.”
ඔහුගේ කතාවේ ද සත්‍යතාවයක් ඇත. අඩු මුදලකට අලුත් වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව සලසන බවට වත්මන් ආණ්ඩුව බලයට එන්නට පෙර දේශපාලන වේදිකාවලදී පැවසු දේ අද වනවිට පුස්සක් වී හමාර ය. මෙරට ආර්ථික විශ්ලේෂකයන් කියා සිටින්නේ, නව රජය වාහන ආනයනය කිරීමෙන් අපේක්‍ෂා කරන්නේ බදුවලින් රාජ්‍ය ආදායම ඉහළ නංවාගැනීම බව ය. එහෙත් අප අසන්නේ මෙරට ජනතාවගේ වාහන සිහිනය සැබෑ වන්නේ කවදාකද? යන්න ය.
රමින්ද මාවතගේ