ඔස්ට්‍රේලියාව දරුවන්ට පැනවූ සමාජ මාධ්‍ය වාරණය ලෝක සමාජ මාධ්‍ය භාවිතයේ දිශානතිය වෙනස් කරයි ද?

421

කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ

වර්තමානයේ දී සමාජ මාධ්‍ය ලොව ජනප්‍රියතම සන්නිවේදන මාධ්‍යයක් බවට පත්ව ඇත. ඩිජිටල් යුගය පසු කර පුරවැසි මාධ්‍යකරණ යුගයට ප්‍රවිෂ්ට වන වර්තමානයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අක්‍රමිකතා හා අකටයුතුකම් හේතුවෙන් විශේෂයෙන්ම ළමා පරපුර දැඩි අවදානමකට ලක්ව තිබේ.

මේ හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර විවිධ නීතිමය එකඟතාවන්ට එළැඹෙමින් සිටියි. මේ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා සමග සිදු කළ සංවාදයක් ඇසුරින් මේ ලිපිය සකසා ඇත.

● සමාජ මාධ්‍ය යනු?

ඔස්ට්‍රේලියාව දරුවන්ට පැනවූ සමාජ මාධ්‍ය වාරණය ලෝක සමාජ මාධ්‍ය භාවිතයේ දිශානතිය වෙනස් කරයි ද?

සමාජ මාධ්‍ය බොහෝදෙනා අර්ථකථනය කරන්නේ ස්මාර්ට් ජංගම දුරකථනය, ටැබ් එක, laptop පරිගණකය වැනි මාධ්‍යයක් ඔස්සේ සමාජ ජාල මාධ්‍යයකට ප්‍රවේශ වීමේ තාක්ෂණික කාරණාවක් ලෙසයි. අපි දකින සමාජයම තමයි අද සමාජ මාධ්‍ය තුළත් නිරූපණය වෙන්නේ. සමාජය තුළ ජීවත්වන සෑම වර්ගයකම පුද්ගලයන්, විවිධ මතවාද, පීඩන කණ්ඩායම්,

අන්තගාමීත්වය, සමාජය තුළ පවතින ධනාත්මක හා ඍණාත්මක කාරණා සමාජ මාධ්‍ය තුළත් පොදුවේ දක්නට ලැබෙනවා. ඒ නිසා සමාජ මාධ්‍ය කියන්නේ සමාජයමයි.

● විශේෂයෙන් වර්තමානයේ දී පාසල් දරුවන් සමාජ මාධ්‍ය භාවිතයට වැඩි වශයෙන් යොමුවෙලා ඉන්නවා. මෙහි සමාජමය බලපෑම කෙබඳු ද?

දරුවන් භෞතික සමාජයක් ඇතුළේ ආගම ඇදහීම, ක්‍රීඩා කිරීම, කලාවට නැඹුරුවීම, සහජීවනය පුරුදු පුහුණුවීම, අන්අය සමග වැඩ කරන්න ඉගෙන ගැනීම සමාජානුයෝජනයේ දී ඉතා වැදගත්. නමුත් සමාජය සමග සිටීම සහ virtual commnity එකක සිටීම එකිනෙකට වෙනස්. වර්තමානයෙ ්දී ඇතැම් දරුවන් කලහකාරී වීමට, ප්‍රචණ්ඩකාරීව හැසිරීමට, වැඩිහිටියන්ගේ අවවාද පිළිනොගැනීමට, අවවාද දෙන පුද්ගලයන් සතුරන් ලෙස දැකීමට, අවවාදයක් ලබාදෙන පුද්ගලයන්ගෙන් පළිගැනීමට හා තමන්ගේ මමත්වයට එය හානියක් ලෙස දැකීමට පවා පෙළඹිලා ඉන්නවා. සමාජ මාධ්‍ය තුළ තමන්ට ලැබෙන පිළිගැනීම, reactions සහ comments ගණන භෞතික ලෝකයේ දරුවන් අපේක්ෂා කරන ආකාරයට නොලැබීමෙන් ඒ දරුවාට පීඩනයක් ඇති වීම ඊට එක හේතුවක්. ඒ නිසා බොහෝ දරුවන් සමාජ මාධ්‍ය තුළ ම හිරවෙලා ඉන්න බලනවා. මේ නිසා කාලය කළමනාකරණය කර ගැනීමට නොහැකිවීම, ඉලක්ක අතපසුවීම, අධ්‍යාපනයෙන් ඈත් වීම, දෙමව්පියන්ගෙන් ඈත් වීම වගේ අහිතකර තත්ත්වයන් අපි දකිනවා.

දරුවන්ට වීරයා වෙන්නේ තමන්ට හොඳින් සවන් දෙන කෙනා. දරුවෝ කතා කරන්නේ සවන් දෙන කෙනෙක් ඉදිරියේ විතරයි. මේ නිසා සමාජයේ බොහෝ දරුවන් සමාජ මාධ්‍ය භාවිතයට පෙළඹිලා ඉන්නවා. සමාජ මාධ්‍ය හරහා සරල චැට් පණිවිඩයකින් පුළුවන් තමා සවන් දෙන බව පෙන්වන්න.

මේ නිසා ආකල්පමය වශයෙන් දුර්වල පුද්ගලයන් දරුවන්ට සවන් දෙන බව පෙන්වමින්, දරුවන්ව රවටාලමින්, දරුවන් තමා වෙතට නතුකර ගනිමින් ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටු කර ගැනීමට සමාජ මාධ්‍ය හරහා අවකාශය සලසා ගන්නවා. අද වනවිට නව යොවුන් වියේ පසුවන ගැහැනු ළමයි සහ පිරිමි ළමයි අවුරුදු පනහ හැට වයස්වල පසුවන වැඩිහිටි පුද්ගලයන් සමග නොගැළපෙන සම්බන්ධතා පවත්වාගෙන යෑම අහන්න දකින්න ලැබෙන සුලබ කාරණයක් බවට පත්වෙලා. සමාජ මාධ්‍ය හරහා ඔහු හෝ ඇය හොඳ සවන් දෙන්නෙක් බවට දරුවා ඉදිරියේ පෙනී සිටීම මේකට විශේෂම හේතුවයි.

මෙවැනි තත්ත්වයන්ගෙන් දරුවාව මුදා ගන්නනම් දෙමව්පියන් සහ පවුලේ අනිකුත් සාමාජිකයන් හා වැඩිහිටියන් දරුවාට ගොඩක් සමීපව කටයුතු කරන්න ඕන.

ඒ වගේම තමයි සමාජ මාධ්‍ය දරුවන්ගේ අධ්‍යාපන හා අමතර ක්‍රියාකාරකම් සඳහා හිතකර ආකාරයට යොදාගන්නත් පුළුවන්. සමාජ මාධ්‍ය තුළ ඇති විවිධ අධ්‍යාපනික පිටු, අධ්‍යාපනික යූ ටියුබ් නාළිකා සඳහා දෙමව්පියන්ගේ මඟපෙන් වීම යටතේ ප්‍රවේශවීමට අවකාශය සපයා දියයුතුයි. විශේෂයෙන් සමාජ මාධ්‍ය සාක්ෂරතාව දරුවා තුළ ඇති කිරීම ඉතාම වැදගත්.

● සමාජ මාධ්‍ය භාවිතයේ දී නියාමනය කිරීම හා නීති පැනවීම සුදුසුද?

මගේ මතයනම් සුදුසුයි. මොකද අපි සමාජය නියාමනය කරන්න නීති පනවනවා වගේම, සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහාත් නීති පැනවිය යුතුයි. 21 වන සියවසේ අපි අද ජීවත් වෙන්නේ පුරවැසි මාධ්‍යකරණ යුගයක. මේ යුගයේ සමාජ මාධ්‍ය ආචාර ධර්ම සම්බන්ධයෙන් ඉගැන්වීම බොහෝ රටවල සිදු කෙරෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය සාක්ෂරතාව සම්බන්ධව ද සලකා බැලෙනවා. දරුවන් අද පිවිසෙන්නේ තාක්ෂණය අබිබවා ගිය පුරවැසි මාධ්‍යකරණ යුගයකට. ඒ නිසා දරුවන් සමාජ මාධ්‍ය ගැන ඉගෙනගෙන, ඒ පිළිබඳව අත්දැකීමක් ලබාගෙන සමාජ මාධ්‍ය සාක්ෂරතාවත් සමග අනාගත ලෝකයට යොමු කිරීම වැදගත්. කෙසේ වෙතත් එය සිදු කළ යුත්තේ යම් නියාමනයක් සමගයි.

එතැනදී නීතියත්, තාක්ෂණයත් සමග එකට බැඳී අපගේ යහපත් ආකල්ප ඔස්සේ ඉදිරියට යා යුතුයි.

ජනතාවගේ භාෂණයේ නිදහස, ඡන්ද අයිතිය, පෞද්ගලිකත්වයේ නිදහස වැනි මානව අයිතිවාසිකම් හා සමානව, ලෝකයේ සමහර රටවල සමාජ මාධ්‍යයට තියෙන ප්‍රවේශය ජනතාවගේ අයිතිවාසිකමක් බවට අද හඳුනාගෙන තියෙනවා. උදාහරණයක් වශයෙන් ෆින්ලන්තය හඳුන්වන්න පුළුවන්. යම් ආකාරයකින් රජය හෝ අන්තර්ජාල පහසුකම් සපයන ආයතන ජනතාවට අන්තර්ජාලයට ප්‍රවේශ වීමට බාධා වන ආකාරයෙන් කටයුතු කරන්නේනම් ඒ ගැන පැමිණිලි කරන්න වෙනම ආයතන පවා ෆින්ලන්තයේ පිහිටුවා තිබෙනවා. අන්තර්ජාල ප්‍රවේශය පමණක් නොවේ, සමාජ මාධ්‍ය ප්‍රවේශය පවා මානව අයිතිවාසිකමක් බවට පරිවර්තනය වන යුගයක් අනාගතයේ දී නිර්මාණය වෙනවා.

● දරුවන් සමාජ මාධ්‍ය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඈත් කළ යුතුද?

නැහැ. මම හිතන විදිහට යම් නියාමනයක් ඇතුව දරුවන්ට සමාජ මාධ්‍ය භාවිත කිරීම සඳහා අවකාශය ලබා දියයුතුයි. සමාජ මාධ්‍ය යුගයක, සමාජ මාධ්‍ය තුළ කාලය ගත කරන මිනිසුන් සිටින සමාජයක, සමාජ මාධ්‍ය හරහා වැඩ කරන යුගයක එයින් දරුවා ඈත් කර තැබීමේ ප්‍රායෝගික හැකියාවක් නැහැ.

ඒනිසා සමාජ මාධ්‍ය භාවිතයේ දී යම් ආචාර ධර්ම පද්ධතියට අනුව, ස්වයං විනයක් සහ නියාමනයක් ඇතිව සමාජ මාධ්‍ය භාවිතයට දරුවා යොමු කිරීම තමයි කළ යුත්තේ. ඒ වගේම තමයි පාසල්වල සමාජ අධ්‍යයනය හෝ පුරවැසි අධ්‍යයනය වගේ විෂයන් යටතේ යම් ප්‍රමාණයකින් හෝ මීට අදාළ නීතිය උගන්වන්න ඕනා. දරුවාට අධ්‍යාපනය හරහා සමාජ මාධ්‍ය සාක්ෂරතාව ඇති කරන්න අවශ්‍ය අවබෝධය ලබාදීමයි කාලෝචිත වන්නේ.

● වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

සමාජය තුළ සිදුවන අපරාධ අවම කරන්න නීති හා රෙගුලාසි සම්මත කරගන්නවා හා සමානව සමාජ මාධ්‍ය හරහා සිදුවන අපරාධ මර්දනය කරන්න, ඒවායින් ඇතිවන අහිතකර ප්‍රතිවිපාක පාලනය කරන්න නීති රෙගුලාසි සම්පාදනය කරන්නත් ලෝකයේ බොහෝ රටවල් පෙළඹිලා ඉන්නවා. නමුත් නීතිමය වශයෙන් දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට මුලින්ම ක්‍රියාත්මක වූ රාජ්‍යය වශයෙන් ඔස්ට්‍රේලියාව හඳුන්වන්න පුළුවන්. මෙම නීතිය කඩකරන, වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍යයට පිවිසීමේ අවස්ථාව ලබාදෙන ඕනෑම සමාජ මාධ්‍ය ජාලයකට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50ක දඩයක් පනවලා තියෙනවා.

● ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට සමාජ මාධ්‍ය තහනම් කිරීම සුදුසුද?

සමාජ මාධ්‍ය තහනම් කළ යුතු බවට නීතිමය පසුබිමක් ලංකාවට ගේනවානම් ඒක කරන්න වෙන්නේ පාර්ශ්ව ගණනාවකගේ මූලිකත්වයෙන්. මම හිතන විදිහට ලංකාව වගේ රටකට ගැළපෙන්නේ යම් නියාමනයක් සහිතව ආකල්පමය වශයෙන් ඇති කරන සංවර්ධනයක්. ඇත්තටම වර්තමාන තාක්ෂණික යුගයේ ලංකාව වැනි රටකට සමාජ මාධ්‍ය තහනම් කළ නොහැකියි. එලෙස සිදුකිරීම දියුණුවන ලෝකය තුළ අඩියක් ආපස්සට ගැනීමක් විදිහට මම දකිනවා. වර්තමානයේදී බහුල වශයෙන්ම වෙළෙඳ සහ වාණිජ කටයුතු වගේම අධ්‍යාපනික වශයෙන් වැදගත් කටයුතු සමාජ මධ්‍යය හරහා සිදුවෙනවා.

ඒ වගේම සමාජ මාධ්‍ය professional network එකක් ලෙස ද ක්‍රියා කරනවා. මෙතැනදී සමාජ මාධ්‍ය තහනම් කිරීමට වඩා සමාජ මාධ්‍ය භාවිතයේ දී ආකල්පමය වශයෙන් අවබෝධයකින් හා නියාමනයකින් යුතුවීම වැදගත් වෙනවා.

● වගකීම් සහගතව සමාජ මාධ්‍ය භාවිත කිරීම සඳහා දරුවන් යොමු කිරීමේ දී සැලකිලිමත් වියයුතු කරුණු මොනවා ද?

රජය සමාජ මාධ්‍ය භාවිතය ආශ්‍රිතව නීති සහ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම මෙන්ම දරුවන්ට සමාජ මාධ්‍ය ආචාර ධර්ම ඉගැන්වීමට අවශ්‍ය විෂය නිර්දේශ සකස් කිරීම සඳහා අවධානය යොමු කළ යුතුයි.

ඒ වගේම දෙමාපියන් සහ ගුරුවරුන් දරුවන් කෙරෙහි අවධානයෙන් සහ අවබෝධයෙන් සිටීම හා දරුවන්ට හොඳින් ඇහුම්කන් දීම අවශ්‍යයයි. දරුවන් ද ස්වයං විනයකින් යුක්තව සමාජ මාධ්‍ය භාවිත කරන්න ඕන. අපිට එකවරම සමාජයක් වෙනස් කර ගන්න අපහසුයි. ඒ සඳහා දැඩිව උත්සාහ කළ යුතු යුගයක තමයි අපි සියලු දෙනා ජීවත්වන්නේ.

නිදසුනක් ලෙස, තම Facebook ගිණුමේ followers ලා දාහක් සිටීනම්, ඒ පිරිස හරහා තමා මිලියන ගණනකට වැඩි පිරිසක් වෙත ප්‍රවේශ වෙනවා. ස්මාර්ට් ජංගම දුරකථනයේ screen එක මත එකවරක් touch කර, පිවිසෙන සමාජ මාධ්‍ය ගිණුම අපි ලෝකය වෙත ප්‍රවේශ වන දොරටුවක් හා සමානයි. මේ දොරටුව හරහා පියනඟන්නේ විෂම ලෝකයකට. ඒ සම්බන්ධයෙන් දරුවාට අවබෝධය ලබාදීම ප්‍රශස්ථ සමාජ මාධ්‍ය භාවිතයක් සඳහා ඉතා වැදගත්.

සාකච්ඡා සටහන:

ශෂී ගමගේ
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය


advertistmentadvertistment