එළඹෙන ජනාධිපතිවරණයේදී තම ඡන්දය ලබාදිය යුත්තේ කාටද යන්න දැනටමත් බොහෝ දෙනා තීරණය කර හමාරය. එහෙත් එය විද්‍යානුකූලව සිතා බැලිය යුතු කරුණකි.
මෙම ලිපිය මගින් අනාවරණය කෙරෙන්නේ නායකයකු කෙසේ විය යුතුද යන්නය. විද්‍යානුකුලව සිතා බැලීමට කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණ වේ.
● නිදහස් සේවාවන්
සෞඛ්‍ය, අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය ආදී සේවාවන් ශ්‍රී ලංකා වාසීන්ට නොමිලයේ ලබාදෙන්නේ යයි මතයක් පවතී. ඇත්තටම මෙය ලබාදෙන්නේ නොමිලයේද? සෞඛ්‍ය සේවාව සඳහා 2024 වර්ෂයේ අයවැයෙන් 6% ක් වෙන්කොට තිබේ. මෙය ගණන් බැලූ විට පුද්ගලයකුට රුපියල් 18,000.00 ක් පමණ වැය කරන අතර සාමාන්‍යයෙන් පස්දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා රුපියල් 90,000 කි. ලංකාවේ බොහෝ පවුල්වල උදවිය රජයේ රෝහලකට යන්නේම නැත. අයවැයෙන් වෙන්කොට ඇති මෙම මුදල රටවැසියාගේ අතට ලබා දෙන්නේ නම් හෝ ඒ මගින් රක්ෂණ ආවරණයක් ලබා දෙන්නේ නම් ඉතා ඉහළ සෞඛ්‍ය සේවාවක් මහජනතාවට ලබා ගත හැකි බව නොරහසකි. අයවැය සඳහා මුදල් සපයා ගන්නේ ඔබෙත් මගෙත් වැටුපෙන්, ආහාර වේලෙන්, මිලදී ගන්නා භාණ්ඩවලින්, ලබාගන්නා සේවාවන්වලින් රජය ලබාගන්නා බදු මුදල්වලින් සහ අප හා අපේ දරුවන් නූපන් දරුවන් ගෙවිය යුතු ලෙස ලබා ගන්නා ණය මුදල් මගිනි.
එබැවින් මෙම සේවාවන් අපට ලබා දෙන්නේ අපේම මුදල්වලින් බැවින් මේවා අපට නොමිලයේ දෙන දෙයක් නොවේ. මේ සඳහා මුදල් අප කලින්ම ගෙවා ඇත. මෙම සේවාවලින් යමෙක් මුදල් වංචා කරයි නම් නාස්ති කරයි නම් ඔවුන් එසේ කරන්නේ අපේ මුදල් බව අමතක කළ යුතු නොවේ. බොහෝ දියුණු රටවල සෞඛ්‍ය සඳහා රජයේ මැදිහත්වීමක් නැති අතර රටවැසියන්ගෙන් ලබා ගන්නා බදු මුදලින් සියල්ලන්ටම රක්ෂණ ක්‍රම යොදා ඇත. මේ හරහා රටවැසියන්ට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් පෞද්ගලික රෝහල්වලින් ලබා ගැනීමට හැකියාව තිබේ. මෙලෙසම අපේ පවුලක ආරක්ෂාව වෙනුවෙන් රුපියල් 80,000 ක් ද, ප්‍රවාහන කටයුතු සඳහා පාරවල් නඩත්තු කිරීම ආදියට රුපියල් 85,000 ක් ද, අපේ වැඩ කටයුතු කර ගැනීම සඳහා කාර්යාල නඩත්තු කිරීම ආදියට රුපියල් ලක්ෂයක් ද අනෙකුත් සියලුම දේවල්වලට ද අප මුදල් ගෙවා ඇති බව හා ඒවා අපට දුන් සහන ලෙස කිසිවකු පෙන්වා දෙන්නේ නම් එය තරයේ ප්‍රතික්ෂේප කළ යුතුය. අප ගෙවූ මුදලින් පාරක් ගොඩනැඟිල්ලක් තනා එයට වෙනත් පුද්ගලයෙකුගේ නමක් යොදා නාමපුවරු සවිකිරීමට මුදල් ගෙවූ අපේ අවසරයකින් තොරව කිසිවකුට අයිතියක් නැත. සේවාවන් රජයෙන් නොමිලේ දෙන්නේ යැයි අප වෙත කාවද්දා ඇති මිථ්‍යාවෙන් අප මුදා ගන්නා සහ අප ගෙවූ මුදලට සරිලන සේවාවක් ලබාදීමට කැපවෙන අපේක්ෂකයකු වෙත්නම් ඔහු නායකත්වයට පත්කිරීමට අප කටයුතු කළ යුතු බව අපි විශ්වාස කරමු.
● ශ්‍රී ලංකාවේ ඇති වටිනාම සම්පත
ශ්‍රී ලංකාවේ නොයෙකුත් ආකාරයේ සම්පත් බහුල රටකි. රට වටේම මුහුදේ මත්ස්‍ය සම්පත බහුලය.නොයෙකුත් ඛනිජ සම්පත් බහුලය. ජල සම්පත හා රටේ භූගෝලීය තත්ත්වය ද වටිනා සම්පතකි. මේ සියල්ලටම වඩා අපේ රටේ වටිනාම සම්පත මානව සම්පතයි. මෙය නිසි පරිදි කළමනාකරණය කොට තිබේද?
දැනට අප රටේ උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන ප්‍රමාණයෙන් ඊට අවස්ථාව ලැබෙන්නේ සියයට විසිපහකට පමණි. අප රටේ උසස් අධ්‍යාපන ආයතනයකින් සුදුසුකම් ලබා ගැනීමට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 20ක් පමණ වැයවේ. මෙම අධ්‍යාපනය ලබාගත් අයෙක් යම් ආයතනයක රැකියාවකට ගොස් මසකට රුපියල් හැටදහසක වැටුපක් ලබා ගත්තත් ඔහුට වියදම් කළ මුදල ඔහු වසර තුනකදී රටට ලබාදෙන්නේය. ඒ ඔහුගෙන් රටට ලබාගන්නා සේවය ඊට වඩා වටිනාකමකින් යුක්ත වීමය.
තොරතුරු තාක්ෂණ අංශයේ උපාධියක් පුද්ගලික විශ්වවිද්‍යාලයකින් ලබාගැනීමට අද වැයවන්නේ රු. ලක්ෂ 30ක් වැනි මුදලකි. ලංකාව ඇතුළත එම අංශයේ ආරම්භක අවම වැටුප රුපියල් ලක්ෂ දෙක ඉක්මවන අතර අවුරුදු එකහමාරකින් එම මුදල ආපසු ලබා ගත හැක. මේ තරම් කෙටිකාලීනව ආයෝජනය ආපසු ලබාගත හැකි වෙනත් සම්පතක් ඇත්ද? මෙම සම්පත් දේශීයව හා විදේශීයව යෙදවීමෙන් කොපමණ ආර්ථික වාසියක් රටට ලබාගත හැකිද? මේ අනුව බලන කල ලංකාවේ උසස් අධ්‍යාපනය රටේ දියුණුවට අතිමහත් රුකුලක් ලබා ගත හැකි දෙයකි. සෑම වසරකම උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබා එහෙත් එය නොලබන 75% ක් වන දරුවන්ට ද එය ලබාදීමට රජයක් කටයුතු කළ යුතුය. මක් නිසාද යත් මේ සඳහා අප මුදල් ගෙවා ඇති හෙයිනි.
රටේ අනෙකුත් සම්පත් කළමනාකරණය කරන ගමන් මානව සම්පත ගැන විශේෂ වැඩපිළිවෙළක් ඇති අපේක්ෂකයා රටේ නායකයා බවට පත්කිරීමට ක්‍රියා කළ යුතුය.
● විරැකියාව හා මත්ද්‍රව්‍ය
පසුගිය දසවසර තුළ ලක්ෂ තිස්පහක තරුණ ජනගහනයක් රටට එකතුවී ඇති අතර සමස්ත රටේම රැකියාවක් නැතිව සිටින්නන්ගේ ප්‍රමාණය 6% ක් වේ. මෙම ප්‍රමාණය 10% ඉක්මවා ගියහොත් සමාජයේ විශාල පිපිරීමක් පරිහානියක් දක්නට ලැබීම අනිවාර්යය. මෙම විරැකියාවෙන් පෙළෙන්නන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමට ද විශාල ඉඩකඩක් පවතී. මෙම තරුණ අසහනය නැතිකොට තරුණයන් ආර්ථිකයට දායක කරගෙන මත්ද්‍රව්‍ය ආදියෙන් මුදා ගත හැකි අපේක්ෂකයෙක් රටේ නායකයා ලෙස පත්කරගැනීම මේ දශකයේ අතිශය වැදගත්ය.
● තමාගේ හර පද්ධතිය ආරක්ෂා කරමින් වංචා දූෂණ පිටු දැකීම
තම කකුල කැඩී ඇති බව පෙන්වමින් මාර්ගයේ සිඟමන් යදින පුද්ගලයන් අප දැක ඇත්තෙමු. එහෙත් එම පුද්ගලයාගේ ඇත්තටම කකුල කැඩී නැති බවත් ඔහු වංචනික පුද්ගලයකු බවත් අප දැනගත්විට අප ඔහුට උදව් කරන්නේ නැත. එමෙන්ම අප තෝරාගන්නා නායකයා කවරෙක්දැයි ඔහුගේ පැරණි කටයුතු හරහා තීරණය කිරීමට අපට හැකියාව තිබිය යුතුය. නියම නායකයා තමාගේ ජීවිතය නැති වුවද තමන් පෙනී සිටින අර්ථය පාවාදෙන්නේ නැත. දැනට නම් දක්නට ලැබෙන්නේ විටින් විට තමන්ගේ අර්ථය මාරු කරමින් එහාට මෙහාට පනින පුද්ගලයින් හා ඔවුන් භාරගන්නා අපේක්ෂකයින්ය. මෙසේ තමුන්ගේ ලාභය වෙනුවෙන් තම අර්ථය වෙනස් කරන පුද්ගලයා දේශපාලන බලය උපයෝගී කරගෙන නීතිරීති වෙනස් කරමින් මහා පරිමාණ වංචාවලට ඉඩහසර පාදාදෙනු ඇත. වංචනික හිඟන්නාට රුපියල් විස්සක් නොදෙනා අපි වංචනික පුද්ගලයකුට රට භාරදීමට කටයුතු කිරීම ගැන මනාව කල්පනා කළ යුතුය.
● සහනාධාර සැපයීම
යම් අඩු ආදායම්ලාභී පුද්ගලයකුට ජීවත්වීමට ඔහුගේ ආදායම වැඩිකර ගැනීමේ ක්‍රමවේද සකස් කර දෙනවා මිස ඔහුට සහනාධාර ලබාදීම රටක ආර්ථිකයට කරන බලවත් හානියකි. එහෙත් පසුගිය දශක ගණනාවක් මුළුල්ලේම ඡන්දය ලබාගැනීම සඳහා කළේ සහනාධාර එන්න එන්නම වැඩි කිරීමයි. මින් සිදුවුණේ රටේ දුප්පත්කම තව තවත් ඉහළ යෑමයි. කුසගින්නේ සිටින්නාට මාළුවකු නොව බිලිපිත්තක් දෙන්නයි කොම්පියුසියස් වාදයේ සඳහන් කොට ඇත්තේ එහෙයිනි. රටේ දුප්පත්කම වැඩිකරන සහනාධාර ක්‍රියාවලිය පිටුදැක දුප්පත්කම නැතිකරන ආර්ථික සංවර්ධනයක් ඇතිකිරීමට යෝජනා කරන්න මීළඟ නායකයා විය යුතය.
● ඉන්දියානු ආර්ථිකයේ බලපෑම
ඉන්දියාව යනු මේ වනවිට ඩොලර් බිලියන 3400 ක ආර්ථිකයක් ඇති රටකි. මෙහි වාර්ෂික ආර්ථික වර්ධන වේගය 8.2% කි. එනම් මීළඟ දශකයේ ඉන්දියාවේ ආර්ථිකය දෙගුණ වන්නේය. ඉන්දියාව සමග නිදහස් වෙළඳ ගිවිසුමක් සහිත අපේ රටට මින් 1% ක් වත් එනම් ඩොලර් බිලියන් 34 ක් උකහා ගැනීමට නොහැකි නායකයෙකුගෙන් ලංකාවට පලක් වෙතැයි සිතිය නොහැක. ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, වාහන කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය ආදියෙන් ඉතා ඉදිරියෙන් සිටින අතර මේවා අප රටට ද පහසුවෙන් ළඟා කරගත හැකි අංශයන්ය. ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 75 ක් වන අතර ආර්ථික වර්ධන වේගය 2.2% කි.
ලංකාවේ ආර්ථිකය ගැන දුරදක්නා නායකයකු ජනාධිපති අපේක්ෂකයින් අතර සිටිත්දැයි බලා තෝරා ගන්න.
● ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ හා ඓතිහාසික වැදගත්කම
ලෝකයේ මුහුදු මාර්ගවලින් වැඩිම ප්‍රමාණයක් ශ්‍රී ලංකාව හරහා වැටී ඇත. මෙය නිසිපරිදි කළමනාකරණය කරගන්නේ නම් අප රටෙහි ආර්ථිකය නංවාලීමට ඉන් විශාල දායකත්වයක් ලබා ගත හැකිය. මෙය හඳුනාගත් අපේක්ෂකයකු සිටිද්ද ඔහු ගැන සලකා බැලිය යුතුය.
අපේ පැරණි නටබුන් ආදියට තවමත් ලෝකයේ නිසි ප්‍රචාරණයක් දී නැත. මේවා නැරඹීමට එන සංචාරකයින්ට ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සකස්කොට නැත. මිසරයේ පිරමිඩ නැරඹීමට යන සංචාරකයන්ගෙන් දිවාකාලයේ ඒවා නැරඹීම සඳහා ගාස්තුවක් අයකරන අතර විදුලි බුබුළුවලින් අලංකාර කොට රාත්‍රි කාලයේ පිරමිඩ පෙන්වා තවත් මුදලක් උපයා ගනිති. අප රටේ සීගිරිය සවස හතරට වසා දමන අතර සංචාරකයෝ එය නොබලාම යති. මෙවන් ආදායම් මාර්ග හා සංචාරකයින්ට අප රටට පැමිණ සාධාරණ මුදලක් ගෙවා සාධාරණ ලෙස කාලය ගතකිරීමට අවස්ථාව සලස්වාදී සංචාරක ව්‍යාපාරයෙන් රටේ ආදායම ඉහළ නැංවීමට කල්පනා කරන නායකයෙක් අපේක්ෂකයන් අතරින් තෝරා ගතයුතුය.
(ලිපිය සැකසීමට ආචාර්ය රුචිර විජේසේනයන්ගේ යූ ටියුබ් නාලිකාවෙන් කරුණු ලබාගත් අතර ඔහුට ස්තුතිය.)
චිත්‍රාන් මොරකන්දෙ ගමගේ