ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අයකිරීමේ තීරණය බල රහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බැලීම 28දා

16

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් අත්සන් කර ඇති ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් සේ සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවක් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 28 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් නොවන බව සඳහන් කළහ. 2022 අංක 45 දරන දේශීය ආදායම් සංශෝධන පනත යටතේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් වශයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් අර්ථකථනය කර තිබෙන බවත් එය වැරදි සහගත බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

සිය සේවාදායකයන් සේවක අර්ථ සාධක අරමුදල් ඇතුළු දීමනාවලට හිමිකම් නොකියන අතර කිසිදු සාධාරණ කරුණු විමසීමකින් තොරව සිය සේවාදායකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් වශයෙන් කාණ්ඩගත කිරීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සංකරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් නොවන අතර ඔවුන් ස්වාධීන සේවා සපයන්නන් යැයි පෙන්වා දුන්හ. 2022 වසරේ සංශෝධිත දේශීය ආදායම් පනත යටතේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස සලකා ඔවුන්ගෙන් 2023 වසරේ ජනවාරි මස 1 වැනිදා සිට රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. මෙම ගැටලුව හේතුවෙන් 2024 වසරේ නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගෙවීම් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්හ. ඒ අනුව පෙත්සම්කරු විසින් ඉදිරිපත් කරන ඉල්ලීම්වලට තමන් සහාය පළ කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ඉන් අනතුරුව වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දේශීය ආදායම් සංශෝධන පනත යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වූ ක්‍රීඩකයන් එහි සේවකයන් වශයෙන් අර්ථකථනය කෙරෙන බව සඳහන් කළේය.

ඒ අනුව ඔවුන් බදු ගෙවීමට යටත් වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම ලබන 28 වැනිදා දක්වා කල් තැබුණු අතර එදින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් වැඩිදුර කරුණු දැක්වීමට නියමිතය.


advertistmentadvertistment