ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනයට නව අධිකාරියක් පිහිටුවනවා – 11,000ක් ක්‍රියාත්මක වුණත් ලියාපදිංචි වී ඇත්තේ 5යි

87

රාජ්‍ය ඇමැති සියඹලාපිටිය කියයි

මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 11,000ක් පමණ ක්‍රියාත්මක වුවද ඉන් ලියාපදිංචි වී ඇත්තේ ආයතන 5 ක් පමණක් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

වැඩි වශයෙන් ග්‍රාමීය අඩු ආදායම්ලාභී ජනතාව ගනුදෙනු කරන මෙම ආයතනවල බලපෑම හේතුවෙන් අපහසුතාවට පත් වූ ලක්ෂ 30ක පමණ පිරිසක් සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. එබැවින් මෙම ආයතන ලියාපදිංචි කිරීම අනිවාර්යය වන අතර ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා නව අධිකාරියක් පිහිටුවන බව ද අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

“ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු සිදුවිය යුතුයි. නමුත් හොඳ පාලනයක් තිබිය යුතුයි. අපේ රටේ ආයතන 11,000ක් තියෙනවා. නමුත් ලියාපදිංචි වෙලා තියෙන්නේ 5 යි. ලියාපදිංචියක් නෑ කියන්නේ නියාමනයක් නෑ, හිතුමතේ වැඩ කරනවා කියන එකයි. මේ තුළින් ග්‍රාමීය කාන්තාව විශාල ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු නිසා අපහසුතාවට පත්වුණ අය 30 ලක්ෂයක් දැන් සංවිධාන ගතවෙලා ඉන්නවා. මේක ජාත්‍යන්තර මට්ටමට ගිය ප්‍රශ්නයක් වෙලා.

ඒ නිසා අපි කටයුතු කරගෙන යන්නේ අලුත් නීතියත් එක්ක සියලුම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ලියාපදිංචි විය යුතුයි. මහ බැංකු නියාමනයට යටත්විය යුතුයි. මේ නීතිමය අවශ්‍යතාව සම්පූර්ණ නොකරන අයට ලක්ෂ 50ක දඩයකට සහ වසර 5 ක සිර දඬුවමකටත් යටත් වෙනවා.”
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment