මිලියන දහසක මුදල් නාස්තියක්

දහඅට වසරටම එකම කාලගුණ අනාවැකියක්වත් නෑ !

ශ්‍රී ලංකාව අසල්වැසි ඉන්දියාවෙන් හැටෙන් එකක් (1/60) තරම් කුඩා දිවයිනක් වුවද එහි’ භූගෝලීය පිහිටීම නිසා ලොව බලවත් රටවල නිරන්තර අවධානයට ලක්වන, දේශපාලන, ආර්ථික’ වශයෙන් අනාරක්ෂිත දිවයිනක් බවට පත්ව තිබේ.

විශේෂයෙන්ම කාලගුණ විපර්යාස සහ නාවුක ගමනාගමන නිරීක්ෂණය ක්ෂේත්‍රයන්ට අදාළව ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම වඩාත් විශේෂිත බව ලෝක බලවතුන් ඒ සම්බන්ධයෙන් දක්වමින් සිටින උනන්දුවෙන් පෙනේ.”

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කාලගුණ විද්‍යාව පිළිබඳව මහාචාර්ය ජිනදාස කටුපොත මහතා මෙම අදහස් පළ කරන්නේ, ශ්‍රී ලංකාවට ඩොප්ලර් රේඩාර් පද්ධතියක ඇති අවශ්‍යතාව සහ රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘති අසාර්ථකවීම පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ තියුණු ඇසකින් නිරීක්ෂණය කිරීමෙන් පසුවය.

ශ්‍රී ලංකාවේ, කාලගුණ විපර්යාස ඇතුළු ස්වභාවික පරිසරයේ වෙනස්වීම් සහ නාවුක ගමනාගමනය පිළිබඳව පුරෝකථනය කිරීම සඳහා “ඩොප්ලර් රේඩාර් පද්ධතියක්” අවශ්‍ය බවට ශ්‍රී ලංකා රජයේ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ මීට වසර 18 කට තරම් පෙර, එනම් 2006 දීය. එහෙත් කෝපා කමිටුවේ හිටපු සභාපති ලසන්ත අලගියවන්න අමාත්‍යවරයා සඳහන් කරන පරිදි අද වන විටත් එදිනෙදා වැසි වාර්තා ප්‍රධාන කාර්යාලයට ලබා දෙන්නේ තැපැල් කාඩ් මගිනි. ඒ ‘ඩොප්ලර් රේඩාර් පද්ධති’ ස්ථාපනය කිරීම් වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ අතිවිශාල ධනස්කන්ධයක් වැය කරමින් සිදුකරන ලද උත්සාහයන් කිහිපයක්ම අසාර්ථක වීමෙන් අනතුරුවය.

කාලගුණ විපර්යාස නිරීක්ෂණය කිරීමේිඩොප්ලර් රේඩාර් පද්ධති ස්ථාපනය කිරීමේ එම වෑයම, ශ්‍රී ලංකාවේ ජාතික ධනය සැලසුමකින් තොරව නිකරුනේ නාස්ති කරන ආකාරයත්, ලෝක බලවතුන්ගේ අවශ්‍යතා හමුවේ ඇතැම් අවස්ථාවල ශ්‍රී ලංකාවට ‘පර්යේෂණාගාරයක මීයෙකු’ බවට පත්වීමට සිදුවී ඇති ආකාරයත් පිළිබිඹු කෙරෙන අපූරු නිදසුනකි.

කාලගුණික වෙනස්කම් කල්තියා දැන ගැනීමේ කැබිනට් උවමනාව

ඩොප්ලර් රේඩාර් පද්ධතියක් පිළිබඳව ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේතුවට මුල් වරට උනන්දුවක් ඇතිවී ඇත්තේ 2003 මැයි 17 දින දිවයිනේ නිරිත දිග ප්‍රදේශයට ඇදහැළුන ධාරාණිපාත වර්ෂාවත් සමඟය. ඒ වනවිට ත්‍රිකුණාමලය කාලගුණික දත්ත විශ්ලේෂණය කළ’ WSR 74 යන්ත්‍රය යල් පැන ගොස් තිබීමද එයට හේතුවකි. ඊට පසුව ඇතිවූ සුනාමි ව්‍යසනය නිසා’ ඩොප්ලර් රේඩාර් පද්ධතියක අවශ්‍යතාව යළි සාකච්ඡාවට ලක්විය. නමුත් එය ක්‍රියාවට නැංවෙන්නේ 2006 වසරේ අමාත්‍ය මණ්ඩල තීරණය සමගිනි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වෙබ් අඩවිය සඳහන් කරන පරිදි, 2007 මැයි 24 දින ලෝක කාලගුණ විද්‍යා සංගමයේ භාරකාර අරමුදල සමග ඒ සඳහා ගිවිසුම් ගත වී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ එවකට සිටි අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා 2016 මැයි 29 දින, tv news 1 වෙත ලබාදී ඇති සාකච්ඡාවට අනුව, 2006 වසරේ මුදල් ප්‍රතිපාදනවලින් ඩොප්ලර් රේඩාර් පද්ධති අවශ්‍යතාව වෙනුවෙන් මුල්වරට වෙන්කරන ලද මුදල රුපියල් මිලියන 400 කි.

දහඅට වසරක් තිස්සේ මිලියන දහසක අත්හදා බැලීම්

කාලගුණ අනාවැකි කියන ඩොප්ලර් රේඩාර් පද්ධති ව්‍යාපෘතියට
මහාචාර්ය අමින්ද මෙත්සීල

ඩොප්ලර් රේඩාර් පද්ධතියක අවශ්‍යතාව පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය යොමුවී වසර 18 ක් ඉක්ම ගොස් තිබියදීත් තවමත් එම අවශ්‍යතාව ඉටුකරගැනීමට ශ්‍රී ලංකාව අසමත්වී තිබේ. ඒ විවිධ අත්හදා බැලීම් රැසක් අසාර්ථක වීමෙන් අනතුරුවය.

වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පෙන්වා දෙන පරිදි එම අත්හදා බැලීම් වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් මිලියන දහස ඉක්මවයි.

ඩොප්ලර් රේඩාර් පද්ධති ස්ථාපිත කිරීමේ එම උත්සාහයන් වැඩිදුර විමර්ශනය කරනවිට පෙනී යන්නේ ඩොප්ලර් රේඩාර් පද්ධතියක අවශ්‍යතාව ඇත්තේ ශ්‍රී ලංකාවට නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණ ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව පමණක් නොවන බවය. එසේම රටක් වශයෙන් ස්වාධීන තීරණ ගැනීමට සහ ඒවා ක්‍රියාවට නැංවීමට අප අපොහොසත්වී ඇති බවය. මහාචාර්ය ජිනදාස කටුපොත වැනි විද්වතුන් මූල්‍යමය හානියටත් වඩා රටේ අවධානය යොමු කිරීමට උත්සාහ කර ඇත්තේ එම තීරණාත්මක කරුණ පිළිබඳවය.

ඇමරිකාවේ සහ ලෝක කාලගුණික විද්‍යා සංගමයේ උවමනාව

ශ්‍රී ලංකාවට ඩොප්ලර් රේඩාර් පද්ධතියක් සවිකිරීමට ගනු ලැබූ තීරණය අනුව, 2007 වසරේදී ලෝක කාලගුණ විද්‍යා භාරකාර අරමුදලෙහි තැන්පත් කර ඇති මුදල රුපියල් මිලියන 320 කි. 2020 දී ඩබ්.පී.සී. වික්‍රමරත්න විගණකාධිපතිවරයාගේ අත්සනින් නිකුක් කර ඇති වාර්තාව එම තොරතුර වැඩිදුරටත් සනාථ කරයි. ඒ වෙනුවෙන් ලෝක කාලගුණ විද්‍යා සංගමයේ භාරකාර අරමුදල සමග ගිවිසුම් ගත වී ඇති අතර ලංකාව තුළ එවැන්නක් ස්ථාපිත කිරීමට සුදුසු ස්ථාන දහයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විශේෂඥයන්ගේ මැදිහත්වීම මත’ ලබා දී තිබේ.

ගොංගල කඳු මුදුනේ ඇමරිකානු අත්හදා බැලීම

කාලගුණ අනාවැකි කියන ඩොප්ලර් රේඩාර් පද්ධති ව්‍යාපෘතියට
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඒ. කේ. කරුණානායක

ලෝක කාලගුණ විද්‍යා සංගමයේ විමර්ශනයෙන් පසුව ලංකාවේ දකුණු පළාතේ ගොංගල ප්‍රදේශයේ ඩොප්ලර් රේඩාර් පද්ධතිය ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ. අදාළ පද්ධතිය ඇමරිකාවේ Enterprises Electric Corporations ආයතනයෙන් මිලදී ගැනීමටද තීරණය වී ඇතැයි ද 2020 ජුනි මස ජාතික විගණන වාර්තාවේ සඳහන් වේ. එම ඇමෙරිකානු ආයතනය තෝරා ගැනීම පිළිබඳව කිසිදු ටෙන්ඩර් පටිපාටියක් ක්‍රියාත්මකවී නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ 2016 විගණන වාර්තාව මගින් සනාථ කරයි.

2007 ජනවාරි මස 13 වන දින ආපදා කළමනාකරණ අමාත්‍යංශය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හත් දෙනෙකුගෙන් සමන්විතව මෙම කාරණය සම්බන්ධයෙන් මෙහෙයුම් කමිටුවක් පත් කරගෙන ඇති නමුත්, මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත්තේ එම මෙහෙයුම් කමිටුවේ නිර්දේශවලටද පිටතින් ගොස්’ බව 2013 ශීර්ෂ 106 කාර්ය සාධන විගණකාධිපති වාර්තාව සහ PER/A/W/F/2018/03 යන වාර්තා ද්විත්වය පෙන්වා දෙයි.

මෙම කොන්ත්‍රාත්තුව පිරිනැමීම හෝ ඩොප්ලර් රේඩාර් පද්ධතිය මිලදී ගැනීම සම්බන්ධව කිසිදු ලේඛනයක් දෙපාර්තමේන්තුව සතුව ද නැතැයිද එම විගණන වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ පිළිබඳව අදහස් පළ කරන වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්ය අමින්ද මෙත්සිල සඳහන් කරන්නේ ‘මේ සිදුව ඇති ගනුදෙනුව ටෙන්ඩර් පටිපාටියකින් තොරව සිදු වී ඇති බවයි. රටක මූල්‍යමය ප්‍රතිපත්ති තීන්දු තීරණ ගැනීමේදී පවා දේශපාලකයන්ගේ මැදිහත්වීම මේ තුළින් දක්නට ලැබෙන බව’ ඔහුගේ අදහසයි.

අදාළ රේඩාර් පද්ධතිය මිලදී ගැනීමට පෙර පිළිගැනුම් පරීක්ෂණයට දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරුන් සම්බන්ධ වී ඇති අතර, පළමුව පැවැත්වූ එම පරීක්ෂණය සාර්ථක වී නැති බවද විගණන විමර්ශනවලදී හෙළිවී තිබේ. අනතුරුව, යළි වතාවක් දෙවන පරීක්ෂණයක් සිදුවී ඇති අතර’ ඒ සඳහා දෙපාර්තමේන්තුව නිලධාරීන් සම්බන්ධ කර නොගෙන ලෝක කාලගුණික විද්‍යා සංගමයේ නියෝජිතයෙක් පමණක් සම්බන්ධ කරගනිමින් එම පරීක්ෂණය සමත් බවට නිර්දේශ කර ඇතැයි ද 2024.03.16 දිනැති ශීර්ෂ 304 දරන විගණන වාර්තාව පෙන්වා දෙයි.

එහෙත්, එම පරීක්ෂණ වාර්තාවේ තත්ත්ව ආරක්ෂණ කළමනාකරුගේ අත්සන නොමැති බවද එසේ තිබිය දී ලංකාවට මෙම ඩොප්ලර් රේඩාර් පද්ධතිය ආනයනය කිරීමට කටයුතු යොදා ඇති බවද විගණන වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

ආයතන දෙකෙහිම සහභාගීත්වයෙන් පත් කළ කමිටුව පසෙක තිබියදී ඩොප්ලර් පද්ධතියේ ප්‍රසම්පාදනය කිරීම, සවිකිරීම, විශේෂඥ සේවය,’ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩල පුහුණු කිරීම සහ සම්බන්ධීකරණය යන කාරණා සඳහා කළමනාකරුවෙකු ලෙස ලෝක කාලගුණ විද්‍යා සංගමය පත් කර තිබේ.

ඉදිකිරීම් සහ ව්‍යාපෘතියේ කටයුතු අංක 10/0041/343/0012010-01-13 අමාත්‍යංශය තීරණ අනුව විවෘත ටෙන්ඩර් වලින් බැහැරව කොන්ත්‍රාත් සහ ඉංජිනේරු කාර්ය ඇමරිකාවේ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) වෙත භාරදී ඇත්තේ ලෝක කාලගුණ විද්‍යා සංගමයේ උපදෙස් මතය.

ඩොප්ලර් රේඩාර් පද්ධතිය ස්ථාපිත කිරීමට සුදුසු කලුන ඉදිකිරීම සඳහා පමණක් රුපියල් මිලියන 320 ක්, මාර්ගය ඉදිකිරීමට රුපියල් මිලියන 60.45 ක්, නිලධාරින් සඳහා දෙවැනි මහලේ ඉදිකළ කාමරයට රුපියල් මිලියන 6.35 ක් වැය කර ඇත.’

ඊට අමතරව ඩොප්ලර් රේඩාර් පද්ධතිය වරායේ සිට රැගෙන ඒමට සහ දොඹකරයට කොන්ත්‍රාත් මුදල වශයෙන් රුපියල් මිලියන 2.84 ක් වැය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ නියෝජන දායකත්ව ගිණුමක් වන කාලගුණ විද්‍යා සංගමයේ ජිනීවා ගිණුමට ඇමරිකන් ඩොලර් 2884274 ක මුදලක් (රුපියල් මිලියන 376.57) තැන්පත් කර තිබේ. එම මුදලින් ඇමරිකන් ඩොලර් 95108 ක් ( රුපියල් මිලියන 12.41 ) 2014.6.15 ලබාගෙන ඇත. එම තැන්පතු පොලියෙන් ඇමෙරිකන් ඩොලර් 113046.49 ක ( රුපියල් මිලියන 14.59) මුදලක් ලබා ගෙන ඇති බවද ඩබ්.පී.සී. වික්‍රමරන්න

විගණාධිපතිවරයාගේ අත්සනින් යුත් PER/A/WF/2018/03 විගණන වාර්තාව සඳහන් කරයි. මුල් සැලසුම අනුව, අදාළ ඉදිකිරීම් සියල්ල එකම ආයතනයකට ලබාදී සියලුම ඉදිකිරීම් 2010 අගෝස්තු 27 වන දිනට සම්පූර්ණ කළ යුතුව තිබූ බවද විගණන වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

එහෙත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ 2016 වසරේ මූල්‍ය ප්‍රකාශය (ශීර්ෂ 304) පෙන්වා දෙන පරිදි, ඔවුන්ට වැඩ අවසන් කිරීමට හැකිවී ඇත්තේ 2013 දෙසැම්බර් මාසයේදීය. ඒ අනුව 2011 වසරේදී මෙරටට ආනයනය කරනු ලැබූ රේඩාර් පද්ධතිය ස්ථාපිත කර ඇත්තේ 2013 ඔක්තෝබර් මාසයේදීය. එහෙත්, එය 2015 සැප්තැමිබර් 30 දින තෙක් පැවැතී ඇත්තේ අක්‍රීයවය.

2011 වසරේදී ආනයනය කර වසර ගණනාවක් ගබඩා කරගෙන තබා ගැනීම, අදාළ ඉදිකිරීම් ප්‍රමිතියෙන් තොරවීම සහ නියමිත මුදල් ගෙවා තිබියදී අදාළ කාලසීමාවන් වලදී ඉදිකිරීම් අවසන් නොකිරීම යන කරුණු සියල්ල සමග ස්ථාපිත කළ ඩොප්ලර් රේඩාර් පද්ධතිය කඩා වැටීමකට ලක්වීම පිළිබඳව ද ජාතික විගණන කාර්යාලයේ පීඊආර්/ඒ/ ඩබ් එෆ් /2018/ 03 අංක දරන පිටු හැත්තෑ තුනකින් යුත් වාර්තාවේ (13 පිටුවේ සිට 36 පිටුව දක්වා) දීර්ඝ වශයෙන් පෙන්වාදී තිබේ.

2023.08.10 දිනැති, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පිළිබඳ රාජ්‍ය ගිණුම්කාරක සභා වාර්තාව පෙන්වා දෙන පරිදි, අදාළ යන්ත්‍රය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් 2011 ඔක්තෝබර් 3 වන දින ඇමරිකන් ඩොලර් 1303014 (රුපියල් මිලියන 144.07) ක රක්ෂණාවරණයක් ලබාගෙන,’ ඒ සඳහා වාරික පහකදී රුපියල් මිලියන 1.61 ක මුදලක් වාරික වශයෙන් ගෙවා ඇතත්, රක්ෂණ සමාගම සමඟ ඇතිකරගත් ගිවිසුම් සහ කොන්දේසිවල නොගැලපීම මත ව්‍යාපෘතිය අසාර්ථක වීමෙන් කිසිදු රක්ෂණ මුදලක් ලබා
ගැනීමට හැකියාවක් ලැබී නැත.

2015 මැයි 03 වන විට ලෝක කාලගුණ විද්‍යා සංගමයේ භාරකාර අරමුදලෙහි ඉතිරිව තිබී ඇති මුදල ඇමරිකන් ඩොලර් 1428841 (රුපියල් මිලියන 194.2) කි. එම මුදල ද අදාළ යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා යොදවා තිබේ. 2016 ජනවාරි මස දී රුපියල් මිලියන 9 .14 ක් වටිනා උපකරණ තොගයක් අස්ථානගතවී ඇති බවද’ 2019,2020,2021 විගණකාධිපති වාර්තා සඳහන් කරයි. අදාළ යන්ත්‍රය 2017 අප්‍රේල් 21 දින නැවත ඇමරිකාවේ එය නිෂ්පාදිත සමාගමට යැවීමට තීරණය කර ඇති අතර එය යැවීමේ වියදම රුපියල් මිලියන 5.64 කි.

2017 අප්‍රේල් මස 26 වනදා රේඩාර් පද්ධතිය නැව් ගත කිරීමට ඇමරිකන් ඩොලර් 361629 ක ( රුපියල් මිලියන 8.3 ) මුදලක් ගෙවා ඇතැයි ද හෙළිවී තිබේ.

2006 වසරේදී ඇරඹි එම ව්‍යාපෘතිය අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස ඉවත දමා වසර 13 ක කාලයක්’ නිහඬව සිටින ශ්‍රී ලංකා රජය මෙතෙක් එකදු ඩොප්ලර් රේඩාර් පද්ධතියක්වත් ස්ථාපිත කිරීමට සමත් වී නැත.

ඒ නිසාම පැන නගින ගැටලුව වන්නේ එම ව්‍යාපෘතිය අතරමග නවතා දමා ඇත්තේ, ව්‍යාපෘතිය අසාර්ථකවීම නිසාද එසේ නැතහොත් බලවත් රාජ්‍යයන්ගේ බලපෑම නිසාද යන්නයි.

අදාළ සිද්ධිය සම්බන්ධව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් 2017 පංච පුද්ගල කමිටුවක් පිහිටුවා එහි විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. එමගින් අදාළ ව්‍යාපෘතිය පිළිබඳව කනස්සල්ලක් මෙන්ම එහි උභතෝකෝටික ප්‍රශ්නයක් ඇති බව, පංච පුද්ගල කමිටු වාර්තාවේ දැක්වේ. රේඩාර් පද්ධතිය සවි නොකිරීම සහ ඒ පිළිබඳව ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තොරතුරු පනතට අනුව කළ විමසීමට ඉතාම කෙටියෙන් ප්‍රතිචාර දක්වමින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ඒ. එල්. කේ. විජමාන්න පවසන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මෙරටට ආනයනය කළ EECDWSR- 8501/S-SDP යන වර්ගය සඳහා රජය වියදම් කළ මුදල රුපියල් මිලියන 402ක් බවය.’ සිදුවූ පාඩුව රුපියල් මිලියන 60.23 ක් වුවත් එම ප්‍රතිපාදන මගින් කඳු මුදුනේ ඉදිකළ ගොඩනැගිල්ල ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ භාවිතයට ලබාදී තිබෙන බවද එම ප්‍රතිචාරයේ සඳහන් වේ. විනාශ වූ අතිවිශාල මුදල පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදු කිරීමට දෙපාර්තමේන්තුව අපොහොසත්වීම පිළිබඳව තොරතුරු පනත යටතේ සිදුකළ විමසීමට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ, “මේ සම්බන්ධව පත් කළ කමිටුවේ තීරණය වූයේ යන්ත්‍රය අලුත්වැඩියා කරනවාට වඩා නව තාක්ෂණයෙන් යුතු ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයක් මිලදී ගැනීම ප්‍රායෝගික බවයි. එබැවින් අලුත්වැඩියාව අතහැර දමන ලදී.” යනුවෙනි.

ජපන් ඩොප්ලර් රේඩාර් පරිත්‍යාග

කාලගුණ අනාවැකි කියන ඩොප්ලර් රේඩාර් පද්ධති ව්‍යාපෘතියට
කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ ඒ. එල්. කේ. විජේමාන්න

2018/2030 ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ සැලැස්ම පෙන්වාදෙන පරිදි, ලොව ආපදාවන්ට මුහුණ දෙන රටවල් අතර ශ්‍රී ලංකාව හයවැනි ස්ථානයේ පසුවේ.

එම අවදානමෙන් රට මුදා ගැනීමට ලංකා රජය වෙහෙසක් දරන බවක් පෙනෙන්නට නොතිබුණද, ජපානය ඒ කෙරෙහි අවධානය යොමු කරමින් රුපියල් මිලියන 2503 ක වටිනාකමින් යුත් ඩොප්ලර් රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීමට 2017 දී’ එකඟතාව පළකර තිබේ.

ජපානය ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක් සවිකිරීමට ශ්‍රී ලංකා රජය සමඟ ගිවිසුම් ගතව සිටියද එයද 2023 වනතුරුම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය සමත් වී නැත.

2015 න් පසු බලයට පැමිණි ආණ්ඩුව ඩොප්ලර් රේඩාර් පද්ධතිය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියට අදාළව මූල්‍ය වංචා පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ අතර විමර්ශන කටයුතු සිදුවෙමින් තිබියදී 2019′ වසරේ දී නැවතත් ලංකාවේ රාජ්‍ය පාලනය වෙනස් විය. විනාශ වූ ඩොප්ලර් රේඩාර් පද්ධතිය ආරක්ෂා කිරීම භාරවූයේ හමුදාවටය. 2022 දී ශ්‍රී ලංකා රජය ආර්ථික වශයෙන් වඩාත් උග්‍ර අර්බුදයකට මුහුණ දුන් අතර මෙම අස්ථාවර තත්ත්වය ජපන් ඩොප්ලර් රේඩාර් පද්ධති කෙරෙහි ද බලපෑවේය.

චීන ඩොප්ලර් රේඩාර් අත්හදා බැලීම්

කලාපයේ බලවතා වීමට උත්සාහ කරන චීනයටද ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම විශේෂිතය. ආර්ථික වශයෙන් පරිහානියට පත් ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සිටින චීනය ලද අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් පසුගිය 2023 අප්‍රේල් මාසයේදී ලංකාවේ දකුණු දිසාවෙහි ඩොප්ලර් රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීමට රජයෙන් අවසර ඉල්ලා සිටියේය.

2023.04.07 The economic times සඟරාව පවසන ආකාරයට ශ්‍රී ලංකා රජය පවතින ණය බරින් 52%ක ප්‍රමාණයක් ගෙවිය යුතුව තිබෙන්නේ චීනයටය. එනම්, මේ වනවිට ශ්‍රී ලංකාව සිටින්නේ කිසිසේත්ම චීන ඉල්ලීමක් නොතකා හැරිය හැකි තත්ත්වයක නොවේ.

චීනයේ සහ ශ්‍රී ලංකාවේ මෙම සැලැස්ම ඉන්දියාවේ උපාය මාර්ගික වත්කම්වලට තර්ජනයක් විය හැකි බවද The economic times වැඩිදුරටත් පෙන්වා දෙයි.

එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ’ හම්බන්තොට චයිනා මර්චන්ඩ් පෝට් සිටිය වසර 99 ක කාලයක් සඳහා ඩොලර් බිලියන 1.12 චීනයට බදු දීම තුළ ලංකාවට මෙන්ම යාබද රටවල්වලටද යම් අනාරක්ෂිත තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතී.

බලවත් රාජ්‍යයන් ශ්‍රී ලංකාව වැනි දූපතක ඩොප්ලර් රේඩාර් පද්ධති ස්ථාපිත කිරීමට දක්වන උනන්දුව පිළිබඳව සහ ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරමින් සිටින ආකාරය කුතුහලය දනවන සුළුය. the economic times පෙන්වා දෙන පරිදි කුඩම්කුලම් සහ කම්කුලම්වල පිහිටි න්‍යෂ්ටික බලාගාර ඇතුළුව රටේ දකුණු ප්‍රදේශයේ උපාය මාර්ගික වත්කම්වලට අමතරව ඉන්දියන් සාගර කලාපයේ සහ ඉන්දියාවේ පැවැත්ම සහ ඉන්දියානු නාවික හමුදාවේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම, ශ්‍රී ලංකාවේ රේඩාර් පද්ධතිය තුළින් සිදු කළ හැකි බව චීනය සලකා බලයි.’ කලාපය පුරා ඉන්දියාවේ උපාය මාර්ගික අවශ්‍යතාවලට හානිකර තත්ත්වයක් ඇති අතර රටේ දකුණු කොටසේ ඉන්දියානු උපාය මාර්ගික ස්ථාපනයක් රේඩාර් පරාසය තුළ පවත්වනු ඇති බව පැවසේ. රේඩාර් මඟින් අන්දමන් සහ නිකොබා දූපත් වෙත ගමන් කරන ඉන්දීය නාවික යාත්‍රාවල චලනය නිරීක්ෂණය කළ හැකි බවත් the economic times සඟරාව සඳහන් කරයි.

එහෙත් ඉන්දියාව පසුගිය වසර නවයක කාලය තුළ සියයට 40 කින් පමණ වැඩි දියුණු වී ඇති බව ඉන්දීය මධ්‍යම රජයේ අමාත්‍ය ජිතේන්ද්‍ර සිං පවසයි.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ 148 වැනි සැමරුම අමතමින් අමාත්‍යවරයා පවසා තිබුණේ, පුරෝකථනය වැඩිදියුණු වීමත් සමඟ ආපදා ආශ්‍රිත මරණ තනි ඉලක්කමක අගයක් දක්වා පහත වැටී ඇති බවයි. මේ වනවිට රට පුරා ඇති ඩොප්ලර් රේඩාර් සංඛ්‍යාව 2013 දී 15 සිට 2023 දී 37 දක්වා ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා පෙන්වාදී තිබිණි.

චීන මැදිහත්වීම පිළිබඳව දේශීය විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් කිසිවක් ප්‍රචාරය වී නැති අතර, ශ්‍රී ලංකාව චීනය සමග ඩොප්ලර් රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීම සම්බන්ධව කතාබහ හෝ ඊට අදාළ ප්‍රවෘත්ති පළවී ඇත්තේ විදෙස් මාධ්‍යවල පමණි.

මෙයින් චීන රජය බලාපොරොත්තු වන්නේ සාගර කලාපයේ හැසිරීම් සහ නාවුක හමුදා හමුදා ක්‍රියාකාරීත්වය, දියගො ගර්සියා දූපතේ ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම තුළින් අන්දමන් දූපත් නිකෝබා දූපත් දක්වා නිරීක්ෂණය කිරීමේ හැකියාව ලබා ගැනීම බව Economic Times 2023 April වාර්තා කරයි.

මේ විවිධ ක්‍රියාකාරකම් තුළින් ඒ ඒ බලවතුන් ම රාජ්‍යවල බලය තහවුරු කර ගැනීමට ඔවුනොවුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව භාවිත කරමින් සිටිනවා විය හැකි බව පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳව මහාචාර්ය අතුල වික්‍රමනායක සඳහන් කරයි. “අපේ රටට එක් ඩොප්ලර් රේඩාර් පද්ධතියක් සවි කළත් ඇති. එයින් නැව් ගමනාගමනය නිරීක්ෂණය කරන්න පුළුවන් වගේම මහාද්වීපවලට වඩා දූපත්වල විපර්යාස ඉක්මනින් වෙනස් වන නිසා ඉතා ඉක්මනින් කාලගුණය පිළිබඳ අනාවැකි පැවසීමේ හැකියාවත්’ තිබෙනවා.”

අසල්වැසි ඉන්දියාවේ 2023 වසර වන විට ඩොප්ලර් රේඩාර් පද්ධති 37 ක් ස්ථාපිත කොට තිබේ. කාලගුණ විද්‍යාඥ චාපා කල්පනී පවසන්නේ ඔවුන්ගේ අරමුණ 2025 වර්ෂය වන විට රේඩාර් පද්ධති සංඛ්‍යාව 62ක් බවට පත්කිරීම බවයි. (මූලාශ්‍ර 2023. 01. 26 භැඅි 19) ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ස්වභාවික විපත් වලින් තම රාජ්‍ය ආරක්ෂා කර ගැනීම පමණක් නොව සෙසු බලවත් රාජ්‍යයන්ගේ ග්‍රහණයට හසු නොවී ආරක්ෂිත විධිවිධානවලට ද යොමුවීමය.

ඒ තත්ත්වය ලංකාවට ඇතැම්විට තර්ජනයක් වීමේ හැකියාවක් ඇති බවත්, ගෝලීය බලවතුන්ගේ දේශපාලනය ලංකාවට බොහෝ දුරට බලපෑ හැකි’ බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳව මහාචාර්ය අතුල වික්‍රමනායක සඳහන් කරයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කාලගුණ විද්‍යාව පිළිබඳව මහාචාර්ය ජිනදාස කටුපොත මහතාගේ අදහස වන්නේ සුනාමිය වැනි ව්‍යසන ඩොප්ලර් රේඩාර් පද්ධතියකින් පූර්ව අර්ථකථනය සිදුකළ නොහැකි බවයි.”කාලගුණය සම්බන්ධව එවැනි තත්ත්වයක් ඇති වන්නේ නම් ලංකාවට යාබද රටවල්වලින් දත්ත ලබාගැනීමේ හැකියාවක් තිබෙනවා. එලෙස තිබියදී වර්ග කිලෝමීටර් 65000 ක් පමණ වූ අපේ මේ පුංචි රටට ඩොප්ලර් රේඩාර් පද්ධතියක් අවශ්‍ය වෙන්නේ නෑ. ඔය ව්‍යාපෘතියට රුපියල් මිලියන 420 ක් ආයෝජනය කළා කියල කියනවා. ඒක එහෙම වෙන්නෙ කොහොමද? මං හිතනවා වැඩි මුදලක් හොරා කෑවා කියලා. වෙන්කළ මුදල් වලින් භාගෙට භාගයක්ම දේශපාලකයන්ගේ සාක්කුවට යනවා. ගෙවූ වසර ගණනාවක කාලය තුළ නිලධාරීන්ගේ වැටුප්, විගණනයට යන වියදම, අදාළ භාණ්ඩ සහ ස්ථානය ආරක්ෂා කිරීමට වැටුප් ගෙවා ආරක්ෂක නිලධාරීන් යෙදවීම, සියල්ල තක්සේරු කළොත් මිලියන දහසකට වඩා මුදලක් අවභාවිත වෙලා. මම හිතන්නෙ එහෙම වෙන්නෙ ඒ රටින්, මේ රටින්, ණය දෙනවා කිව්ව පළියට ණය අරගෙන ලාභ බෙදාගන්න තියෙන පොර කෑමක් කියලයි.” මහාචාර්යවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට ගැලපෙන සංවර්ධන ව්‍යාපෘති හඳුනා නොගෙන, ඒ ඒ බලවත් රටවල් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා ඉදිරිපත් කරන විවිධ ව්‍යාපෘති වෙනුවෙන් පෙනී හිඳිමින් ලංකාවට දක්වන මූල්‍ය සහයෝගය ලබාගැනීමට කටයුතු කිරීමට යෑම නිසා රට තුළ මෙවැනි ගැටලු පැන නගින බව ඔහු සඳහන් කරයි.

‘අමතක කරලමු පැරණි කතා’

කාලගුණ අනාවැකි කියන ඩොප්ලර් රේඩාර් පද්ධති ව්‍යාපෘතියට
මහාචාර්ය ජිනදාස කටුපොත

මුදල් අවභාවිතවීම, ව්‍යාපෘතිය අඩාලවීම පිළිබඳ දැනට දෙපාර්තමේන්තුවක් ලෙස ගෙන ඇති පියවර පිළිබඳව සිදුකළ විමසීමට ප්‍රතිචාර දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඒ. කේ. කරුණානායක මහතා පවසන්නේ’ වසර ගණනාවකට ඉහතදී සිදුවූ සිද්ධිය පසෙකලා’ අලුතින් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ව්‍යාපෘති පිළිබඳව කතා කිරීම ඵලදායි බවය.

එම ඩොප්ලර් රේඩාර් පද්ධතිය උපයෝගී කරගනිමින් එදා-මෙදාතුර කාලගුණ විද්‍යා පුරෝකථන එකක් හෝ සිදුකර නැති බවද ඔහු සනාථ කරයි.

මෙවැනි මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ වගකීමට බැඳෙන පාර්ලිමේන්තුවේ ගිණුම්කාරක සභාවේ 2023 අගෝස්තු වාර්තාව සඳහන් කරන්නේ “අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණය සිදුවන අතර, චෝදනාගත නිලධාරීන් මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි.”

විෂය භාර අමාත්‍යවරු වගකීම භාරගත යුතුයි.

පුරවැසි ඇසකින් මෙම සමස්ත සිදුවීම් දාමය විශ්ලේෂණය කරමින් අදහස් පළ කරන’ ප්‍රජාතන්ත්‍රවාදය සහ රාජ්‍ය පාලනය පිළිබඳ පර්යේෂක නීතිඥ ඩී. එම්. දිසානායක මහතා සඳහන් කරන්නේ මිලියන දහසක් නොව වැයකර ඇති මුදල රුපියලක් වුවද, එම මුදල අපේ රටේ හෝ විදේශීයව ලැබුණු මුදලක් හෝ ආධාරයක් නම් ඒ සියල්ල මේ රටේ ජනතාව සතු මුදල් බවයි. ඒ මුදල් යම් කිසි ආකාරයකට වැරදි ලෙස භාවිත කර ඇත්නම් පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගතහැකි බවයි. “ඒ වගේම පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව හෝ කෝප් කමිටුවට පුළුවන් ඊට අදාළ රාජ්‍ය නිලධාරීන් හෝ දේශපාලකයන් පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අවධානයට යොමු ‘කරන්න. එසේම අදාළ කාලය තුළ මේ ව්‍යාපෘතිය භාරව කටයුතු කළ අමාත්‍යවරු විශේෂයෙන්ම මේ සම්බන්ධ වගකීම භාරගත යුතුයි.

අපේ රට අවදානම් තත්ත්වයකට පත්වන මෙවැනි තීන්දු තීරණ ගනිපු අදාළ අමාත්‍යවරු අනිවාර්යයෙන්ම මෙහි වගකීම භාරගත යුතුයි. ඒ වගේම සිදුව ඇති මූල්‍ය අපරාධය පිළිබඳව අදාළ පාර්ශවයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ගය ගැනීමේ හැකියාවක් තියෙනවා.” ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ ආර්ථික අගාධයේ කරවටක් ගිලී සිටින රටක සිදුවී ඇති මිලියන දහස් ගණනක එක් නාස්තිකාර ගනුදෙනුවක් පිළිබඳ නිදර්ශනයක් පමණි. ඒ සම්බන්ධයෙන් සිදුවී ඇති විගණන විමර්ශන ඇතුළු විවිධ විමර්ශන, වගකිවයුත්තන්ගේ ප්‍රකාශ පිටු සිය ගණනක් පරිශීලන කිරීමෙන් පසුවත් පෙනී යන්නේ එම මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් වගවීමට බැඳී සිටින කිසිවෙකු සොයා ගැනීමට මේ දක්වා සියලු පාර්ශව අසමත් වී ඇති බවකි. රටක මිලියන දහසකට ආසන්න අයථා ගනුදෙනු සහ මූල්‍ය අවභාවිත කිරීම් සම්බන්ධයෙන් වගවීමට බැඳෙන කිසිවෙකු නොමැතිවිය හැකිද?

එම වගවීමට බැඳී සිටින පුද්ගලයින් මෙම මූල්‍ය අවභාවිතය පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද?

චාන්දනී දිසානායක

advertistmentadvertistment
advertistmentadvertistment