අත්කම් කර්මාන්තය කඩා වැටුණේ චීන භාණ්ඩ ආනයනය නිසයි…

දැන් කලාපුරයට විදේශීය සංචාරකයෝ එන්නෙ නෑ…

කලාපුරයේ ප්‍රශ්න ගැන ප්‍රදේශයේ දේශපාලනඥයන් හොයන්නෙ නෑ…

හස්ත කර්මාන්තය දියුණු කරන්න රජයට සාර්ථක වැඩපිළිවෙළක් නෑ…

කලාපුරය මේ රටට ඩොලර් උල්පතක්…

ඩොලරය, ඉන්ධන මිල අඩු වුණාට අමුද්‍රව්‍ය මිල අඩු වෙලා නෑ…

හස්ත කර්මාන්තය නැංවීමේ අරමුණෙන් මහනුවර, කුණ්ඩසාලේ ආරම්භ කළ ‘කලාපුරය’ දැන් නමට පමණි. එම ගමේ හස්ත ශිල්පීහු ජීවත්වීමට කුලී වැඩ කරන්නාහ.

පසුගිය දිනෙක එම ගමට ගිය අපට කර්මාන්තයේ කඩා වැටීම ගැන සාකච්ඡා කිරීමට කෙනෙක් සොයාගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු විය. සෙනසුරාදා දිනයේ ද ඒ ගමේ පිරිමි බහුතරය ගෙවල්වල නැත. නොඋස් කඳු ගැටයක් මත පිහිටි කලා ගම පුරා ගමන් කළ අප අනුර ජයන්ත මහතාගේ නිවසට ගියේ, හේ ශිල්ප සංවර්ධන සමිතියේ සභාපතිවරයා බව පෙර සිට දැන සිටි හෙයිනි. මූර්ති නිර්මාණයක් කිරීමට අවශ්‍ය පාදම සකස් කරමින් සිටි හේ ලී කැටයම්, පිළිම නිර්මාණයට අතිදක්ෂ ශිල්පියෙකි. කලාපුරයේ පමණක් නොව, මෙරට හස්ත කර්මාන්තයේ ප්‍රවීණයෙකි. සුහද පිළිසඳරකින් පසු හේ කලා ගමේ විපත ගැන මුල, මැද, අග පිළිවෙළට මෙසේ ගෙත්තම් කළේ ය.

“ඉස්සර මේ ගම නොනිදන පුරවරයක්. හැම නිවසකම කම්හලක්. දෙතුන් දෙනෙක් වැඩ කරනවා. නිතරම ඝෝෂාකාරී. ඒ වගේම අපේ ගම වේගයෙන් දියුණු වුණා. චීන බඩු වෙළෙඳපොළට හඳුන්වාදීමත් එක්ක දේශීය අත්කම්වලට තියෙන ඉල්ලුම අඩු වෙන්න පටන් ගත්තා. හස්ත කර්මාන්තයේ කඩා වැටීම ආරම්භ වෙන්නේ චීනයෙන් භාණ්ඩ ආනයනයත් එක්ක. කොවිඩ් වසංගතය පැතිර ගොස් සංචාරක කර්මාන්තය කඩා වැටීමත් සමග, අපේ ගමට සංචාරකයන්ගේ පැමිණීම සම්පූර්ණයෙන්ම නතර වුණා. ඉස්සර සීසන් එකට මේ පාරවල් වාහනවලින් පිරෙනවා. දැන් මැස්සො ඇහිරෙනවා. නුවර පෙරහැර කාලෙට දේශීය සංචාරකයොත් ගමට එනවා. දැන් එහෙමවත් එන්නෙ නෑ. ඒත් රට පුරා ප්‍රධාන නගරවල, සංචාරක කලාපවල අත්කම් නිෂ්පාදන වෙළෙඳසල් විශාල වශයෙන් තියෙනවා. මහනුවර නගරයේ අත්කම් නිෂ්පාදන වෙළෙඳසල් විශාල ප්‍රමාණයක් තියෙනවා. තට්ටු දෙක, තුන බිල්ඩිං. වෙළෙඳාමක් නැති නම් සේවකයන් නඩත්තු කර ගෙන ඒ වෙළෙඳසල් පවත්වාගෙන යන්නෙ නෑ. මේ කර්මාන්තයට හොඳ වෙළෙඳපොළක් තියෙනවා. සැඟවිච්ච සුපිරි ආදායම් මාර්ගයක්. කර්මාන්තය හරියට දියුණු කළොත් අපේ නිෂ්පාදන පිටරටවලටත් විකුණන්න පුළුවන්. කෙටි කාලයකින් අපේ නිෂ්පාදනවලට ලෝක ප්‍රසිද්ධියක් ලැබෙනවා. අපේ ශිල්පීන් උපරිම ප්‍රමිතියෙන් යුක්තව නිෂ්පාදන කටයුතු සිදු කරනවා…” කුණ්ඩසාලේ කලාපුරයේ ශිල්ප සංවර්ධන සමිතියේ සභාපතිවරයා මෙරට අත්කම් නිෂ්පාදනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සහතිකයක් දුන්නේය.

මහනුවර දිස්ත්‍රික්කයේ, කුණ්ඩසාලේ මැතිවරණ කොට්ඨාසයේ ගල්මඩුව ප්‍රදේශයේ කලාපුරය ආරම්භ කර ඇත්තේ 1965 වර්ෂයේදී ය. මෙරට පුරා විසිරී සිටින විවිධ දක්‍ෂතා සහිත කලාකරුවන් එක භූමියක පදිංචි කරවමින් දේශීය කර්මාන්ත දියුණු කරමින්, මෙරට කලා නිර්මාණ විදේශීය වෙළෙඳපොළට හඳුන්වාදීමේ ව්‍යාපෘතියේ නිර්මාතෘවරිය අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. කලාපුරයට සමගාමීව කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව සහ ලක්සල ද ආරම්භ විය. පසුකාලීනව මෙරට හස්ත කර්මාන්තයේ දියුණුවට ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ජාතික ශිල්ප සභාව ද ආරම්භ විය. පළමු අදියර යටතේ පවුල් තිස්පහකින් ආරම්භ වූ කලාපුරය 1978 සහ 1989 වර්ෂවල දී තවත් අදියර දෙකක් යටතේ ඒ ගමේ පදිංචි පවුල් සංඛ්‍යාව වැඩි කෙරිණි. අදියර තුන යටතේ පදිංචි සම්පූර්ණ පවුල් සංඛ්‍යාව 120කි. මේ වෙනකොට එම පවුල් සංඛ්‍යාව විකාශනය වී කලාපුරයේ ජීවත්වන පවුල් සංඛ්‍යාව වැඩි වී ඇත. ඒ සියලු පවුල් නඩත්තු වනුයේ තම නිර්මාණ අලෙවියෙන් ලැබෙන ආදායමෙනි. එමෙන්ම මෙරට අත්කම් නිෂ්පාදන ප්‍රමිතියෙන් උසස් බව කාලාන්තරයක සිට සනාථ වී ඇති බව සැබෑය. මේ වෙනකොට වෙළෙඳපොළේ අධික මිලකට අත්කම් නිෂ්පාදන අලෙවි වන බව ද සැබෑය. සාමාන්‍ය පාරිභෝගිකයෙක්ට ලී කැටයමක්, පිත්තල භාණ්ඩයක් දිහා බැලීමට නොහැකි තරමට මිල වැඩිය. එහෙත් අත්කම් භාණ්ඩ නිෂ්පාදනය කරන කලාපුරයේ මිනිසුන්ගේ නිෂ්පාදනවලට සාධාරණ මිලක් නැත. අතරමැදි වෙළෙන්දෝ ඒ අසරණයන්ගේ දක්‍ෂතාවය, හැකියාව තුට්ටුවට දමා අධික ලාභ උපයන්නෝය. මෙරට බොහෝ ව්‍යාපාර, කර්මාන්ත ‘කම්බස්’ වීමට ප්‍රධාන හේතුව කාලකණ්ණි අතරමැදි වෙළෙඳ මාෆියාව බව සැබෑය. එළවළු වෙළෙඳපොළේ ලාභ උපයන්නේ ගොවියෝ නොව, අතරමැදියෝය. මැණික් වෙළෙඳපොළේ ලාභ ගන්නේ පතල්කරුවන් නොව, මැණික් ව්‍යාපාරිකයන්ය. සෑම කර්මාන්තයක්ම අතරමැදි කපුටෝ වසාගෙනය. නිෂ්පාදනකරුවන් සහ පාරිභෝගිකයන් මුහුවන වෙළෙඳපොළක් නිර්මාණය කරන දවස උදාවන තෙක් දේශීය කර්මාන්ත නඟාසිටුවීම අසීරුය. අනුර ජයන්ත නැවතත් හඬ අවදි කළේය.

කුණ්ඩසාලේ කලාපුරය වෙලාවට කලාවට ඈවර වෙයි

“හස්ත කර්මාන්තය දියුණු කරන්න තමයි ‘ලක්සල’ ආරම්භ කළේ. දැන් ලක්සලත් බංකොලොත්. ඒ වගේම මේ කර්මාන්තය දියුණු කරන්න තවම සාර්ථක වැඩපිළිවෙළක් නෑ. නිලධාරීන් සහ ශිල්පීන් අතර සහසම්බන්ධයක් නෑ. එවැනි ගැටලු නිසා අපේ ගම දවසින්, දවස පරිහානියට පත් වෙනවා…” ඔහුට වචන හිරවිණි. එහෙයින් ඒ වියපත් මිනිසාව තවත් අපහසුතාවයට ලක් කිරීමට මගේ සිත ඉඩ නොදුන්නේය. අනතුරුව අපි පිත්තල කැටයම් නිර්මාණකරුවෙක් හමු වුණෙමු. හේ දිලංක සම්පත් ය. වයස අවුරුදු 49කි. එක්දරු පියෙක් වන හේ පිත්තල වාත්තු සහ කැටයම් ශිල්පියෙකි. කර්මාන්තයේ කඩා වැටීමත් සමග අයට වැටුණු දිලංක පිත්තල භාණ්ඩ නිෂ්පාදනය කිරීමට ආර්ථික ශක්තියක් නොමැතිව වෙසක් උත්සවයට යකඩ පහන් කූඩු නිෂ්පාදනය කරමින් සිටියේ ය.

“මේක පාරම්පරික කර්මාන්තයක්. මුත්තා කිරිකිත්තාගේ කාලේ ඉඳලා කෙරෙන කර්මාන්තයක්. අපි හතර වෙනි පරම්පරාව. අපේ තාත්තලාගේ පරම්පාරවෙන් පස්සෙ දැන් අපිත් මේ කර්මාන්තය කරගෙන යනවා. ඒත් අපේ දරුවෝ මේ කර්මාන්තයේ රැඳෙන එකක් නෑ. දැනටත් ගමේ කොල්ලො, කෙල්ලො වෙනත් රැකියාවලට යොමු වෙලා. රාජ්‍ය ආයතනයක, පෞද්ගලික ආයතනයක වැඩ කළා ම පැන්ෂන් එකක් හෝ රැකියාවෙන් ඉවත් වෙනකොට යම් මුදලක් හරි අතට ලැබෙනවා. වයසට යනකොට අපිට මොනවද ඉතිරි වෙන්නෙ…” ඔහු එසේ කියනවිට මගේ මුවින් පිටවෙන පැනය නතර කර ගැනීමට නොහැකිය විය.

‘වයසට යනකොට ජීවත් වෙන්න අතපය හයිය කාලේ කීයක් හරි ඉතිරි කර ගන්න එපැ…’ මගේ පැනයට හේ සිනාසුණේය.

“එහෙම කාලයක් තිබුණා. ඒ මේ කර්මාන්තයේ ස්වර්ණමය යුගය. අපේ බැංකු පොත් ටික, ටික පිරුණා. ඒත් කර්මාන්තයට හෙනහුරා පාත් වුණාට පස්සෙ ඒ සල්ලිත් අරගෙන කෑවා, බිව්වා. තවම හරියට කර්මාන්තය පටන් ගන්න අවස්ථාව ලැබුණේ නෑ. ඉඳ හිට නිර්මාණයක් කරල උපයන සොච්චමෙන් ජීවිත ගැටගහගෙන පරිස්සමට ජීවත් වෙනවා. රජය අපිට කිසිම සහනාධාරයක් දෙන්නෙත් නෑ. බැංකු ණයක් දීලා, අපේ නිෂ්පාදනවලට සාධාරණ මිලක් නියම කරලා දෙනවා නම් අපිත් දියුණු වෙලා මේ ගමත් දියුණු කරන හැටි අපි දන්නවා. ඒ වගේම ආර්ථික අර්බුදයත් එක්ක තුන් ගුණයකින් ඉහළ ගිය අමුද්‍රව්‍ය මිල තවම අඩුවෙලා නෑ. ඩොලරය, ඉන්ධන මිල අඩු වුණාට අමුද්‍රව්‍ය මිල අඩු වෙලා නෑ. වැඩි මිලට අමුද්‍රව්‍ය අරගෙන නිෂ්පාදනය කරන පිත්තල භාණ්ඩ වෙළෙන්දෝ ඉල්ලන තුට්ටුවට දුන්නොත් අපිට වෙන්නෙ බෙල්ලෙ වැල දාගන්න. ඒ නිසා තවම මම පිත්තල භාණ්ඩ නිෂ්පාදනය කරන්නෙ නෑ. පිත්තල මිල අඩු නොවෙන්නේ අපේ රටේ පරණ පිත්තල එකතු කරල සපත්තු අඩි විදිහට භාණ්ඩ හදලා ඉන්දියාවට යවන නිසයි. අදටත් එම ජාවාරම කෙරෙනවා. දේශපාලන ප්‍රබලයන් සම්බන්ධ නිසා මේ ජාවාරම්වලට රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. දේශීය කර්මාන්ත නඟාසිටුවීමට කොපමණ රාජ්‍ය ආයතන තිබුණත් අපේ ගමේ කඩා වැටීම ගැන හොයන්න එක නිලධාරියෙක්වත් නෑ. මහමෙව්නා අසපුවෙන් මේ පහන් කූඩු ඕඩරය භාර නොදෙන්න අපට ජීවත් වෙන්නවත් ආදායමක් නැතිව හිටියේ…” දිලංකගෙන් සමුගත් අපි සපත්තු නිෂ්පාදනය කරන ගෙදරකට ගියෙමු. තරුණයෙක් මැෂිමක හම් මසමින් සිටියේ ය. තව තරුණයෙක් ගම් වර්ගයකින් සපත්තු අඩි අලවමින් සිටියේය. පුංචි කාමරය නිෂ්පාදන අඩුම කුඩුමවලින් පිරී තිබිණි.

‘සපත්තු කුට්ටමක් ගන්න ද? කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ලෙදර් සපත්තු කුට්ටම් කිහිපයක් තියෙනවා. තෝරලා ගන්න. වෙළෙඳපොළට දාන මිලට දෙන්න පුළුවන්…’ එක තරුණයෙක් සපත්තු කුට්ටම් කිහිපයක් අපට පෙන්නුවේය.

‘අපි ආවේ සපත්තු මිලදී ගන්න නෙමෙයි. කලාපුරේ ඔයාලගේ ජීවන ගැටලු විමසා බලන්න…’ කියමින් මම ඔහුට අපගේ අනන්‍යතාවය තහවුරු කළෙමි.

කුණ්ඩසාලේ කලාපුරය වෙලාවට කලාවට ඈවර වෙයි

“කොච්චර දෙයක් ද සර්… අපි අනාථයි. ඉස්සර අපි ළඟ හයදෙනෙක් වැඩ කළා. දැන් වැඩ කරන්නෙ මමයි, මල්ලියි විතරයි. දැන් සපත්තු නිෂ්පාදනය කරන්න බෑ. හම් පදම් කරන කෙමිකල් එනවා අඩුයි. ඉඳහිට එන කෙමිකල් මිල අධිකයි. සපත්තු අඩිත් ආනයනය කෙරෙනවා අඩුයි. අපේ රටේ ඕනතරම් හරක් හම් තිබුණට පදම් කරන කෙමිකල් පිටරට. අපිම තමයි හම් පදම් කරන්නෙ. හම් තිබුණට වැඩක් නෑ. සපත්තු නිෂ්පාදනයට අවශ්‍ය ඉතිරි සියලුම අමුද්‍රව්‍ය පිටරටින්. ඩොලර් අර්බුදයත් එක්ක ආනයනික අමුද්‍රව්‍ය මිල හිතාගන්න බැරි විදිහට වැඩි වුණා. රුපියල් 8000ට තිබුණු සපත්තු අලවන ගම් එක දැන් රුපියල් 66000ක් දක්වා මිල ඉහළ ගියා. ඉතින් මේ කර්මාන්තය කරගෙන යන්න අමාරුයි. සපත්තු නිෂ්පාදනය කරලා මිල කරන්න බෑ. ඩොලරය අඩු වුණා කියලා අමුද්‍රව්‍ය මිල අඩු වෙන්නෙ නෑ…” සපත්තු කර්මාන්තය ගැන එසේ කරුණු පැහැදිලි කළේ මේනක දේශප්‍රියයි.

කුණ්ඩසාලේ කලාපුරයෙන් ඇසෙන මැසිවිලි එමටය. සවන්පත් පිරෙන තරමට දුක් ආඳෝනා ඇසිණි. කැටයම් නිර්මාණය කරන ලී ප්‍රවාහනයට පර්මිට් අවශ්‍ය බවත්, පර්මිට් නොමැතිව ලී කොටන් සමග නීතියේ රැහැනට කොටු වූ විට දරාගැනීමට නොහැකි ලෙස දඩ මුදල් අය කරන බවත් ලී කැටයම්කරුවෝ අපට කීහ. විශ්‍රාම වැටුපක් නොමැති වීම සම්බන්ධයෙන් කලාපුරයේ ශිල්පීහු දැඩි කලකිරීමෙන් කතා කළහ. කොරෝනා වසංගතය පැතිරෙමින් රට වසා දැමූ අවස්ථාවේ දී ජීවත්වීමට පිච්චිය නැතිව මුළු ගම්මානය ම අසරණ වූ බව ඔවූහු පැවසූහ. රුපියල් 5000ක සහනාධාරය ඉල්ලගෙන රාජ්‍ය නිලධාරීන්ට පින්සෙණ්ඩු වීමට සිදු වූ බව ද ඔවුහු කීහ. කුණ්ඩසාලේ පදිංචිකරුවෙක් වන තරුණ සමාජ සේවකයෙක් ද කලාපුරේ අසරණ ශිල්පීන් වෙනුවෙන් අදහස් ඉදිරිපත් කළේය. හේ රුවන් රණවන ය. මේ ඔහු කියන කතාව ය.

“හස්ත කර්මාන්තය පරිපාලනය කිරීමට පත් කෙරෙන නිලධාරීන්ගේ හොරකම් සහ ක්‍ෂේත්‍රය පිළිබඳ දැනුමක් නොමැතිකම නිසා මේ කර්මාන්තය වේගයෙන් පරිහානියට පත් වෙමින් තියෙනවා. නිලධාරීන් පිරිසක් නිසා කර්මාන්තකරුවන් විසිදහසකට විතර දැඩි ආසාධරණයක් සිද්ධ වෙමින් තියෙනවා. ඒ වගේම මේ කර්මාන්තයේ සංවර්ධනයට අනුමත වන ප්‍රතිපාදන බාහිරව කටට වැටෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මේවා ගැන සොයා බලන්න රට, ජාතියට ආදරය කරන නායකයන් පත් වෙන්න ඕනෑ. එහෙම නැතිව විජාතික බලවේගවල රූකඩවලට මේ රටේ අත්කම් කර්මාන්ත වැඩක් නෑ. ඒ වාගේම මහනුවර කලා ගම්මාන ගැන, පාරම්පරික කලා සම්ප්‍රදායන් ආරක්‍ෂා කර ගැනීමට ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ මැදිහත්වීම බින්දුවයි. කලාපුරය මේ රටට ඩොලර් උල්පතක්. සංචාරක පුරවරයක් විදිහට මේ ගම දියුණු කරන්න පුළුවන්. ඒකට නිවැරැදි දැක්මක් තියෙන්න ඕනෑ. ඒ වගේම සෑම අත්කම් ශිල්පියෙක්ට ම ව්‍යාපාරික දැනුම නෑ. ඔවුන්ට ඇවැසි ව්‍යාපාරික දැනුම, ලෝකයේ නව නිෂ්පාදන ගැන හඳුන්වාදීමේ වැඩමුළු නිරන්තරයෙන් පවත්වන්න ඕනෑ. ඒවා රජයේ වගකීම්. ජනතාව නියෝජිතයන් පත් කරලා පාර්ලිමේන්තු යවන්නේ ඒ වගකීම ඉෂ්ට කරන්න…” රුවන් රණවනගේ කතාව කෙටිය. එහෙත් අන්තර්ගතය ප්‍රබලය.

පිත්තල වාත්තු, පිත්තල කැටයම්, රන් රිදී භාණ්ඩ, බතික් රෙදි, පැච්වර්ක්, විසිතුරු භාණ්ඩ, සැරසිලි, දැව මූර්ති හා දැව කැටයම් ආදී විවිධ කර්මාන්ත 12ක නියුතු ශිල්පීන් ජීවත්වන කලාපුරයේ වැසියන්ට තම කර්මාන්ත තිත්ත වී ඇත්තේ, වෘත්තියෙන් ලැබෙන ආදායම දරු පවුල පෝෂණය කිරීමටත් ප්‍රමාණවත් නොවන නිසා ය. එම ගමේ ශිල්පීන්ට පමණක් නොව, මෙරට හස්ත කර්මාන්තයේ යෙදී සිටින 20,000කට වැඩි සංඛ්‍යාවකට මේ ගැටලුව පොදු ය. එහෙත් එම ගැටලු විසඳීමට අදාළ රාජ්‍ය ආයතනවල සේවය කරන පිරිස විසිදහසකට වැඩිය. හස්ත කර්මාන්තය නැංවීමට යැයි මුසාවාද දොඩන නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ බරසාර කතා ද එමට ය. හස්ත කර්මාන්තය නැංවීමට රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් ද අනුමත වන බව වාර්තා වේ. එම ප්‍රතිපාදනවලින් අදාළ ආයතන නඩත්තු කිරීම, නිල නිවාස ඉදිකිරීම, සුහද හමු පැවැත්වීම, බලධාරීන් සහ නිලධාරීන් ගමන් බිමන් යෑම ආදී කටයුතුවලට වියදම් වූ පසු අත්කම් ශිල්පීන්ගේ සංවර්ධනයට වැය කිරීමට මුදල් ඉතිරි නොවේ. ගැටලුව අනවශ්‍ය නාස්තියයි. ඉහළ බලධාරීන් ප්‍රථමයෙන් විසඳුම් සෙවිය යුත්තේ නාස්තිය අවම කිරීමට ය. මුදල් නාස්තිය පාලනය වූ විට කර්මාන්තය සීරුවට දියුණු වේ.

එමෙන්ම යම් කර්මාන්තයක් පරිපාලනයට පත් කරන නිලධාරීන් වසරින්, දෙකෙන් මාරු කිරීම නතර කළ යුතුය. ජරාජීර්ණ වී ඇති කර්මාන්තයක් වසරකින්, දෙකකින් සංවර්ධනය කිරීමට අසීරුය. බලධාරීන් සහ නිලධාරීන් තට්ටු මාරු වනවිට සංවර්ධන ව්‍යාපෘති අලුත් වෙනවා විනා සාර්ථකව ක්‍රියාත්මක නොවේ. දැනට මෙය ප්‍රමාණවත් ය. නැවත අත්කම් කර්මාන්තය ගැන පසුවිපරමක් කරන බලාපොරොත්තුවෙන් කුණ්ඩසාලේ කලාපුරයෙන් අපි සමුගත්තෙමු.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment