ඉස්සර හිරයක් ගන්න (කසාද බඳින්න) මනාලියගේ නිවෙසට එන මනාලයාට නැන්දම්මා මුලින්ම දෙන්නේ අන්නාසි ගෙඩියකුයි කොළ පොතකුයි පිහියකුයි ලු. මනාලයා අන්නාසි ගෙඩිය කපන ආකාරය අනුව ඔහු ලෝභයෙක් ද නාස්තිකාරයෙක් ද නිසි කළමනාකරණය කරන්නෙක් ද කියා ඉන් තීරණය කළ හැකි ලු. අන්නාසි ගෙඩියේ ලෙල්ල වැඩිපුර ඉවත් කළොත් නාස්තිකාරයෙක්. අඩුවෙන් ඉවත් කළොත් ලෝහයෙක්. නිසි ලෙස ලෙල්ල ඉවත් කර කොළපොතට දමා ගෙඩියේ මුඩ්ඩ පැළකර තිබුණොත් නිසි කළමනාකරුවෙක් ලු. එම පැරණි චාරිත්‍ර නිසා අතීතයේ පවුල් ජීවිතවල ආර්ථිකයත් යුගදිවියත් සාර්ථක වුණා.

වර්තමානයේ අප බොහෝ දෙනාගේ පවුල් ජීවිතවල ආර්ථික ප්‍රශ්න ඇති වන්නේ මෙම නිසි කළමනාකරණය නැති නිසාය. සැමියා මුදල් උපයන විට බිරිඳ එය කළමනාකරණය නොකර වියදම් කරන විට ආර්ථික ගැටලු මතුවේ. එසේම සැමියා ද නිසි ලෙස නිවසේ ආදායම වියදම කළමනාකරණය නොකළ විට ආර්ථික ගැටලු මතුවේ.

අප මෙසේ කියන්නේ පවතින ආර්ථික අර්බුද හමුවේ මුදල් උපයාගත හැකි බොහෝ දෑ කැළිකසළ ලෙස හෝ අපද්‍රව්‍ය ලෙස බැහැර කර දමන නිසාය. මෙසේ ඉවත දමන දෙයට වටිනාකමක් ලබාදී ඉන් මුදල් උපයාගත හැකි ආකාරය ගැන කාන්තාවන්ට මෙන්ම පිරිමින්ට ද කියාදෙන, වරුණි උල්විසිහේවා මහත්මිය අහඹු ලෙස හමුවිය.

ඇය චිත්‍ර ශිල්පය, පින්තාරු කලාව පිළිබඳව ඉගැන්වීම සම්බන්ධයෙන් ඇමරිකාවේ Plat සමාගමේ සහතික පත්‍ර ධාරිනියෙකි. මේ වනවිට ඇය ශ්‍රී ලංකාවේ රූපවාහිනි නාළිකා ඔස්සේ ද ඉවතලන අපද්‍රව්‍ය ලෙස සලකන භාණ්ඩ උපයෝගී කරගෙන නිර්මාණකරණය සම්බන්ධව දැනුවත් කරන්නියක ලෙස කටයුතු කරයි.

ඉවතලන වීදුරු බෝතල, කේක් බෝඩ්, මැටි බඳුන් ආදී විවිධ භාණ්ඩ උපයෝගී කරගෙන විසිතුරු නිර්මාණ කරනු ලබන අයුරු ගැන වරුණි පැවැසුවේ මෙසේය.

මේ සඳහා උපයෝගී කර ගන්නා නිර්මාණ කලාවන් කිහිපයක් තියෙනවා. මැන්ඩෙලා ආර්ට් (Mandela Art), 3D ආර්ට්, Textured Art ලෙසින් පිංතාරු ක්‍රම කිහිපයක් තිබෙනවා. ඒ සඳහා ගම්, වර්ණ තීන්ත, ෆැබ්රික් තීන්ත, පින්සල් යොදාගෙන ඉවතලන වීදුරු බෝතල්, ප්ලාස්ටික් බෝතල්, පිඟන් ගඩොල්, කේක්බෝඩ්, කැන්වස්, කෝප්ප මත නිර්මාණ කළ හැකියි.

මෙවැනි විසිතුරු භාණ්ඩවලට හොඳ වෙළෙඳ පොළක් තියෙනවා. විශේෂයෙන් සංචාරක කර්මාන්තය තුළ ඒ සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා. එසේම අන්තර්ජාලය ඔස්සේ (Online) වෙළෙඳාම් කිරීමට ද යොදාගත හැකියි.

මෙවැනි නිර්මාණ සඳහා විශේෂ තීන්ත වර්ග සහ ගම් වර්ග භාවිතා කරනවා. ඒ ගැන අවශ්‍ය කෙනෙක්ට නොමිලේ කියා දෙන්නත් මම පියවර ගන්නවා. මට අවශ්‍ය කසළ ලෙස බැහැර කරන ද්‍රව්‍යවලට වටිනාකමක් ලබාදී ඉන් මුදල් උපයා ගත හැකි අවස්ථා හඳුන්වා දීමයි.

කුණු ගොඩට විසි කරන දේවල්වලට මෙන්න වටිනාකමක්

වරුණි එසේ පවසන විට ඇයගේ සැමියා වන රිෂී සෙනෙවිරත්න ද ඊට ඌන පූරණයක් තැබීය. මන්දයත් ඔහු සංචාරක කර්මාන්තයේ නිරතව සිටින බැවිනි.

විදේශීය සංචාරකයන් අතර මෙවැනි විසිතුරු නිර්මාණවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඔවුන් මෙවැනි නිර්මාණ සිහිවටන ලෙස තබා ගැනීම සඳහා මිලදී ගන්නවා. අපට ගැටලුව වී ඇත්තේ මෙවැනි නිර්මාණ බහුල නොවීම යැයි ඔහු සඳහන් කළේය.

වරාගොඩ ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති වරුණි මේ වනවිට දෙදරු මවකි.

මම කැමැතියි මේ ගැන ඉගෙන ගන්න උනන්දු වන කාන්තාවන්ට නොමිලේ වැඩමුළු පවත්වන්න. දැනට මම කොළඹ මහජන පුස්තකාලයේ එවැනි වැඩමුළු පවත්වනවා. සති අන්තයේ මා පදිංචි කඩවත නිවසේත් පංති පවත්වනවා. අන්තර්ජාලය ඔස්සේත් දැනුම ලබා දෙනවා යැයි වරුණි පැවැසුවාය. ඉතිං මේ ගැන උනන්දු වන කෙනකුට දුරකථන අංක 0719608145 ඔස්සේ වරුණි හා සම්බන්ධ විය හැකි බව අප සතුටින් දැනුම් දීමට කැමැතියි.

උපාලි ද සේරම්
පින්තූර – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment