අලි සහකාරියන් ඕනෑකර තිබේ

167

අලියා සලකුණට පමණක් සීමා වෙයිද

වනජීවියට බරක් නැති සිංහරාජයේ සැහැල්ලු අලි

සිංහරාජය අලින්ගේ රැඳවුම් මධ්‍යස්ථානයක්ද

සත්ව විශේෂයන්ට, ඔවුන්ගේ අවශ්‍යතාවන් හා වුවමනාවන්ට ගරුකරමින් සැළකීමත්, හැඟීම් දැනීම් නොමැති වස්තූන් ලෙස සැලකීමෙන් වැළකී සිටීමත් සත්ව අයිතීන් ලෙස සරලව නිර්වචනය කරයි. නමුත් මානව අයිතීන් පිළිබඳව ද එතරම් තැකීමක් නොකරන ශ්‍රී ලංකාවේ, සත්ව අයිතීන් පිළිබඳ කතා කිරීම ද විසුලු සහගතය. ලෝක උරුම වන භූමියක් තුළ ජීවත් වුවද මූලික අයිතිවාසිකම් අහිමිව දිවි ගෙවන හස්තීන් දෙදෙනකු පිළිබඳ අප මෙසේ සටහන් කොට තබන්නේ අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.

සිංහරාජයේ අලි පරපුර

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ වන අලි වාර්තා වන්නේ සිංහරාජයේත් සිරිපා අඩවියේත් පමණකි.

අතීතයේදී මොවුන් විශාල එක් අලි රංචුවක් ලෙස උඩවලව හරහා පනාමුරේ ප්‍රදේශයේත්, ශ්‍රී පාද අඩවියේත්, බුලත්සිංහල ප්‍රදේශයේත් සැරිසරා ඇත. පසු කාලීනව ගම් බිම් වල සංවර්ධනයත් වනාන්තර දූපත්කරණය වීමත් සමගම මේ විශාල අලි රංචුව කොටස් කිහිපයකට වෙන් වී ගොස් තිබේ.

සිංහරාජය අවට ජීවත් වූ වැඩිහිටියන්ගෙන් අසා දැනුවත් වූ සහ ලේඛනගතව ඇති තොරතුරු මත සිංහරාජ අලින්ගේ පුරාවෘත්තය පිළිබඳව අදහස් දැක්වූයේ සිංහරාජ සංරක්ෂණ මධ්‍යස්ථානයේ ස්වෙච්ඡා මාර්ගෝපදේශක කේ. ඩබ්. චතුර ජයනාත් ය. “1920 වන විට සිංහරාජයේ වන අලි විශාල ප්‍රමාණයක් ජීවත් වෙලා තියෙනවා. එය හතළිහත් පනහත් අතර සංඛ්‍යාවක් බවට අනුමාන කළ හැකියි. කලවාන සමන්පුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අලි ගාලකට එකම දිනයේ අලි විසි දෙනෙක් අල්ලා ගෙනවිත් තිබෙනවා. කලවාන ජාතික පාසලේ සහ වැද්දගල දකුණු මහා විද්‍යාලයේ ලොග් සටහන් වල දක්වා තිබෙනවා මේ හේතුව නිසා එදින පාසල් ළමුන් පාසල් පැමිණියේ නැති බවත් පාසල නොපැවැත් වූ බවත්. එය තමයි සිංහරාජයේ අලි අල්ලාගෙන ගිය බවට සඳහන් වන මුල්ම ලිඛිත සාක්ෂිය. වන අලින් අල්ලා එක් අලියෙක් රුපියල් තිස් දහසක් වැනි මුදලකට රත්නපුරේ ව්‍යාපාරිකයෙක්ට වෙන්දේසි කළ බවත් සඳහන් වෙනවා.

ඉන්පසුව හැත්තෑව දශකයේ සිරිමාවෝ පාලන සමයේ කැනඩා රජය සමග එක්ව සිංහරාජය ගස් තුනී ලෑලි සඳහා කපන්න පටන් ගන්නවා. ඒ කාලයේත් එක් හීලෑ අලියෙක් මාර්ගයෙන් වන අලීන් අල්ලාගෙන ගස් පටවන්න යොදා ගත් බවට ප්‍රදේශයේ වැඩිහිටි පරම්පරාව පවසනවා. මේ සිදුවීම් දාමයේ අවසාන ප්‍රතිඵලය වෙන්නෙ මොවුන් සිංහරාජයේ නැගෙනහිර ප්‍රදේශයට පමණක් සීමා වීමෙන්.

ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් එක්ක හේන් ගොවිතැන අතහැර තේ වගාවට යොමු වීම තුළින් මොවුන්ගේ වාස භූමි සීමා වෙනවා. ඉන් පසුව දඩයක්කරුවන්ගේ සහ වන අපරාධ වල යෙදෙන්නන්ගේ ගොදුරු බවට පත් වෙලා අනූව දශකය වන විට අලි තුන් දෙනෙක් දක්වා අඩු වෙනවා. ඒ අම්මා සහ පුතුන් දෙදෙනා ලෙස හඳුනාගෙන තිබෙනවා. නමුත් අනූව දශකයේ මැද බාගයෙන් පසුව ඒ කෙණෙර ඇසින් දුටුවෙක් හමු වන්නේ නැහැ. දැනට ඉතිරි වී සිටින්නේ පිරිමි අලි දෙන්නෙක් විතරයි.” ඔහු පවසන පරිදි මෙම අලි දෙදෙනාගේ අවසානයත් සමග සිංහරාජයේ වන අලින්ගේ අවසානයත් සනිටුහන් වනු ඇත.

වර්තමානයේ වෙසෙන අලි දෙදෙනා තමන්ගේ ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා වාර්ෂිකව සිදු කරන්නා වූ සංචරණ රටාව වසරේ මුල් කාර්තුවේ අවසාන මාස දෙකත් දෙවන කාර්තුවේ මුල් මාසයත් එනම් මාර්තු අප්‍රේල්, මැයි මාස සිංහරාජයේ උතුරු මායිම ආශ්‍රිත කෝපිකෑල්ල, රජවත්ත, මානික්කවත්ත ප්‍රදේශවල ගත කර ජූනි මාසයේ දී වනාන්තරය තුළට ගමන් කරයි. එය ඔවුන්ගේ පාරම්පරික සංක්‍රමණ රටාව බව ගම් වැසියෝ පවසති. නිරිත දිග මෝසම සක්‍රීය වන විට මොවුන් මෙම ප්‍රදේශයට පැමිණෙන බව වනජීවී දෙපාර්තමේන්තුවේ දත්ත ද සනාථ කරයි.

සංරක්ෂණය ගැන නොදන්නා වනජීවිය.

භූමියේ ජීවමානව සිටින අවසන් සතුන් දෙදෙනාගේ සංරක්ෂණය වෙනුවෙන් වගවිය යුතු ආයතනයක් ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යභාර්ය ප්‍රශස්ත මට්ටමක නොපවතින බව කිව යුතුය. ඔවුන් දෙදෙනාගේ මූලික අවශ්‍යතා සපුරාලීමටවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එතරම් උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැත. අවස්ථා ගණනාවකදීම මොවුන්ගේ සංරක්ෂණ කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ බොහෝ පාර්ශ්ව විසඳුම් ඉදිරිපත් කළහ. නමුත් අවාසනාවකට වන ජීවි දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වූයේ ප්‍රායෝගික නොවන යෝජනා ක්‍රියාත්මක කිරීම කෙරෙහි පමණි. අවස්ථා ගණනාවකදී ම එවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමට යෑමෙන් නාස්ති වූ මහජන මුදල් ප්‍රමාණයද අති මහත්ය.

මේ පිළිබඳව විමසූ කළ ප්‍රදේශය භාරව කටයුතු කිරීමට පැමිණෙන සියලුම වනජීවී නිලධාරීන් පවසන්නේ වන අලි සංරක්ෂණය අමාත්‍යාංශ මට්ටමින් මැදිහත් වී ඉටුකළ යුතු කාර්යයක් බවයි. දැනට වනජීවී කාර්යාලයට පැවරී ඇති ප්‍රධාන කාර්ය වී ඇත්තේ වසරේ මාස දෙක තුනකට පමණක් මිනිස් වාසස්ථාන අසලට පැමිණෙන අලි දෙදෙනා පලවා හැරීම පමණකි. පෙනී යන ආකාරයෙන් අලි දෙදෙනාගේ අවසානය සිංහරාජ වනජීවී සංරක්ෂණ කාර්යාලයේ ද අවසානය ද වනු ඇත.

අලි කරදරයක් වූ අලි

අලි සහකාරියන් ඕනෑකර තිබේ

රුහුණ විශ්වවිද්‍යාලයීය භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ පාරිසරික භූගෝල විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය මංජුල සමරකෝන් විසින් අවස්ථා කිහිපයකදී ම අලි සංරක්ෂණ යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති නමුත් ඒවා කෙරෙහි බලධාරීන් නිසි අවධානයක් යොමු නොකිරීම ජාතියේ අවාසනාවකි. අලි සංරක්ෂණය කිරීම වෙනුවට අලි වරණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති බව පමණක් ඔහු දැක්වූ අදහසින් හෙළිදරව් විය. වාර්ෂික වර්ෂාපතනය 3000 පප -5000පප තරම් වසර පුරා වර්ෂාව ලැබෙන සිංහරාජයට අනුවර්තනය වී ඇති මෙම අලින් දෙදෙනා වියළි කලාපීය අලින්ට වඩා බොහෝ වෙනස් චර්යාවන් පෙන්නුම් කරන්නෝ ය. තෙත් කලාපයේ අලි ප්‍රවේණිකව ද වියළි කලාපීය වනාන්තර වල අලින්ට වඩා වෙනස් ලක්ෂණ පෙන්නුම් කරති. ඔවුන් මේ වන විට තෙත් කලාපීය වනාන්තරයක දේශගුණික ලක්ෂණවලට අනුවර්තනය වී ඇත. මෙම පරිසර පද්ධතියේ වැදගත් කාර්යභාරයක් මොවුන් විසින් සිදු කරයි. මේ පිළිබඳව සාකච්ඡාවට ගැනුණු බොහොමයක් අවස්ථාවල දී අදහස් දක්වා ඇති බහුතරයක් පවසා ඇත්තේ සිංහරාජයට අලි අනවශ්‍ය බවකි. එසේ අදහස් දක්වන පිරිස් වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ ඔවුන්ව ස්වාභාවිකව වරණය වීමට ඉඩ හළ යුතු බවටත් ය. නමුත් මංජුල සමරකෝන් මහතා පවසන්නේ එම ප්‍රකාශය මානුෂීය නොවන බවයි. “අපට එසේ පැවසීමට කිසිදු අයිතියක් නෑ. ස්වාභාවික වරණය ගැන කතා කරන්න පුළුවන් සිංහරාජයේ අලි සියලුම දෙනා මිය ගියේ ස්වාභාවික හේතු නිසා නම්. සිංහරාජයේ අලි ගහණය මේ තරම් අඩු වෙන්න ප්‍රධානම හේතුව වුණේ මානව ක්‍රියාකාරකම්.”

මේ වනවිට සිංහරාජය වටා පැවති වන බිම් තේ වගාව හා ජනාවාස සඳහා එළි පෙහෙලි වීම, අලින්ගේ පාරම්පරික ගමන් මාර්ග වගා සඳහා යොදා ගැනීම මෙන්ම අලින් නිතර ගැවසෙන වනාන්තර ප්‍රදේශ වල සිදුවන පතල් කැණීම, මත්පැන් පෙරීම, දැව කැපීම, සතුන් දඩයම් කිරීම වැනි අනවසර ක්‍රියාවන් අලින්ගේ පැවැත්මට බාධාවක් වී තිබෙනවා සේම, වනයේ අලි සිටීම ජාවාරම් කරුවන්ට ද බාධාවක් වී ඇත. අලි සංරක්ෂණය කර අරින වනජීවිය අනියම් ආකාරයෙන් ජාවාරම් කරුවන්ට විශාල සහයෝගයක් ලබා දෙන බවට ප්‍රදේශවාසීන් ද චෝදනා කරයි.

ලෝකයේ වෙනත් රට වල සංරක්ෂණය සිදු වන ආකාරය පිළිබඳව විමසා බැලූ කළ විවිධ අත්දැකීම්, අත්හදා බැලීම් සිදු කෙරෙන ක්ෂේත්‍රයක් බව පැහැදිලි වේ. සංරක්ෂණ කටයුතු සිදු කළ හැකි ආකාර පිළිබඳව ලෝකයේ විවිධ පර්යේෂණ ද සිදු කර තිබේ. ලෝකයේ ඇතැම් රටවල් ඒ රට වලින් සදහටම වඳවී ගිය මැමත් වැනි සතුන් ජාන තාක්ෂණය වැනි ක්‍රම මගින් යළිත් බිහි කර ගැනීමට උත්සාහ කරද්දී දැනට ජීවත්ව සිටින මෙම තෙත් කලාපීය අලි දෙදෙනා සංරක්ෂණය කර නොගන්නේ මන්දැයි යන සාධාරණ ප්‍රශ්නය මතු වෙයි.

අලි හිතකාමී යෝජනා

වන අලි සංරක්ෂණය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඉතාම සාධනීය යෝජනාව වන්නේ අලින්ගේ වාසස්ථාන යා කරමින් නිර්මාණය කිරීමට යෝජනා වූ අලි මංපෙත් ය. ඛණ්ඩනය වූ පරිසර පද්ධති යා කෙරෙමින් ආහාර සහ ලිංගික අවශ්‍යතා සපුරා දීම එයින් සිදු වේ. මේ වෙනුවෙන් අවැසි භූමි අවශ්‍යතාව ආයතනික මට්ටමින් තවමත් සපුරා ගෙන නොමැති අතර තවමත් යෝජනාවක් ලෙසම එය පවතී. රජයේම අමාත්‍යාංශ කිහිපයක් යටතේ පවතින මෙම භූමි ප්‍රදේශ එම කාර්ය සඳහා නිදහස් කිරීමක් හෝ නිදහස්
කරගැනීමක් තවමත් සිදුව නැත.

මේ සඳහා කථිකාචාර්ය මංජුල සමරකෝන් කාරණා දෙකක් යෝජනා කරයි. ඉන් පළමු යෝජනාව වන්නේ සිංහරාජයේ වෙසෙන්නේ පිරිමි අලි දෙදෙනක් පමණක් නිසා වරින් වර උඩවලව ඇත් අතුරු සෙවණෙන් කණ්ඩායම් වශයෙන් වනාන්තර ගත කරන අලි කණ්ඩායමක් රේඩියෝ කරපටි පළන්ඳා එක් ප්‍රදේශයකට සීමා කර නිදහස් කිරීමයි. ඔවුන් එකවරම කැලෑවට මුදා නොහැර යම්කිසි කාලයක් ඔවුන් මේ පරිසරයට හුරු වෙනවාද, ගහනය පවත්වාගෙන යනවා ද යන්න වැඩිදුරටත් නිරීක්ෂණය කළ යුතු බවත් පවසන ඔහු ඒ වෙනුවෙන් පර්යේෂණ පත්‍රිකාවක් පවා අදාළ අංශ වෙත ඉදිරිපත් කර ඇත. නමුත් එය නොකෙරෙන තැනට අලි දෙන්නෙක් ඉඳලා මිනිස්සු මෙච්චර මැරෙනවා නම් තව අලි ගෙනත් දැම්මොත් කොච්චර මිනිස්සු මැරෙයි ද වැනි තර්ක ඉදිරිපත් කර තිබුණ බවට ඔහු පවසයි. සිංහරාජයේ අලි මෙතරම් ප්‍රචණ්ඩකාරී වී ඇත්තේ ප්‍රජනන අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට නොහැකි වීම නිසා බව පෙන්වා දෙයි. ලිංගිකව පරිණත වූ මෙම පිරිමි අලි දෙදෙනාට ඔවුන්ගේ මව හැරුණු කොට ජීවිත කාලයටම වෙනත් කිසිම කෙණෙරකගේ ඇසුරක් ලැබී නැත. දශක දෙකකට ආසන්න කාලයක් කිසිම ගැහැනු සත්වයෙක් දැක හෝ නැති මෙම සතුන් දෙදෙනාගේ මේ කාරණාව දෙස මිනිසුන් ලෙස මීට වඩා සංවේදී විය යුතු බවත් මංජුල සමරකෝන් මහතා පවසන්නේ ය.

අලි සහකාරියන් ඕනෑකර තිබේ

ඔහු ඉදිරිපත් කරන ලද අනිත් යෝජනාව වන්නේ පිටතින් අලි සිංහරාජයට ගෙන ඒමට නොහැකි නම් රක්වාන කඳු වැටියේ සිට පනාමුරේ හරහා උඩවලව තෙක් අලි ගමන් කළ පාරම්පරික සංක්‍රමණ මාර්ගය නිදහස් කිරීමට කටයුතු කිරීමයි. එවිට උඩවලව ජාතික උද්‍යානයේ සිටින අලි රක්වාන කඳු වැටි දක්වාත් සිංහරාජයේ අලින්ට උඩවලව දක්වාත් නිදහසේ ගමන් කිරීමට හැකියාව ලැබේ. වැඩිදුරටත් ඒ පිළිබඳ පැහැදිලි කළ කථිකාචාර්ය මංජුල සමරකෝන් පවසන්නේ පනාමුරේ ඇත් ගාල පවත්වාගෙන ගොස් ඇත්තේ ද එම සංක්‍රමණ මාර්ගයේ බවත් එම අලි කොරිඩෝව නිදහස් කළේ නම් නියං කාල වල දී උඩවලවේ අලි නිරායාසයෙන්ම ආහාර හා ජලය හොයාගෙන රක්වාන කඳු වැටියට පැමිණීමට ඉඩ ඇති බවත්ය. මිනිස්සුන්ගේ පහසුවට මේ වන විට අලි කුඩා බිම් වලට කොටු කර ඇති නමුත් වෙන් වෙන් වශයෙන් පවතින භූමි ජාල ගත කර අලින්ගේ සංක්‍රමණ මාර්ග ටික නිදහස් කරන්නේ නම් අලි මිනිස් ගැටුම බොහෝ දුරට අඩු විය හැකි බවත් පැහැදිලි කළේ ය.

“කිහිප වතාවක්ම මේ අලි දෙන්නා ඉවත් කරන්න උත්සාහ කළත්, ඔවුන් ඉවත් කිරීම නෙවෙයි කළ යුතු වන්නේ අලි ගහනය සිංහරාජය තුළම අඛණ්ඩව පවත්වාගෙන යෑමට ස්ථානීය සංරක්ෂණය පිළිබඳව අවධානය යොමු කිරීමයි. හෙක්ටයාර එකොළොස් දහස් ගණනක් තිබූ සිංහරාජය යහපාලන සමයේ හෙක්ටයාර තිස් තුන් දහස් ගණනක් දක්වා විශාල කළා. ඒක නිසා දැන් සිංහරාජයේ අලි ගහණයත් වැඩි කළ හැකි.

පාරම්පරික අලි සංක්‍රමණ මාර්ග මිනිස්සු අත්පත් කරගෙන. ඒ ඉඩම් වල පදිංචි වෙලා, වගා කටයුතු වල නියැළෙනවා. මිනිස්සු ඉවත් කරලා ඒ වගේ දෙයක් කරන්න මැදිහත් වෙන්න බයයි. නමුත් කළ යුතුව තිබෙන්නේ එයයි. ඒක දීර්ඝකාලීන ව්‍යාපෘතියක්.” බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම ප්‍රදේශයේ ජීවත් වෙන ප්‍රදේශවාසීන් පවසන්නේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ පරිසරය හෝ අලි දෙදෙනා රැකගැනීමේ වුවමනාවට වඩා මිනිසුන් තුළ ඇත්තේ ආර්ථිකව ශක්තිමත් වීමේ වුවමනාව බවයි. එම නිසා ආර්ථිකය සවිමත් වන පරිසර හිතකාමී ක්‍රමවේදයක් හඳුන්වා දීම තුළින් වඩාත් ඵලදායී ප්‍රතිඵල වෙත ළඟා විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි. සිංහරාජය වාසභූමි කරගෙන ජීවත් වන මෙම අලි දෙදෙනා සිංහරාජය නැරඹීමට එන කිසිදු සංචාරකයෙක්ගේ ඇස නොගැටෙන නිසා ඒ පිළිබඳව ද අවධානය යොමු කරන්නේ නම් මේ අලි දෙදෙනාට ආර්ථිකමය වටිනාකමක් ද එක් වන බව ඔවුන් පවසයි. සිංහරාජ අලි ඝනත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑමට නම් ස්ථානීය සංරක්ෂණයට අවධානය යොමු කළ යුතු බවත් තෙත් කලාපීය පරිසර ලක්ෂණ සහිත පින්නවල සිටින ගැහැනු සතුන් මේ සඳහා යොදා ගෙන හෝ සංරක්ෂණ කටයුතු කරන්නට හැකි බව ද ගම්මුන් පවසයි. මෙම අලි කේන්ද්‍ර කර ගනිමින් සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමෙන් ප්‍රදේශ වාසීන්ට ඒ ආශ්‍රිත රැකියා අවස්ථා අවස්ථා උදා වෙනවා පමණක් නොව පරිසරය විනාශ කරමින් වන අපරාධ වල යෙදෙන පුද්ගලයන්ම පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් යෙදවිය හැකි බවත් ඔවුන් පවසයි.

ගැටලු නැති වනජීවිය

සිංහරාජයේ වෙසෙන අවසාන අලි දෙදෙනාගේ සංරක්ෂණය වෙනුවෙන් මෙතරම් පැහැදිලි යෝජනා ඉදිරිපත් කර ඇතත් ඒවා ක්‍රියාත්මක නොවන්නේ කුමන ආකාරයේ දුෂ්කරතා නිසා ද යන්න වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසූ විට ඔවුන් පවසන්නේ ඔවුන්ට කිසිදු දුෂ්කරතාවක් හෝ බාධාවක් මේ සඳහා නොමැති බවයි. ඔවුන් අලි දෙදෙනාගේ සත්ව අයිතීන් පිළිබඳ සැලකිලිමත් වෙන බව පවසන අතරම අලි දෙදෙනා වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග ලෙස දක්වන්නේ එක් අලියෙකුගේ GPS කරපටි පැළැන්ද වීමයි. GPS කරපටියක් පැළඳවීමෙන් අලින්ගේ ලිංගික අවශ්‍යතා සපිරෙනවාද යන්න දන්නේ වනජීවිය පමණි. එසේ නම් එය අලි දෙදෙනාටම ලබා දිය යුතු නොවේ ද යන්න අනෙක් ගැටලුවයි.

සිංහරාජය හා සිංහරාජයේ අලි දෙදෙනා සම්බන්ධව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කිසිදු ගැටලුවක් නැතැයි කීව ද එය සාවද්‍ය බව කිව යුතුමය. සිංහරාජ අඩවි කාර්යාලයට අයත් භූමි ප්‍රමාණය පිළිබඳව හෝ නිසියාකාර අවබෝධයක් නැත. එය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති බව පවසන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෙක්ටයාර 36,474.93 ක වපසරියකින් යුතු පළාත් තුනක, දිස්ත්‍රික්ක හතරක පැතිරී ඇති සිංහරාජයට වනජීවී අඩවි කාර්යාලයකුත්, නිලධාරීන් හත් දෙනකුත් ප්‍රමාණවත් බව පවසයි. නිලධාරීන් ප්‍රමාණවත් කියන සිංහරාජ අඩවි කාර්යාලයට වන ජීවි අපරාධ පිළිබඳ දැනුම් දෙන බොහෝ අවස්ථාවල නිලධාරීන් හිඟය. එසේත් නැතිනම් මාසික තෙල් කෝටාව අවසන්ය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාව මුළා කරන්නේ ද සිංහරාජ අඩවි කාර්යාලය ජනතාව මුළා කරන්නේ ද යන්න නැවත සිතා බැලිය යුතුය. ලංකාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවීන් ආරක්ෂා කිරීමට වඩා මුල් තැනක් දෙන්නේ ආණ්ඩු ආරක්ෂා කිරීමට ය. නොඑසේනම් තමන්ට ඇති දහසකුත් ගැටලු සඟවන්නට කාරණාවක් නැත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආකල්ප පවතින්නේ මෙවැනි තැනක නම් අනාගතයේ දී අලි සංරක්ෂණය වනු ඇත්තේ ඔවුන්ගේ නිල ලාංඡනය තුළ පමණි.

සෝබා කෝලියවංශ

advertistmentadvertistment
advertistmentadvertistment