ඩොලර් ගෙනෙන රට විරුවන්ට වාසි – තීරු බදු සහනය 1දා සිට

621

ඇ.ඩොලර් 2400 – 4799 අතර ඇ.ඩොලර් 600 ක්

ඇ.ඩොලර් 4800 – 7199 අතර ඇ.ඩොලර් 960 ක්

ඇ.ඩොලර් 7,200 – 11,999 අතර ඇ.ඩොලර් 1,440ක සහනයක්

විදේශගත ශ්‍රමිකයන් නැවත ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපළේ දී ලබා දෙන තීරු බදු සහනය ඉහළ නැංවීම මැයි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බව ද, ඒ සඳහා වන චක්‍රලේඛය නිකුත් කර තිබෙන බව ද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (27 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව පැවසීය.

ගුවන්තොටුපළේ දී මේ වන විට ලබා දෙන තීරුබදු සහනයට අමතර විශේෂ තීරු බදු සහන විදේශගත ශ්‍රමිකයන්ට ලබා දෙන ලෙසට වන කැබිනට් පත්‍රිකාවක් කම්කරු සහ විදේශ රැකියා ඇමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර එයට කැබිනට් අනුමැතිය හිමිවිය. ඒ අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් මෙම චක්‍රෙල්ඛය නිකුත් කර තිබේ.

මෙම චක්‍රලේඛය අනුව නීත්‍යනුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවන විදේශගත ශ්‍රමිකයෝ ඉහළ නැංවූ තීරු බදු සහනය ලබා ගැනීමට සුදුසුකම් ලබති. පසුගිය වසරේ මැයි පළමු වැනිදා සිට බැංකු ක්‍රමය හරහා එවනු ලැබූ මුදල් ප්‍රමාණය මේ සඳහා සැලකිල්ලට ගනු ලබන අතර කාණ්ඩ පහක් යටතේ මෙම සහනය ලබාදෙයි.

ඇමරිකානු ඩොලර් 2400 – 4799 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයන්ට ඩොලර් 600 ක්ද, ඩොලර් 4800 – 7199 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයන්ට ඩොලර් 960 ක සහනයක්ද ලබාගැනීමට හැකිවේ. ඩොලර් 7,200 – 11,999 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයන්ට ඩොලර් 1,440ක අතිරේක තීරු බදු සහනයක් හිමිවේ. ඩොලර් 12,000 – 23,999 අතර මුදල් ප්‍රමාණයක් එවා ඇති විදේශගත ශ්‍රමිකයන්ට ඩොලර් 2,400 ක සහනයක් ලබා ගැනීමට හැකිය. ඩොලර් 24,000 ක් හෝ ඊට වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයන්ට ඩොලර් 4,800 ක අතිරේක තීරු බදු සහනයක් ලබා ගැනීමට හැකිය.

ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.

විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා ආනයනය බලපත්‍රයක් හඳුන්වා දුන්නා. ඒ වගේම විදේශගත ශ්‍රමිකයන්ට තීරු බදු සහන ලබාදීමටත් අපි කටයුතු කරනු ලැබුවා. ඒ අනුව විදේශගත ශ්‍රමිකයන්ට ගුවන්තොටුපළේදී හිමිවන තීරු බදු සහනය ඉහළ නැංවීම සඳහා වන චක්‍රෙල්ඛය ඊයේ දිනයේදී නිකුත් කරනු ලැබුවා. ඒ අනුව විදේශගත ශ්‍රමිකයන්ට ගුවන්තොටුපළේදී තීරු බදු සහනය ඉහළ නැංවීම මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වෙනවා. මහ බැංකුව හරහා ක්‍රියාත්මක වන ඇප් එකක් හරහා ඒ පහසුකම් ලබාගැනීමේ හැකියාව පවතිනවා. මෙම ඇප් එක හරහා ලියාපදිංචි වීම මගින් තමන් රටට එවන ඩොලර් ප්‍රමාණය මත පදනම්වෙලා තීරු බදු සහන ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

ඒ වගේම විදේශගත ශ්‍රමිකයන් සඳහා අඩු පොලී ණය ක්‍රමයක් හඳුන්වා දීමට පසුගිය සතියේදී කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගත්තා. ඒ අනුව විදේශගත ශ්‍රමිකයන්ට රුපියල් මිලියන දෙකක් දක්වා වන ණය පහසුකම් ලබාගත හැකියි. ඒ වගේම විදේශ රැකියාවල නිරත වෙලා ඉඳලා නැවත මේ රටට ආපු ශ්‍රමිකයන්ටත් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් මේ හරහාම ක්‍රියාත්ක කරන්න කියලා ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට තමන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කරමින් දැනුම් දුන්නා.

advertistmentadvertistment
advertistmentadvertistment