එක්ස්ප්‍රස් පර්ල් වන්දිය වළක්වන්න මන්ත්‍රීලා සහ පරිසරවේදීන් යොදාගෙන -ඇමැති විජයදාස පාර්ලිමේන්තුවේදී කියයි

440

ප්‍රතිත්‍රස්ත පනත ගැන කතා කළ නිසා මාව නැවට පටලවන්න හදනවා – නාලක ගොඩහේවා

තමුන්නාන්සේ මුහුදත් කොල්ල කෑවා – නිමල් ලංසා

නීතිපති දෙපාර්තමේන්තුව අපහසුතාවට පත් කළේ නැව් සමාගමෙන් අල්ලස් ගත් අයයි – ඇමැති විජයදාස රාජපක්‍ෂ

මෙරට මුහුදු තීරයේ මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වන්දි ගැනීමේ කටයුත්ත වැළැක්වීම සඳහා එම නැව් සමාගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පරිසරවේදීන් පාවිච්චි කර ඇතැයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (27 දා) සඳහන් කළේය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ හිටපු රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා මහතා විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් අදහස් දැක්වූ පසුවය. එහිදී මතුවූ සංවාදය මෙසේය.

නාලක ගොඩහේවා මහතා– පෙරේදා ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ සභාවේ ප්‍රකාශයක් කළා, ලංකා මුහුදේ අනතුරට පත් නිව් ඩයමන්ඩ් නෞකාව ලංකා මුහුදු සීමාවෙන් ඉවතට ගෙනියන්න මම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළා කියලා. ඒක සාවi සහ ද්වේෂ සහගත ප්‍රකාශයක්. මොකද මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ජයනාත් කොළඹගේ මහතා ලිපියක් යවමින් කියා තිබෙනවා මේ අනතුරට පත් නැව නිසා ඇති වන අහිතකර තත්ත්වය සලකා මුහුද රළු වන්නට පෙර මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කළ යුතුයි කියලා.

නමුත් විජයදාස රාජපක්ෂ මහතා මේකට මාව පටලවාගෙන තිබෙනවා, මම ඒ කාලේ වෙරළ ආරක්ෂක රාජ්‍ය ඇමැති නිසා. විජයදාස රාජපක්ෂ මහතා කියනවා ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය මහතාට කතා කළාලු. මේ ගැන ඇත්ත නැත්ත හොයන්න. ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කිව්වාලු නාලක ගොඩහේවාත් මාගෙන් ඒ ගැන ඇහැව්වා, ඒත් නීතිපති උපදෙස් අරගෙන තමයි නැව නිදහස් කරන්න ඕනා කියලා. ඒ ගැන විජයදාස රාජපක්ෂ මහතාට වෙන කිසිම සාක්ෂියක් නෑ. දුරකථන පණිවුඩයක් පමණයි තිබෙන්නේ.

ඒ නිසා මමත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කතා කළා ඊයේ උදේ. මම එතුමාගෙන් ඇහුවා විජයදාස රාජපක්ෂ මහත්තයා මෙහෙම කතාවක් කියනවා ඒක ඇත්ත ද කියලා. ඒත් එතුමා මට කියනවා ‘පිස්සුද ඔයාට මතක නැද්ද ඒ නැව යවනවාට ඔයත් පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ නේද කියලා. නීතිපති උපදෙස් අරගෙන කරන දෙයක් කරන්නයි මම එතුමා කිව්වේ කියලා. ඉන් පසුව මම ජයනාත් කොළඹගේ මහතාට කතා කළා. එතුමා කියනවා මේ ගැන ඔබගේ නම ගේන්නේ මොකද කියලා මට තේරෙන්නේ නෑ කියලා. ඔබතුමා මට කිසි වෙලාවකදී කතා කළේ නෑ මේ ගැන කියලා එතුමා කිව්වා. අන්න ඒ නිසයි මම කියන්නේ මේ විජයදාස ඇමැතිතුමාගේ අර කළ ප්‍රකාශය සාවiයි කියලා. ඒ වගේම ජයනාත් කොළඹගේ මහතා මට කිව්වා මේ නැවේ තෙල් මෙටි්‍රක් ටොන් 270000ක් තිබුණා, ඒකෙන් බැරිවෙලා හරි තෙල් කාන්දුවක් වුණා නම් තව අවුරුදු 20 කටවත් මේ රටට සංචාරකයන් ගෙන්න ගන්න බැරි වෙයි කියලා. අන්න ඒ නිසායි මේක මුහුදු සීමාවෙන් එහාට ගෙනියන්න තීරණය කළේ කියලා.

ඒක නිසා මේකට මාව පටලවගන්න එපා. මම අර ප්‍රතිත්‍රස්ත පනත ගැන කතා කළ නිසාද දන්නේ නෑ. ඒ වගේම අර එක්ස්ප්‍රස් පර්ල් නැවත් එක්ක මේක පටලවාගෙන තිබෙනවා. නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් සිද්ධි දෙකක්. නමුත් මේ දවස්වල එක්ස්ප්‍රස් පර්ල් ගැන කතා වන නිසා සමහර මාධ්‍ය මේ දෙක පටලවාගෙන තිබෙනවා. එක්ස්ප්‍රස් පර්ල් එළියට ගෙනියන්න මම අවසර දුන්නා කියලාත් කියනවා. මම ඒ සිද්ධිය වෙලා සතියක් වගේ ඇතුළත මගේ අමාත්‍යාංශය මාරු වෙනවා. ඒ නිසා මට ඒක අදාළ නෑ. එක්ස්ප්‍රස් පර්ල් ගැන තිබෙන්නේ ඒ වන්දි නඩුව ප්‍රමාද කළා කියලායි. ඒක කරන්න පුළුවන් වෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවටයි. නැත්නම් ඊට සම්බන්ධකමක් තිබෙන කෙනෙකුටයි. නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය වසර 07 පුරාවට මට විරුද්ධවයි හිටියේ. ඇතැම් විට පික් පොකට් ගහපු කෙනා අනෙක් මිනිස්සුන්ට අන්න හොරා කියලා කෑ ගහලා දුවනවා. මෙතන තිබෙන්නෙත් ඒ වගේ දෙයක්ද කියලා මට හිතෙනවා.

විජයදාස රාජපක්ෂ මහතා- අපි ඇත්ත කතා කරන්න බය නෑ. මම පටලැවිල්ලක් ඇති කළේ නෑ. නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් කියන නැව්වලින් වෙන වෙනම හානි සිද්ධ වුණා. අපි මේ ගැන මැදිහත් වුණා නඩු පැවරීම සම්බනධයෙන්. නිව් ඩයමන්ඩ් නැවට නඩු පැවරුවේ අන්තිම අවස්ථාවේදී. ඒ වාර්තා ටිකත් මට ලැබුණේ ප්‍රමාද වෙලායි. නීතිපති දෙපාර්තමේන්තුව අපහසුතාවට පත් කළේ ඒ නැව් සමාගමෙන් අල්ලස් ගත්තු අයයි. එහිදී විශාල බලපෑමක් සිද්ධ කළා. එතනදී නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිසිම වරදක් වුණේ නෑ. ඒ වගේම නිව් ඩයමන්ඩ් නැවෙන් වුණු හානිය සම්බන්ධයෙන් නඩු තුනක් පවරලා දඟලන්න වෙලා තිබෙන්නේ මේ නැවට යන්න දුන්නු නිසායි. අපි ඒ ගැන ප්‍රශ්න කළහම අපට ඒ සභාපතිතුමිය කිව්වේ මේක ජනාධිපති නියෝගයක් කියලායි. ඒ නියෝගය දී තිබෙන්නේ ඊමේල් එකකින්. ජනාධිපති එවැනි නියෝගයක් දෙනවා නම් ඒක අමාත්‍යංශය හරහා එන්නේ. ඒ අමාත්‍යාංශය භාරව හිටියේ නාලක ඇමැතිවරයායි. හිටපු ජනාධිපතිතුමාත් මේ නැවෙන් වන්දි අරගෙන යවන්න එපා කියද්දීයි යවලා තිබෙන්නේ. ඒ නිසායි අපට දැන් වන්දි ලබා ගන්න අමාරු වෙලා තිබෙන්නේ.

ඒ වගේම අපි එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වන්දි ගන්න කටයුතු කරන කොට ඒක වළක්වන්න මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුත් පාවිච්චි කරලා තිබෙනවා. සමහර පාරිසරික වේදියොත් පාවිචිචි කරලා තිබෙනවා. මම මේ ගැන විස්තරයක් කළා. ඒ නිසා මම කියන්නේ මේ ගැන හොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලායි.

නාලක ගොඩහේවා මහතා – මේ සිද්ධියට මගේ නම පටලවන්න එපා. මම ඇමැති වුණා කියලා නාවුක හමුදාව මගේ යටතේ නොවෙයි තිබුණේ. ඒ වගේම එක්ස්ප්‍රස් පර්ල් නැව සම්බන්ධයෙන් සිද්ධියටත් මම සම්බන්ධ නෑ.

නිමල් ලන්සා මහතා – (නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා වෙත අත දිගු කරමින්) රනිල් වික්‍රමසිංහ මහතාට පාස්කු ප්‍රහාරය ගැන කිසිම චෝදනාවක් නෑ. තමුන්නාන්සේ තමයි හිටපු ජනාධිපතිට උපදෙස් දීලා මුහුදත් මංකොල්කාළා, නැවත් මංකොල්ල කෑවේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment