කූඩු දැල් භාවිතයෙන් පුත්තලම කළපුවේ මත්ස්‍ය සම්පත විනාශයි

156

පුත්තලම කළපුවේ කූඩු දැල් භාවිතයෙන් මසුන් ඇල්ලීමෙන් විශාල ලෙස මත්ස්‍ය සංහාරයක් සිදුවන බව කළපු ධීවර කර්මාන්තයේ නියැලෙන්නෝ පවසති.

තහනම් දැල් එසේත් නැත්තං කූඩු දැල් භාවිතය සිදුවන්නේ අද ඊයෙක නොවේ. පාරම්පරික දැල් පන්න ක්‍රමයක් වන කූඩු දැල් භාවිතයෙන් ධීවර අමාත්‍යාංශයේ අණපනත්වලට පටහැනිව මසුන් ඇල්ලීමට කටයුතු කිරීම කළපු මත්ස්‍ය කර්මාන්තයේ නියැලෙන ධීවර ප්‍රජාවට මහත් ගැටලුවකි.

ධීවර අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව කූඩු දැලක එක් සිදුරක වට ප්‍රමාණය මිලිමීටර් 85 ට වැඩි විය යුතුය. මෙම දැල් භාවිතා කරන්නේ බොහෝ දුරට ඉස්සන් අල්ලා ගැනීමටය. වට ප්‍රමාණය මිලිමීටර් 85 ට අඩු දැල් භාවිතයෙන් මසුන් ඇල්ලීම තහනම්ය. කෙසේ නමුත් ඇතැම් ධීවරයින් මිලිමීටර් 85 ට වඩා අඩු දැල් භාවිතා කර මසුන් මැරීමට කටයුතු කරන්නේ විශාල ලෙස මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීමටය. එහෙත් මෙම ක්‍රියාවලියෙන් සිදුවන්නේ මත්ස්‍ය පැටව් විශාල ලෙස දැලට හසුවී විනාශ වී යෑමය. මේ හේතුවෙන් කළපුවේ මත්ස්‍ය සම්පත විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇති බව ධීවරයෝ පෙන්වා දෙති.

කූඩු දැල් භාවිතයෙන් පුත්තලම කළපුවේ මත්ස්‍ය සම්පත විනාශයි

“ඉස්සන්ට කකුළුවන්ට තමයි මේ දැල් එළන්නේ. මෙම දැලේ දැල් ඇස කුඩයි. මේ නිසා මාළු පැටව් මහ ගොඩක් මේ දැලට අහුවෙනවා. මේ ආකාරයට අහුවෙන මාළු පැටව් ධීවරයන් දැලෙන් බේරලා වීසි කරනවා.”

“කළපුවේ හැම තැනම මැරුණු මාළු පැටව්. මේ හින්දා කළපුව දූෂණය වෙනවා පමණක් නෙවෙයි, අපේ මත්ස්‍ය සම්පත විනාශ වෙනවා. මෙහෙම ගියොත් අපේ ධීවර රැකියාව පවත්වාගෙන යන්න ලැබෙන්නෙ නෑ.”

ඒ කළපු ධීවර ජනතාවගේ දුක් අඳෝනායි.

කූඩු දැල් භාවිතයෙන් පුත්තලම කළපුවේ මත්ස්‍ය සම්පත විනාශයි

ලංකාවේ විශාලතම කළපුවලින් එක් කළපුවක් ලෙස පුත්තලම කළපුව හැඳින්වෙනවා. පාලවිය, කරඹ, මාම්පූරිය, නොරොච්චෝලේ පනිඅඩිය ඇතුළු ගම්මාන රැසක් ආවරණය වෙමින් හෙක්ටයාර් 4500 කට වැඩි ප්‍රමාණයක් කළපුව විහිදී තිබෙනවා. බෝට්ටු තෙප්පම් ඇතුළු විවිධ ක්‍රම භාවිතයෙන් මෙම කලපුවේ දෛනිකව ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරන්ගේ සංඛ්‍යාව 1700 කට අධිකයි. මේ අතරින් කූඩු දැල් භාවිතයෙන් 450 කට අධික ධීවරයින් සංඛ්‍යාවක් කලපුවේ ධීවර කර්මාන්තයේ නිරත වෙනවා. මෙම 450 න් විශාල සංඛ්‍යාවක් මත්ස්‍ය සම්පත ගැන තඹ දොයිතුවකටවත් මායිම් නොකර තමන්ගේ බඩවියත රැකගැනීමට කටයුතු කරමින් තහනම් දැල් භාවිතයේ නිරත වෙන්නේ. මෙම තහනම් දැල් භාවිතයට ධීවර ක්ෂේත්‍රයේ නිලධාරින් වැටකඩුලු බැන්දත් ඔවුන් දහවල් කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ සිය රැකියාව පවත්වා ගැනීමට කටයුතු කරන්නේ ඉතාම සූක්ෂම අන්දමින්. මෙම පවතින තත්ත්වය මත පුත්තලම දිස්ත්‍රික් ධීවර කාර්යාලයේ නිලධාරින් නිරන්තරයෙන් වැටලීම් සිදුකිරීමට කටයුතු කරනවා යැයි ධීවරයෝ කියති.

මේ සම්බන්ධ අදහස් දක්වන ධීවර ප්‍රජාව

සුනිල් ඇන්ටන් පෙරේරා-

ඇත්තටම හරි ප්‍රශ්නයක් මේ තහනම් දැල්. ඒගොල්ලන් එලන දැල් අපේ බෝට්ටු යන මාර්ගවල යන්නත් බැහැ. දැල් පැටලෙනවා. ඒ නිසා නිරන්තරයෙන් අපි අතර ගැටුම් ඇති වෙනවා. ඒ කෙසේ වෙතත් මේ දැල්වලට මාළු පැටව් අහුවෙනවා ඉතා විශාල ප්‍රමාණයක්. මෙම ක්‍රමය සම්පූර්ණයෙන් ඉවත් කරන්න කටයුතු කරන්න ඕනෑ.

රංජිත් පෙරේරා-

ධීවර කාර්යාල නිලධාරීන් වැටලීම් කරනවා. හැබැයි ඒ ගොල්ලන් මහත්තුරු එනකොට මග හරින්න කටයුතු කරනවා.

කූඩු දැල් භාවිතයෙන් පුත්තලම කළපුවේ මත්ස්‍ය සම්පත විනාශයි

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායක අජිත් ගිහාන් –

ඇත්තටම මේ පන්න ක්‍රමය ක්‍රමානුකූලව සිදුකළ යුත්තක්. බොහෝ විට තමන් ගැන පමණක් හිතන ධීවර ජනතාව නීති විරෝධී ලෙස මෙසේ මසුන් මැරීමට කටයුතු කරනවා. මේ තත්ත්වය දිගින් දිගටම පැවතීම ගැටලුවක්. මේ තත්ත්වය ධීවර ජනතාවත් අවබෝධ කරගෙන ධීවර රැකියාවේ නිරත වෙන්න ඕනෑ කියලයි මම කියන්නේ.

පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ අයි.එම්.ජී. සරත් චන්ද්‍රනායක මහතා –

මෙම තහනම් කූඩු දැල් භාවිතා කරන ධීවරයින් අපි නිරන්තරයෙන් මෙහෙයුම් කර අත්අඩංගුවට ගැනීම සිදුකරනවා. ඒවගේම ඉදිරියේදීත් මේ සම්බන්ධව ධීවරයින්ම දැනුවත් කරමින් ඊට අවශ්‍ය පියවර ගනිමින් ඉන්නේ.

සංස්කරණය – අරුණ බෝගහවත්ත


advertistmentadvertistment