කොත්තන්තිව් ප්‍රාදේශීය රෝහලේ රෝගියකු මියයෑම: වෛද්‍යවරයාට ස්ථාන මාරුවක්

23

පුත්තලම, කොත්තන්තිව් ප්‍රාදේශීය රෝහලට රැගෙන එන ලද රෝගියකු ඇතුළත් කර නොගැනීම හේතුවෙන් එම රෝගියා වෙනත් රෝහලකට රැගෙන යමින් සිටියදී මරණයට පත්වීමේ සිද්ධියකට සම්බන්ධව අදාළ පරීක්ෂණ අවසන් වන තුරු කොත්තන්තිව් ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයා තාවකාලිකව ස්ථාන මාරු කර තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ පුත්තලම, පෙරකුවටාන ගම්මානයේ පදිංචිව සිටි මොහොමඩ් නිසාර් නැමති 60 වන වියේ පසුවූ අයෙකි.

මියගිය අය එදින හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොත්තන්තිව් ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී ස්ථාන භාර වෛද්‍ය නිලධාරිවරයා සේවයට පැමිණ නොමැති බවත් වෙනත් රෝහලකට රෝගීයා රැගෙන යෑමට කටයුතු කරන මෙන් රෝහල් කාර්ය මණ්ඩලය ඔවුනට කියා තිබේ. පසුව රෝගියා මූන්දලම රෝහලට රැගෙන යමින් සිටින අතර තුරදී ඔහු මියගොස්

ඇති අතර පසුව ඥාතීන් හා ගම්වාසීන් කොත්තන්තිව් ප්‍රාදේශීය රෝහල ඉදිරිපිටට ගොස් වෛද්‍යවරයාට විරෝධය දක්වා විරෝධතාවක් ආරම්භ කිරීමට කටයුතු කර ඇත.

අනතුරුව එම ස්ථානයට පැමිණි ජාතික ජනබලවේගය පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් පයිසාල් මහතා විරෝධතාකරුවන්ට කරුණු පැහැදිලි කර මියගිය අය වෙනුවෙන් සාධාරණයක් ලබා දීමට කටයුතු කරන බව පැවසීමෙන් පසු විරෝධතාව නවතා තිබේ.

අනතුරුව කොත්තන්තිව් රෝහලේ දී මන්ත්‍රී මොහොමඩ් පයිසාල් හා පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විරෝධතාකරුවන් සමග සාකච්ඡාවක නිරත වෙමින් සිද්ධියට සම්බන්ධ රාජකාරි පැහැර හැර ඇති බව සඳහන් වෛද්‍යවරයා තාවකාලිකව ස්ථාන මාරු කර වෙනත් වෛද්‍යවරයකු සේවයට යෙදවීමට කටයුතු කර ඇත.

වෛද්‍යවරයා ඇතැම් අවස්ථාවල රෝහලේ රාජකාරි කටයුතු නිසි ලෙස සිදු නොකරන බවත් මේ හේතුවෙන් පසුගිය කාලයේ රෝහල් කටයුතුවල ගැටලු සහගත තත්ත්වයක් ඇතිවූ බවට විරෝධතාකරුවෝ මෙහිදී කියා සිටියහ. මෙම වෛද්‍යවරයා තම රාජකාරි පැහැරහරිමින් කටයුතු කර ඇති බවට ලැබුණ තොරතුරු මත විශේෂ විමර්ශනයක් සඳහා නිලධාරීන් කණ්ඩායමක් පිටත් කර යැවූ බවත්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සිද්ධිය සම්බන්ධව දැනුවත් කළ බවද වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්. කේ. සම්පත් ඉන්දික කුමාර මහතා සිදු කළ විමසීමේදී කියා සිටියේය.

අමරනන්ද විජේසේකර – මහවැව


advertistmentadvertistment