දේපළ පැවරීමට දරුවන් නොමැති හේතුවෙන් දරුකමට හදාගත් අයෙකුට දේපළ ලියාදීමට සූදානම්වීමත් සමග ඉංජිනේරුවරයා ඝාතනය කළ බව ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාපොච්චාරණය කර ඇත.
වසර තුනකට පෙර එසේ ඝාතනය කර තිබුණේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වසර විසිපහක් පමණ වරලත් ඉංජිනේරුවෙකු ලෙස මෙන්ම ලෝක බැංකුවේ මෙරට ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරුවරයෙකු ලෙස ද කටයුතු කළ වීරබද්ධරාලලාගේ සමන් විජේසිරි නමැති 63 හැවිරිදි ඉංජිනේරුවරයා, හලාවත කාකපල්ලිය ඉදිගොඩවිල ප‍්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
රුපියල් කෝටි පනහකට අධික දේපළ ලබාගැනීම සඳහා මෙලෙස ඉංජිනේරුවරයා ඝාතනය කර ඇතැයි දැනට සිදුකර ඇති විමර්ශන වලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.
සමන් විජේසිරි මහතා එක්වරම අතුරුදන්ව ඇති බවට වාර්තා වී තිබුණේ මීට වසර 3කට පෙර එනම් 2018 දීය.
අත්අඩංගුවටගත් ප‍්‍රධාන සැකකරු වන පේරාචි ලින්කන් නමැත්තා ඉතාලියේ සිට පැමිණ ව්‍යාපාරිකයකු ලෙස මෙරට කටයුතු කරන අයෙකි.
දෙවැනි සැකකරු වන රුවන් චන්දන ද ව්‍යාපාරිකයෙකි.
නිහාල් දේවප‍්‍රිය නමැති තුන්වැනි සැකකරු මියගිය අයගේ ඥාතියෙක් ලෙස හඳුනාගෙන තිබේ.
මෙම සැකකරුවන් 2018 ඔක්තෝබර් 12වැනිදා සමන් විජේසිරි නමැති ඉංජිනේරුවරයා ව පැහැරගෙන ගොස් ඝාතනය කර හලාවත කලපුවේ සඟවා ඇති බව අනාවරණ වී තිබේ.
සමන් විජේසිරි මහතා ජපන් කාන්තාවක සමග විවාහ වී පසුව දික්කසාද වූ අයෙකි.
්