කෝටි හයක කුෂ් තොගයක් රැගෙන ගුවන් තොටුපොළ කනින් රිංගූ ව්‍යාපාරික කාන්තාවෝ තිදෙනා මත්ද්‍රව්‍ය කාර්යාංශ දැලේ

42

රුපියල් හය කෝටි විසි නව ලක්ෂ හැත්තෑ හය දහසක් වටිනා “කුෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළ සියලු‍ම පරීක්ෂණ නිමවා ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි ව්‍යාපාරික කාන්තාවන් තිදෙනෙකු 19 දින අලු‍යම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා කොළඹ, වැල්ලම්පිටිය සහ මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25, 48 සහ 50 වයස්වල පසුවන ද්‍රවිඩ සහ මුස්ලිම් ජාතික ව්‍යාපාරික කාන්තාවන් පිරිසකි. ඔවුන් කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 248 ක් බරැති මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිලදී ගෙන සිය ගමන් මලු‍ 04 ක සඟවා ගෙන ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත පැමිණ තිබේ. ඉන් පසුව ඔවුන් 19 දින අලු‍යම 12.00 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට

ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.-1183 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

අත්අඩංගුවට ගත් මෙම කාන්තාවන් පිරිස ඔවුන් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය සමග 19 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් එළඹෙන 24දා තෙක් කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ මූලස්ථානයේ රඳවා තබා ගෙන ඉදිරි විමර්ශන කටයුතු කිරීම සඳහා අවසර ලබාදී තිබේ.

කටුනායක – ටී.කේ.ජී. කපිල


advertistmentadvertistment