ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී වැඩ තහනමට ලක්වූ පොලිස් පරීක්ෂක නැවත අත්අඩංගුවට

40

ලක්ෂ 5 කට අධික කේරළ ගංජා ළඟ තිබිලා

අනුරාධපුර නගරය හා ඒ අවට මහ පරිමාණයෙන් ගංජා ජාවාරම සිදු කරන, වැඩ තහනමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයකු සහ තවත් පුද්ගලයකු රුපියල් ලක්ෂ පහකට ආසන්න කේරළ ගංජා තොගයක් සමග අනුරාධපුර නගරයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නාරවෙල හන්දිය, දඹුලුගල සහ 3 වන පියවර, අනුරාධපුර ලිපිනයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත් එක් පුද්ගලයකු ගංජා ප්‍රවාහනය කිරීම සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවත්, සැකකාර හිටපු පොලිස් පරීක්ෂකවරයා මෝටර් රථයෙන් ගංජා ප්‍රවාහනය කර ආධාර අනුබල දීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

මෙම පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනයකදී ඔහු මීට වසර හයකට පෙර මැදවච්චිය ප්‍රදේශයේදී (2019 වර්ෂයේදී) ගංජා තොගයක් ප්‍රවාහනය කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක් වූ අයෙකි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ හතර හමාරක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 2යි ග්‍රෑම් 10ක ප්‍රමාණයක් තිබී හමුවූ බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය, මෝටර් රථය සහ සැකකරුවන් දෙදෙනා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ. අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ.

මිහින්තලේ – රංග චතූ


advertistmentadvertistment