ගමේ පවුල් හතරක සාමාජිකයන්ව නිදි පැදුරේ දීම කොටි මරා දාලා…
අවට දෙමළ ගම්මානවල මිනිස්සු අපි දිහා බලන්නේ අමුතු සතෙක් දිහා බලන විදිහට…
ගම ඉදිරියේ කුඹුර පුරන් වෙලා, කරන්න දෙන්නෙ නෑ…
ගමේ ගොඩක් පවුල්වලට වැසිකිළි නෑ, පානීය ජලය නෑ…
විකුම්පුර පන්සල හදාගන්න උදවු කරන්න…
අපේ දරුවන්ට බිත්තරයක්, මාළු, මස් කෑල්ලක් කන්න දීපු කාලයක් මතක නෑ. රසට කන්න අපිට සල්ලි නෑ. ඉඳහිට වේලක් රසට කෑවොත් සතියක් බඩගින්නෙ ඉන්න වෙනවා. හරියට අඳින්න නෑ. බොන්න පිරිසිදු වතුර ටිකක් නෑ. අපි මහා පවක් ගෙවනවා. මේ ආත්මයේ දී මේ පව ගෙවලා ඉවර කරගෙන ලබන ආත්මය හරි දුකක් නැතිව ජීවත් වෙන්න හිතාගෙන තමයි ගමේ පන්සලක් හදාගෙන හාමුදුරුනමක් වඩම්මවලා බණ ටිකක් අහන්නේ. පින්දහම් කරන්නේ. බණ මඩුව හොඳට හදාගන්න කවුරුහරි පින්වතෙක් අපිට උදව් උපකාර කරන්න. ඒ වගේම ජීවිත කාලයම අපි විඳපු දුක මේ ගමේ උස් මහත් වෙන දරුවන්ට උරුම වෙන්න දෙන්න බෑ.
විකුම්පුර හුදෙකලා ගම්මානයකි. මන්නාරම, මැදවච්චිය ප්‍රධාන මාර්ගය අද්දර පිහිටි ඒ ගම අවට සරුසාර පොළොවකි. එහෙත් විකුම්පුර පදිංචි සියලු වැසියන් සිංහල බැවින් ප්‍රදේශයේ නිලධාරින් ඒ අසරණයන්ට වගා කිරීමට භූමියක් හෝ ලබා නොදේ. එහෙයින් ස්ථිර රැකියා නොකරන ගමේ වැඩිහිටි මිනිස්සු කුලී රස්සාවට අනුරාධපුරය, දඹුල්ල, කොළඹ ආදී ප්‍රදේශවලට යන්නාහ. අවට දෙමළ ගම්මානවල වැසියන් විකුම්පුර සිංහල මිනිසුන්ට කුලී වැඩක් හෝ ලබා නොදෙන බව එම ගම්වාසීහු අපට පැවසූහ.
“අවට සේරම දෙමළ ගම්මාන. ඒ මිනිස්සු අපි දිහා බලන්නෙ හතුරො විදිහට. රාජ්‍ය ආයතනවල වැඩ කරන දෙමළ අයත් එහෙමයි. අසල්වාසීන් කියලා කිසිම ළෙන්ගතුකමක් නෑ. රාජකාරියකට ආයතනයකට ගියවිට පුළුවන් තරම් රස්තියාදු කරනවා. රාජකාරිය විතරක් නෙමෙයි, මේ ගමේ ජීවත් වීම එපා කරවනවා. දෙමළ නිලධාරින් අපේ ප්‍රශ්නවලට මොහොතකටවත් ඇහුම්කන් දෙන්නෙ නෑ. සොයාබලන්නෙ නෑ. ඉස්සර ඉඳහිට හරි සිංහල නිලධාරින් ඇවිත් අපේ ප්‍රශ්න ගැන අහලා ගියා. දැන් එහෙමවත් එන්නෙ නෑ. අපි ප්‍රශ්න එක්ක හෙම්බත් වෙනවා. උපන් ගම නිසා දාලා යන්නත් බෑ. යන්න තැනකුත් නෑ. ගමේ සමහර පවුල් නැවත අනුරාධපුරයේ පදිංචියට ගිහින්. දැන් මේ ගමේ ඉතිරි වෙලා ඉන්නේ පවුල් 26යි. ඒ පවුල්වලටවත් ඔප්පුවක් දෙන්නෙ නෑ. සිමෙන්ති සංස්ථාවට අයිති ඉඩමක් කියලා ඔප්පු ලබාදීම මඟ හරිනවා. පහුගිය දවස්වල පදිංචි ඉඩමේ පර්චස් 20කට බලපත්‍රයක් දුන්නා. අයිතිවාසිකමට තියෙන්නෙ එච්චරයි…” ඉන්ද්‍රාණි ප්‍රේමලතා පිරිස අතරින් ඉදිරියට පැමිණි යාය. ඇයට වයස අවුරුදු 62කි. දියණියන් දෙදෙනකුගේ මවකි. ලොකු දුව උපන්දා සිට මන්ද මානසික තත්ත්වයෙන් පෙළෙන බැවින් ඇයව රැකබලා ගන්නේ ද ඉන්ද්‍රාණි ය. මේ වනවිට ඇයට ද වයස අවුරුදු 42කි. ගමේ සමිතියේ සභාපතිනිය ලෙස කටයුතු කරන ඉන්ද්‍රාණි ගමේ ඉතිහාසයත්, වාර්තමානයත් අපූරුවට පැහැදිලි කළා ය. ඇයගේ කතාවට වට වී සිටි ගමේ සෙසු සාමාජිකයෝ ද අඩු, වැඩි නැතිව ලුණු ඇඹුල් එකතු කළහ. විකුම්පුර ගම්වාසීන්ගේ දුක, සැප සොයාබලන උතුරු මැද පළාතේ හිටපු අධ්‍යාපන අධ්‍යක්‍ෂ එච්. ඒ. ඩී. එස්. නේත්‍රාංජන මහතාගේ අදහස්වලට අපි ප්‍රමුඛතාවය ලබාදුන්නෙමු.
“මම පදිංචි අනුරාධපුරයේ. මේ ගමේ මිනිස්සු පදිංචි වෙච්ච කාලේ ඉඳලා සති දෙකකට වතාවක් ගමට ඇවිත් මේ අයට තියෙන ප්‍රශ්න ගැන හොයා බලනවා. අපි නොහිටින්න මේ මිනිස්සුන්ට කාගෙවත් හව්හරණක් නෑ. මේ ප්‍රදේශවල රාජ්‍ය ආයතනවල ඉන්න නිලධාරීන් සේරම දෙමළ. ග්‍රාමසේවකත් දෙමළ. සමහර නිලධාරින්ට සිංහල කතා කරන්නත් බෑ. මේ මිනිස්සුන්ට දෙමළ කතා කරන්න බෑ. සන්නිවේදනය සම්බන්ධයෙන් විශාල ගැටලු තියෙනවා. ඒක මේ මිනිස්සුන්ට ලොකු හානියක්. නිලධාරින්ට හැකි පමණින් උදව් උපකාර කරන්න පුළුවන් නම් මේ මිනිස්සු ස්වෝත්සාහයෙන් නැඟිටින්න ලෑස්තියි…” නේත්‍රාංජන මහතා කතාව කෙටි කර ගොඩනැඟෙමින් පවතින විහාරස්ථානය දෙසට අපව කැඳවා ගෙන ගියේය.
විකුම්පුර ගමේ විහාරස්ථානයේ නම සිසිල බෞද්ධ මධ්‍යස්ථානයයි. නමට ගැළපෙන සුවදායක පරිසරයකි. කුඹුරු යාය දෙසින් හමා එන සිහින් සුළඟට මුරණ්ඩු හිරු නිවෙන තරම් ය. විහාර භූමිය තුළ ඉදිකර ඇති නළ ළිඳ ද විකුම්පුර ගමේ මිනිසුන්ගේ පානීය ජල ගැටලුවට පුංචි විසඳුමකි. විකුම්පුර ගමේ පන්සලේ බණ මඩුව හරක් මඩුවක් වැනි ය. එහෙත් ගමේ කාන්තාවන් බොහෝදෙනා හතර පෝයට සිල් සමාදන් වෙන්නේ එම බණ මඩුවේය. තහඩු කුටියේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ ධර්මය දේශනා කරනුයේ එම බණ මඩුවේ අසුන්ගෙනය. එමෙන්ම ඉඩම් අක්කර තුනක වපසරියක් සහිත විහාර භූමිය සංවර්ධනය කිරීම තුළ මන්නාරමට යන බැතිමතුන්ට ගිමන් නිවන පින්බිමක් වන බව නේත්‍රාංජන මහතා අපට පැහැදිලි කළේය.
මන්නාරම් දිස්ත්‍රික්කයේ, නානාට්ටම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉරට්ටේකුලම් 125/භ ග්‍රාමසේවා වසමේ පිහිටි ‘විකුම්පුර’ නම අලුත් වුවද ගම පැරැණිය. පරම්පරා කිහිපයක් ජීවත් වූ සිංහල ගම්මානයකි. ඉන්ද්‍රාණි ඇතුළු ගමේ වැඩිහිටි බහුතරය උපත ලබා ඇත්තේ ද විකුම්පුර ගමට කිලෝමීටර් තුනක් පමණ ඈතින් පිහිටි මුරුක්කන් රෝහලේ ය. ත්‍රස්තවාදය ආරම්භයත් සමග 1983 අවුරුද්දේ මහ රෑක කඩා පාත් වූ කොටි ඒ ගමේ පවුල් 04ක සාමාජිකයන්ව නිදි පැදුරේ දීම කපා, කොටා මරා දැමීමත් සමග ආරක්‍ෂක නිලධාරින් විසින් විකුම්පුර වැසියන්ව අනුරාධපුරයට රැගෙන ගොස් රත්නමාලී විශ්‍රාම ශාලාවේ නතර කර තිබේ. වසර තුනකට පසුව මිහින්තලේ ප්‍රදේශයෙන් ඉඩම් ලබාදී පදිංචි කර තිබේ. ත්‍රස්තවාදී යුද්ධය අවසාන වීමත් සමග 2010 වර්ෂයේ දී ඔවුන් නැවත විකුම්පුර පදිංචියට පැමිණ ඇත. පැල් කොට අටවාගෙන පදිංචි වූ විකුම්පුර වැසියන්ට මේ වෙනකොට නොතැමී ජීවත් වීමට පුංචි නිවසක් තිබේ. එහෙත් ඒ ගමේ බොහෝ පවුල්වලට තවම වැසිකිළි පහසුකම් නැත. පානීය ජල පහසුකම් නැත. ගමේ පදිංචියට පැමිණි කාලයේ සිට පානීය ජල ගැටලුව තිබුණු බවත්, අදාළ සියලුම නිලධාරින්ට, දේශපාලනඥයන්ට එම ගැටලුව ගැන දැනුවත් කළ ද තවමත් විසඳුම් නොලැබුණු බව ප්‍රදේශවාසීහු පැවසූහ. කාලයක් තිස්සේ සිට අපිරිසිදු ජලය පානය කිරීම සහ ජලය අඩුවෙන් පානය කිරීම නිසා ගමේ කිහිපදෙනකු වකුගඩු රෝගීන් බවට පත්ව සිටින බව ද විකුම්පුර ගම්මු අප සමග පැවසූහ. එමෙන්ම ගොඩ, මඩ ඉඩම් අත ළඟ තිබිය දී වගා කිරීමට අවසර ලබා නොදෙන බව ද ඔවුහු පැවසූහ.
“ගම පිටිපස්සේ අක්කර දහයකට වැඩි මූකලාන සුද්ද කරලා වගා කරන්න අවසර දීලා තියෙනවා. ඒත් දිසාපති කාර්යාලයෙන් කියනවා බැකෝ යන්ත්‍ර දාන්නෙ නැතිව අතින් සුද්ද කරන්න කියලා. ඒ කටු කැලෑව අතින් සුද්ද කරන්න බෑ. ගිනි තියන්නත් බෑ, කොහෙන් නතර වෙයි ද දන්නෙ නෑ. ඒ ඉඩම අපිට දෙනවට වනජීවී නිලධාරිනුත් අකමැතියි. අපිට ඉඩම දෙනවට වැඩියෙන්ම අංචි අදින්නේ වනජීවී දෙපාර්තමේන්තුව. අපේ පාඩුවේ ගොවිතැන් බතක් කරගෙන වේලක් කාලා සතුටින් ජීවත් වෙනවාට ඒ නිලධාරින් කැමැති නෑ. අහල, පහල ගම්වාසීන් කැමැති නෑ…” විකුම්පුර පීඩිත සිංහල මිනිසුන්ගේ හදවත්වල තෙරපෙන වේදනාව වචන කෙරෙන අතරේ එම ගම කෙළවරේ මූකලාන දෙසට අපි ගියෙමු. ගම්වැසියන්ගේ කතාව සැබෑය. මහ මූකලාන කටු පඳුරුවලින් පිරී ගොස් ය. කැතිගෑම කෙසේ වෙතත් කටු සහිත මූකලානට ඇතුළු වීමට හෝ නොහැකි තරම් ය. අන්තවාදී නිලධාරින් විසින් කටු කැලෑව අතින් සුද්ද කරන ලෙසට විකුම්පුර මිනිසුන්ට අණ කිරීම නොකෙරෙන තැනට වැඩ සැලසීමක් බව පැහැදිලි ය. එමෙන්ම විකුම්පුර ගම ඉදිරිපිට, ප්‍රධාන මාර්ගය අද්දර අක්කර දහයක කුඹුරු යාය කරගෙන යෑමට අවසර ලබා දී තිබුණ ද අවට පල්ලියක පූජකවරයෙක් එය අස්වැද්දීමට ඉඩ ලබා නොදෙන බව ද ගම්වාසීහු අපට පැවසූහ.
“මේ කුඹුරු යාය අස්වද්දන්න ලෑස්ති වෙනකොට අහල ගමක ෆාදර් කෙනෙක් ඇවිත් පල්ලියට අයිති දේපළක් කියලා කුඹුර කරන්න ඉඩ දුන්නෙ නෑ. කුඹුර විතරක් නෙමෙයි, මේ යායම පල්ලියේ ඉඩම් කියනවා. දැන් කුඹුරු අක්කරයක් රුපියල් අසූදාහ ගාණේ පල්ලියෙන් බදු දෙන්න යනවා. ඒත් කුඹුරු කරන්න මිනිස්සු නෑ. දැන් වල් වැදෙමින් තියෙනවා. අපි කුඹුර දිහා බලාගෙන කුසගින්දරේ හූල්ලනවා…” විකුම්පුර ගම්වාසීන්ගේ පොදු හඬ අතරින් එස්. සී. අමරසිරිගේ හඬ ඉස්මතු විය. ඔහුට වයස අවුරුදු 67කි. එහෙත් කැත්තේ, උදැල්ලේ වැඩ තවම හොඳට කළ හැකි බව හේ අපට කීවේය.
“මේ රතු පසේ දණ්ඩක් විසි කළත් දලු දානවා. ඕනෑම බෝගයක් හොඳට හැදෙනවා. උඩරට පළාත්වල හැදෙන සමහර එළවළු බෝගත් හැදෙනවා. අපි වගා කරලා අස්වැන්න අරගෙන තියෙනවා. ගම පිටුපසින් මල්වතු ඔය ගලා බහිනවා. මේ කුඹුර කෙළවරේ පුංචි වැවක් තියෙනවා. වගාවට අවශ්‍ය සියලු යටිතල පහසුකම් තියෙනවා. මේ කුඹුරු යාය කරගෙන, ගම පිටුපස ගොඩ වගාවක් කරගන්න ඉඩ දෙනවා නම් අපිත් දියුණු වෙලා ගමත් දියුණු කරන්න අපට ශක්තිය තියෙනවා. ඒත් වගාවක් කරන්න ඉඩ දෙන්නෙ නෑ. රජයෙන් දෙන සමෘද්ධිය, අස්වැසුම ආධාරයක්වත් අපේ ගමේ පවුල්වලට දෙන්නෙ නෑ. අවට දෙමළ ගම්මානවල මිනිස්සුන්ට නිවාස ආධාර, වගා ණය සේරම පහසුකම් ලබාදෙනවා. රාජ්‍ය නොවන සංවිධානවලින් රජයට වඩා උපකාර කරනවා. අපිට හාල් කිලෝවක් තරමේ සහනාධාරයක් දෙන්නෙ නෑ. මේ රටේ උපන් අපිට සලකන්නෙ වෙන රටකින් ආපු කල්ලතෝනී ගානට. පහුගිය කාලේ ඉඳහිට ගමට ආපු සිංහල නිලධාරින්ට මේ ප්‍රශ්න ගැන කිව්වත් වැඩක් වුණේ නෑ. ඒ නිලධාරින්ට කරන්න දෙයක් නෑ. මේ ප්‍රදේශ පාලනය වෙන්නේ දෙමළ දේශපාලනඥයන්ට, දෙමළ නිලධාරින්ට ඕන විදිහට. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය විනාශ වුණාට, කොටි ප්‍රතිපත්ති තවම ක්‍රියාත්මක වෙනවා. ඒ අන්තවාදයට මැදිවෙච්ච අපි දුක්විඳිනවා…” අමසිරිගේ උස් හඬට අයිරාංගනීගේ හීන් හඬ ද එකතු විය. වයස අවුරුදු 56ක් වන අයිරාංගනී ද දෙදරු මවකි. පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇයගේ සැමියා වසර පහකට පෙර මියගොස් ඇත. කාලයක සිට ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳින ඇය යැපෙනුයේ දරුවන් දෙදෙනකු ගෙනි.
“දියවැඩියාව, වකුගඩු, හදවත් රෝගවලින් පීඩා විඳින කිහිපදෙනෙක් අපේ ගමේ ඉන්නවා. ඒ හැම කෙනෙක්ම ක්ලිනික් යන්න ඕන අනුරාධපුර මහ රෝහලට. සමහර අය මාසෙට දෙපාර, තුන් පාර ක්ලිනික් යනවා. දුර ගමනක්. ඒත් ඉතින් තව ටික කාලයක් ජීවත් වෙන්න නම් වෛද්‍ය උපදෙස් පිළිපදින්න වෙනවා. මුරක්කන් රෝහලෙත් පහසුකම් නෑ…” අයිරාංගනී කෙටි වචන කිහිපයකින් කතාව අවසාන කළාය.
අධ්‍යක්‍ෂ එච්. ඒ. ඩී. එස්. නේත්‍රාංජන
විකුම්පුර ගමේ පාසල් වයසේ පසුවන දරුවන් සයදෙනෙකි. ඔවුන් අධ්‍යාපනය ලබනුයේ විකුම්පුර සිට කිලෝමීටර් 16ක් දුර සිලාවතුර තම්බපන්නි සිංහල පාසලේ ය. එම පාසලේ අධ්‍යාපනය ලබන සම්පූර්ණ ළමයි සංඛ්‍යාව හතළිස් ගාණකි. උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන එම පාසලේ දරුවන් අධ්‍යාපනයට දක්ෂ බවත්, පාසලේ අඩුපාඩු බොහෝ බවත් විකුම්පුර මිනිස්සු පැහැදිලි කළහ. තම්බපන්නි සිංහල පාසලේ ගුරුවරුයෙක් ලෙස සේවය කරන ස්වාමීන් වහන්සේ දිනපතා අනුරාධපුරයේ සිට වඩින බැවින් විකුම්පුර
ගමේ පුංචි පන්සලේ තහඩුවලින් කුටියක් සකස් කර දී තිබෙන බවත් ගම්වාසීහු කීහ. එමෙන්ම පාසල් යන දරුවන්ට අඩුපාඩු බොහෝ තිබෙන බව ද සුනීතා පැවැසුවාය. ඇය ද 65 වන විය පසු කරගෙන යන මවකි. ඇයගේ මුවින් පිට වූ මේ වචන ටික නම් ගිනියම් මූණිස්සම් මෙන් හදවතේ ගැඹුරටම කිඳා බැස්සේ ය.
“අපේ දරුවන්ට බිත්තරයක්, මාළු, මස් කෑල්ලක් කන්න දීපු කාලයක් මතක නෑ. රසට කන්න අපිට සල්ලි නෑ. ඉඳහිට වේලක් රසට කෑවොත් සතියක් බඩගින්නෙ ඉන්න වෙනවා. හරියට අඳින්න නෑ. බොන්න පිරිසිදු වතුර ටිකක් නෑ. අපි මහා පවක් ගෙවනවා. මේ ආත්මයේ දී මේ පව ගෙවලා ඉවර කරගෙන ලබන ආත්මය හරි දුකක් නැතිව ජීවත් වෙන්න හිතාගෙන තමයි ගමේ පන්සලක් හදාගෙන හාමුදුරුනමක් වඩම්මවලා බණ ටිකක් අහන්නේ. පින්දහම් කරන්නේ. බණ මඩුව හොඳට හදාගන්න කවුරුහරි පින්වතෙක් අපිට උදව් උපකාර කරන්න. ඒ වගේම ජීවිත කාලයම අපි විඳපු දුක මේ ගමේ උස් මහත් වෙන දරුවන්ට උරුම වෙන්න දෙන්න බෑ. මේ ගම්වල තියෙන අඩුපාඩු සම්පූර්ණ කර, ගොවිතැන් බතක් කරගෙන ගොඩ බෝගයක් වගා කරගන්න අවසර ලබාදෙන්න කියලා රජයෙන් අපි ඉල්ලා සිටිනවා…” ඇයට වචන හිරවිය. දෑස් තෙත් විය. ඇය කතාව නතර කළාය. උතුර, නැඟෙනහිර රක්ෂිත ඉඩම් ඇල්ලීම, පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම, රජයේ ඉඩම්වල ස්වාභාවික සම්පත් ගැනීම එළිපිට කරන කොල්ලයකි. එමෙන්ම බැකෝ යන්ත්‍ර යොදාගනිමින් රජයේ ඉඩම් පහුරුගාන අයුරු අපි දෑසින් දැක ඇත්තෙමු. රජයේ ඉඩම් එසේ කොල්ලකන්නේ උතුර, නැඟෙනහිර සිංහල මිනිස්සු නොවේ. දෙමළ, මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් ය. එහෙව් උතුරු පළාතේ, මන්නාරම් දිස්ත්‍රික්කයේ නානාට්ටම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විකුම්පුර සිංහල මිනිසුන්ට වගා කිරීමට ඉඩම් එළිපෙහළි කරගැනීමට බැකෝ යන්ත්‍රයක් යොදාගැනීම තහනම් ය. සිංහල රටේ, උතුරේ කල්ලතෝනි බවට පත් වී සිටින පීඩිත සිංහල මිනිසුන්ගේ ආඳෝනාව ඇසෙනවිට ලේ කෝප වෙන්නේ ය. එහෙයින් පෙළගැසෙන කතාවට තවත් අඩු වැඩි එකතු කිරීමට අකැමැතිය.
විකුම්පුර අසරණ සිංහල මිනිසුන්ගේ පිපාසය සංසිඳුවාලීමට පිරිසිදු වතුර ටිකක් ලබාදීමට, වැසිකිළියක් හදා දීමට, විහාරස්ථානයට උදව් උපකාර කිරීමට, වෙනයම් හෝ උපකාරයක් කිරීමට ජාතික සංවිධානවලට, පිනට හිතැති දානපතීන්ට අවස්ථාව තිබේ. එමෙන්ම උතුරේ දෙමළ ඡන්දයට කෑදරකමෙන් විකුම්පුර අසරණ සිංහල මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්න රජය විසින් හිතා මතා මඟහරිනවා නම් එය ජාතියට කරන ද්‍රෝහිකමකි.
තරංග රත්නවීර