කුඩු මඩින කොට පොලීසියට වෙඩි පිට වෙඩි

819

පාතාලය පොලිසියෙන් ලෙයට ලෙයින් පලි ගනී

කොන්ත්‍රාත්තුව මිලියන දෙකයි…

කරන්දෙණිය සුද්දාගේ වැඩක්…

කුඩු මඩින කොට පොලීසියට වෙඩි පිට වෙඩි

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සිටි අති දක්ෂ පොලිස් පරීක්ෂකවරයෙක් වූ ඔහු නමින් දැඩිමුණි බාලේන්ද්‍රසිංහ නම් වේ. ඔහු ශ්‍රී ලංකාවේ පාතාලයට සහ කුඩු කල්ලිවලට එරෙහිව දිවි නොතකා නොබියව රාජකාරි කළ අවංක පොලිස් නිලධාරියෙකි. එහෙත් මේ වන විට ඔහු ජීවතුන් අතර නොමැත. ඒ පසුගිය 09 වැනිදා අඳුරු ගොම්මනේදී ඔහුව නරුම පාතාලයන් විසින් වෙඩි තබා ඝාතනය කිරීම නිසාය. එම නිලධාරියාට එසේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූයේ දකුණු පාතාලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම නිසා බව කියවේ. රටේ අභාග්‍යයක් ලෙස සැලකිය හැකි එම ඝාතනයේ සුලමුල අපි මෙලෙස පෙළ ගස්වන්නෙමු.

පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ දකුණු පාතාලය මැඬපැවැත්වීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ නිලධාරියෙකි. දකුණේ හිස එස වූ “කොස්ගොඩ තාරක”, “කොස්ගොඩ සුජී”, “පොඩි ලැසී”, “රත්ගම විදුර” සහ “කරන්දෙණියේ සුද්දා” යන පාතාල නායකයන්ගේ අපරාධ කල්ලි මැඬලීම සඳහා තම ජීවිතය ගැනවත් නොතකා සේවය කළ අවංක නිලධාරියෙකි. තවද මීටියාගොඩ ඇල්පිටිය කොස්ගොඩ යන ප්‍රදේශවල පාතාල කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේදී සුවිශේෂී කාර්යභාරයක් සිදු කළ නිලධාරියෙකි. එකල ඔහුගේ නමටද පවා බියවූ අපරාධකරුවන් සිටියේය.

කරන්දෙනියේ හිතහොඳ දොස්තර නොහොත් වෛද්‍ය පියන්ත ප්‍රසාද් ජයසිංහ වෙඩි තබා ඝාතනය කරනු ලබන්නේ 2011 වර්ෂයේදීය. එකල ඔහු සේවය කළේ කරන්දෙනිය බොරකන්ද රජයේ රෝහලේය. ඔහුගේ සේවය ජනතාවට කොතරම් දැනුනාද කියතහොත් එම ප්‍රදේශවල වැසියන් ඔහුව හැඳින්වූයේ “හිත හොඳ දොස්තර” ලෙසින්ය.

“හිත හොඳ දොස්තර” ගේ ඝාතනය පිටුපස සිටියේ “කරන්දෙණිය සුද්දා” සහ ඔහුගේ සහෝදරයාය. සනත් ද සිල්වා යන “කරණ්දෙනිය සුද්දගෙ” සහෝදරයා කලක් විශේෂ කාර්යා බළකායේ සෙබළකු ලෙස ද සේවය කළේය. එකල මෙම සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගත්තේ පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ විසින්ය. එකල ඔහු අම්බලන්ගොඩ පොලිසියේ සේවය කළේය.

අත්අඩංගුවට ගෙන එම සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කළ ආකාරය හේතුවෙන් “කරන්දෙණිය සුද්දා” පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ සමග වෛර බැඳ ගතතේය. පසුව එම සැකකරුවන් දෙදෙනාට දොස්තරගේ ඝාතනයට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදු විය.

වසර එකහමාරකට පසු එම සැකකරුවන් දෙදෙනාට ඇප ලැබුණි. ඇප ලැබී මාස කීපයක් ඇතුළත “කරන්දෙනිය සුද්දා” සහ ඔහුගේ සහෝදරයා ඉතා සූක්ෂම ලෙස ඩුබායි රාජ්‍යයට පලා ගියහ. ඉන්පසු එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ ඔවුහු පාතාල කෙරුමන් බවට පත්වූහ.

කරන්දෙනිය සුද්දා පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ සමග සිටියේ බද්ධ වෛරයකිනි. ඔහුට වුවමනා වූයේ කෙලෙස හෝ පොලිස් පරීක්ෂකවරයා මරා දැමීමටයි. ඔහු සිය ගෝලබාලයන්ට “මට අර පොලිස් කාරයා මරණකන් නින්ද යන්නේ නැහැ” යනුවෙන් නිරතුරුම පැවසුවේය. එපමණක් නොව ඔහු පොලිස් පරීක්ෂකවරයාට විටින් විට දුරකථන ඇමතුම් ගෙන මරණ තර්ජන එල්ල කළේය. ඒහෙත් පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ එම තර්ජන සත පහකටවත් මායිම් නොකර තම රාජකාරිය අකුරටම සිදු කරගෙන ගියේය.

ජීවිත තර්ජන හමුවේ තම රාජකාරිය කරමින් සිටි මෙම නිලධාරියාට මීට වසර තුනකට පමණ පෙර නොසිතූ ඇබැද්දියකට මුහුණ දීමට සිදුවිය. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මත අම්බලන්ගොඩ ප්‍රදේශයේ විවාහ උත්සවයකදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් පිළිබඳව තොරතුරු සොයා බැලීමට තවත් නිලධාරීහු කිහිපදෙනකු සමග ඔහු එම ස්ථානයට ගියහ. එම ස්ථානයට ගොස් පරීක්ෂණ සිදු කිරීමේදී ගැටුමට මුල්වූ එක් පාර්ශ්වයක් විසින් පොලිසියට පහරදීමට උත්සාහ කළහ. එම අවස්ථාවේදී පොලිසිය ද එම පිරිසට පෙරළා පහර දුන්නේය.

එම පහරදීමේදී එක් පුද්ගලයෙකු තුවාල ලැබුවේය. එලෙස තුවාල ලැබූ පුද්ගලයා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කළේය. එහිදී වෛද්‍යවරයා තුවාලකරු පරීක්ෂා කර බලා පැවසුවේ පහරදීමක් සිදුවී ඇති බවයි.

තුවාල ලැබූ එම පුද්ගලා විසින් ඉන්පසු වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එම පැමිණිල්ලට අනුව කෲර වදහිංසා පැමිණවීමේ චෝදනාව මත පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහට එරෙහිව ගාල්ල අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබුණි.

දිනක් නඩුවේ පැමිණිලිකරු නඩු විභාගය සිදුවන අතරතුර පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ හමුවී මෙලෙස පැවසුවේය.

“සර් මම සර් එක්ක කතාකරන්න හිටියේ.”

“මොනව සම්බන්ධයෙන්ද?”

“මේ නඩුව සම්බන්ධයෙන්.”

“ඇයි ඒ සම්බන්ධව උසාවිය කතා කරන්නේ.”

“නැහැ එහෙම නෙවෙයි සර්. මට දැන් උසාවි ඇවිල්ලම එපාවෙලා තියෙන්නේ. ගෙදර කන්නවත් සල්ලි නැහැ. මම කැමතියි මේක සමථයකට පත්කරගන්න.”

පැමිණිලිකරු එසේ පැවසීමත් සමග හිත උණු වූ පොලිස් පරීක්ෂකවරයා එම මොහොතේ ඔහුට රුපියල් පන්දහක මුදලක්ද ලබාදී තිබුණි.

දැනට අවුරුදු එකහමාරකට පමණ ඉහතදී යළි එම නඩුව ගාල්ල මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ විභාග කෙරිණි. එදින පැමිණිලිකරු මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා බව පවසා තිබේ.

එහිදී මහෙස්ත්‍රාත්වරයා පැමිණිලිකරුගෙන් මෙලෙස ප්‍රශ්න කළේය.

“ඇයි තමුන් මෙම නඩුව ඉල්ලා අස් කර ගන්නේ. පොලිසියෙන් තර්ජන තියෙන නිසාද”

එවිට පැමිණිලිකරු “නැහැ” ස්වාමීනි යනුවෙන් පැවසුවේය. එතනින් නොනැවතුණු විනිසුරුවරයා “විත්තිකාර පාර්ශ්වයෙන් තමාට මුදල් ලබාදුන්නාද යනුවෙන්” විමසුවේය. එවිට පැමිණිලිකරු “ඔව් මම රුපියල් පන්දාහක මුදලක් ඉල්ලා ගත්තා” යැයි පැවසුවේය.

විනිසුරුවරයා විමසූ මුදල් ලබා ගත්තා ද යන පැනයට “ඔව්” යැයි පැවසීම හේතුවෙන් විනිසුරුවරයා නියෝග කර තිබුණේ බාලේන්ද්‍රසිංහ නමැති මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන විමර්ශනයක් සිදුකරන ලෙසයි. ඒ අනුව 2022 වසරේ මාර්තු 8 වැනිදා සිට 2023 වසරේ සැප්තැම්බර් 26 වැනිදා දක්වා ඔහුට රක්ෂිත බන්ධනාගාර ගතවීමට සිදුවිය.

බන්ධනාගාර ගත වූ පසු ඔහුගේ සේවය ද තාවකාලිකව අත්හිටුවනු ලැබුවේය.

ගාල්ල බන්ධනාගාරය තුළදී පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහට අපරාධකරුවන්ගෙන් නොයෙක් තාඩන පීඩන එල්ල විය. විශේෂයෙන් “පොඩි ලැසී” බන්ධනාගාරය තුළදී පොලිස් පරීක්ෂකවරයාගෙන් තම ඇරියස් කවර් කර ගත්තේය. එහෙත් ඔහු එම තාඩන පීඩන ආදියට නොබියව මුහුණ දුන්නේය.

ඇප ලබා පැමිණි පසු පසුගිය නව වැනිදා යළි එම නඩුව ගාල්ල මහාධිකරණයේදී විභාගයට ගෙන තිබුණි. එදින පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ උසාවියට පැමිණියේ තම බිරිඳ සහ වැඩිමල් සහෝදරයා සමඟයි. එදිනද නඩුව කල් ගියේය.

උසාවියෙන් එළියට පැමිණි පසු පොලිස් පරීක්ෂකවරයා තම නීතිඥවරයා මුන ගැසුණි. එහිදී ඔහු නීතිඥවරයා සමග පැය භාගයක් පමණ සංවාදයේ යෙදී සිටියේය. අවසන් වර නීතිඥවරයා පැවසුවේ “වසර එකහමාරක් පමණ බන්ධනාගාරගතව සිටි නිසා මානසික ආතතියක් ඇති නොකරගන්නා ලෙසයි.”

එයට පිළිතුරු වශයෙන් පොලිස් පරීක්ෂකවරයා පැවසුවේ “මට ළමයි තුන් දෙනෙක් ඉන්නවා. ගෙදර වහලය තෙමෙනවා. වැස්ස දාට ඉන්න බැහැ. ඒක නිසා ඉක්මනින් වහලය හදාගන්න ඕනා” යනුවෙනි.

පසුව නීතිඥවරයාගෙන් සමුගත් ඔවුන් යතුරු පැදිවලින් නිවෙස් බලා යෑමට පිටත් විය. යන අතරතුර ද පොලිස් පරික්ෂකවරයා නිවසේ වහලය සාදාගන්නා ආකාරය ගැන කතා කරමින් ගියේය.

කුඩු මඩින කොට පොලීසියට වෙඩි පිට වෙඩි
දේහය රැගෙන යන අයුරු

වේලාව සවස 6 පසු වී තිබුණි. පොලිස් පරීක්ෂකවරයා එම මොහොතේ සිටියේ රත්ගම දෙවැනි ගොඩ ප්‍රදේශය පසු කරමින්ය. එකවරම ඔහු පිටුපසින් පැමිණි යතුරුපැදියක පිටිපස අසුනේ සිටි පුද්ගලයෙකු ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර කීපයක් ඔහුට එල්ල කළේය. නොසිතූ මොහොතක එල්ල වූ එම වෙඩි ප්‍රහාර හමුවේ පොලිස් පරීක්ෂකවරයාට කිසි දෙයක් කර ගැනීමට නොහැකි විය. යතුරු පැදිය සමග ඔහු ද බිම ඇදවැටුණි. ඔහුට පමණක් නොව ඔහුගේ වැඩිමල් සහෝදරයාගේ මුඛ ප්‍රදේශයටද වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණි.

ඝාතකයන් තම ඉලක්කය සපුරාගත් පසු නිදැල්ලේ එම ස්ථානයෙන් පිටව ගියේය. ඉන් පසු එතැනට පැමිණි පිරිස් තුවාලකරුවන් බළපිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්හ. රෝහලට ඇතුළත් කළත් පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි විය. අවසානයේ රටට ඉමහත් මෙහෙවරක් කළ අවංක පොලිස් නිලධාරියෙකුට පාතාලයන්ගේ වෙඩි ප්‍රහාර හමුවේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූයේ එලෙසින්ය.

මෙම ඝාතනය පිළිබඳ රටම කතා කිරීමට පටන් ගත්තේය. තවද එය මුළු පොලිස් දෙපාර්තමේන්තුවට ම එල්ල කළ තර්ජනයක් විය. එම නිසා පොලිස් පරීක්ෂණ කඩිනමින් පටන් ගත්තේය. පොලිස් කණ්ඩායම් කීපයක් මේ පිළිබඳව පරීක්ෂණ සිදු කළහ. එම පරීක්ෂණවලදී හෙළිවූයේ පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ ගේ ඝාතනය ඩුබායි සිටින “කරන්දෙණිය සුද්දගේ” අනුදැනුම මත සිදුකරන ලද්දක් බවයි. තවද මෙම ඝාතනය සිදුකර ඇත්තේ මිලියන දෙකක කොන්ත්‍රාත්තුවකටය.

පොලිස් විමර්ශන ඒකකවලට අමතරව විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මතද පුළුල් මෙහෙයුමක් ආරම්භ කළේය. ඒ විශේෂ කාර්ය බළකායේ ගාල්ල, රත්ගම සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය සහ බුද්ධි ඒකකය විසින්ය. මෙහෙයුම තුළදී එම බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන (1) ඒකකයේ නිලධාරීන්ට සැකකරුවකු සම්බන්ධයෙන් තොරතුරක් ලැබිණි.

ලැබුණු එම තොරතුර වහාම අණ දෙන නිලධාරිවරයාටත් පොලිස් අධිකාරි එම්. එම්. කේ. විජේසිංහ සහ සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර යන නිලධාරීන්ටද දැනුම් දුන් අතර ඔවුන්ගේ උපදෙස් මත විමර්ශන කණ්ඩායම මීටියාගොඩ, මහවත්ත පාරේ නිවෙසකට ගියහ.

එම නිවස දැනට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින “කරන්දෙණිය සුද්දා” ට අයත් වූවක් බවට ද තොරතුරු ලැබී තිබිණි. වහාම එම නිවෙසට ගිය නිලධාරීන්ට එය පාළු නිවසක් බවත් එහි පුද්ගලයකු රැඳී සිටින බවත් වැටහිණි.

ගතවූයේ මොහොතකි. ඒ සමඟම නිවෙසේ සිටි පුද්ගලයා එස්. ටී. එෆ්. භටයන්ට පිස්තෝලයකින් වෙඩි තැබීමට පටන් ගත්තේය. පසුව පොලිස් නිලධාරීන් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී නිවෙසේ සිටි පුද්ගලයාට වෙඩි වැදුණි. පසුව ඔහු රෝහල්ගත කළද ඒ වන විටත් ඔහු මියගොස් සිටියේය.

විශේෂ කාර්ය බළකාය පවසන්නේ වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ හේනේගොඩගේ සංජීව ප්‍රේමකුමාර සිල්වා නමැති 42 හැවිරිදි අයකු බවය. ඔහු වාද්දුව, ජම්බුගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පාතාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් සිදුකර අවසානයේ පාතාලයෙන්ම වෙඩිකා අනූනවයෙන් ජීවිතය ගලවාගත්, එම මෙහෙයුම් වෙනුවෙන් හිරේ විලංගුවේ වැටීමේ අත්දැකීම් පවා ඇති පොලිස් නිලධාරියෙක් වූ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව පාතාලයන් විසින් වෙඩි තබා මරා දමනු ලැබූ පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ පිළිබඳව ඉතා සංවේදී සටහනක් තම මුහුණු පොතේ තබා තිබේ. එම සටහන තුළ මත්ද්‍රව්‍ය, පාතාලය සහ පොලිසිය තුළ ඇති හිතවත්කම් මෙන්ම දෙපාර්තමේන්තුවක් ලෙස පොලිසියේ ඇති කුහකවත පිළිබඳව ද විවේචනාත්මකව හෙළි කර තිබේ. ඔහු තැබූ එම සටහන මෙලෙස උපුටා දක්වන්නේ එබැවිනි.

“උඹ යන්න ගියා… අපි ඔක්කොටම පාඩමක් කියා දී.”

මම උඹ ගැන ගොඩාක් දන්නේ නැහැ.. එත් ටිකක් දන්නවා ..පාතාලයේ කයිචාංඩුවන් සතේට ගණන් නොගෙන ..කුඩු කාරයන්ට පන්න පන්නා ගහපු කොල්ලෙක් කියලා.

තරුවක් ගහලා පොලිසියට ආවාම young blood ඇති රට ජාතිය ආගම ගැන හැඟීමක් තියෙන එවුන්ට මැරෙනවා පේන්නේ නැහැ වැඩ කරන්න ගියාම. උඹ ගැන උඹ වැඩ කළ වසමේ මිනිස්සු සාක්ෂි දරයි. දෙපාර්තමේන්තුවේ එවුන්ගෙන් අහලා වැඩක් නැහැ …උන් බහුතරයක් කුහකයි …හොඳ කොල්ලෙක් ..එත්…කියලා පටන් අරගෙන මෙහෙම කියනවා..

…“එත්” කියන වචනය තුළ කුහක කමට, ඊර්ෂ්‍යාව , add වෙලා ..

“එයා දඟලනකොට අපි දන්නවා අන්තිමට කොහෙද නතර වෙන්නේ කියලා”

“ඉතින් අපිටත් ගහන්න එපැයි” ඇයි එයාට”

“මොකක් හරි ඩීල් එකක අවුලක් වෙන්න ඇති

මාව බේරා ගත්ත ලෝයර් මහත්තයා තමා උඹගෙත් නඩුවට ආවේ. ඒ රත්තරං මනුස්සයෙක්. සල්ලිවලට නොවේ නඩු කළේ හමුදාවේ පොලිසියේ අපේ නඩු.

උඹට තිබුණ නඩුව මම A එද Z දන්නවා.

පොලිසියට ආව 119 පණිවිඩයක් ගැන ක්‍ෂණිකව ක්‍රියාත්මක කරන්න ගිහින් ඇති වූ ප්‍රශ්නයකදී ..පහර දීමක් සම්බන්ධව toucher නඩුවක් වැටිලා ..අවුරුදු එකහමාරක් සිර ගෙදර ඉඳලා ඇවිත් සතියක් ගෙවුණේ නෑ.

උඹව රිමාන්ඩ් කරගන්න කුඩු කාරයෝ කොච්චර වියදම් කළාද ලෝයර්ස්ලා ට.

ඊයේ නඩුව ඉවර වෙලා හවස ලෝයර් උඹට කිව්වා නේ “රංගජීවට ගහන්න හිටියා නඩුවට එනකොට ..ඔයාත් security එකක් ගන්න”

ඉක්මනට සේවයට එන්න කියලා ඒත් මල්ලි කිව්වේ..සර් ගෙයි වහලේ දිරලා..ඒක හදාගෙන එනවා” කියලා නේ.

කුඩු නඩු 150 ක විතර සාක්ෂි දෙන්න තියෙනවා නේ.

කොහොම වුණත් බිරිඳ හා දරුවන් තුන්දෙනා අද අන්ත අසරණ වෙලා… ඒ හැඟීම වෙන කාටවත් නැතුව මම දන්නවා ..මොකද මට

ගහන විට මගේ දරුවන් ද පාසල් යන පොඩි එවුන් නිසා .. රැකියාව හැර වෙන ආදායම් නොතිබූ නිසා.

ප්‍රශ්නයට පැටළුණු ගමන් අපිව අතහරින්නේ අපේ දෙපාර්තමේන්තුවේ මිනිස්සු.

අනුන්ගේ ප්‍රශ්න අපේ ප්‍රශ්නයක් කරගෙන රාජකාරී කරන්න ගිය ඔක්කොටම වැරදුනා මල්ලි ….

අපිට නායකයෙක් නෑ … එත් පාතාලයේ එවුන් කුඩු කාරයන්ට නායකයන් බොහෝ යි.

“සිරකරුවො මනුෂ්‍යයෝය” ඒත්.. ඒත්… ඔවුන් අතින් මැරුනු අසරණයාගේ දරුපැටවුන්ට කෑම වේලක් දෙන්න, පිටි පැකට් අරන් දෙන්න.. පොත් ටිකක් අරන් දෙන්න එක බල්ලෙක් හෝ බලු සංවිධානයක් නැහැ ..උන් ඔක්කොම සල්ලි වලින් මොළේ මැරිලා…

අපරාධකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න එන නියෝගවල නැත්තේ ඌ ගේ……….ඃක හෝදන්න හා කලිසම් අන්දවන්න පමණි. උන්ගෙන් මහපාරේ වෙඩි කන එවුන් වෙනුවෙන් නියෝග නැත.

උන්ගේ දරුවන් කවදාවත් මේ පාතාලයේ ගොදුරු නොවන්නේ පිටරට settle වෙන්න ඉන්න නිසාය.

කොහොම වුණාත් උඹේ මතකය අපිට මාස තුනක් තියේවි. මුරණ්ඩු ලෙස රාජකාරී කරන්න ගොස් අන්තිමට අසරණ වුණේ දරුවන් හා බිරිඳ පමණි. ඔබේ අවංකකම නීර්භීතකම උඹේ බිරිඳ දරුවන් තුන් දෙනා ලොකු වුණාම කියාලා දේවි. උඹ පොලිස් කාරයෙක් විදියට හම්බුකර ගත්තේ ඒ ආත්මගරුත්වය පමණි.

උඹට සුවදායී දීර්ඝ නින්දක්..”

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment