ගැටලු නොවිසඳුවාට විරෝධය රට පුරා රෝහල්වල – අනිද්දා පරිපූරක වෛද්‍ය සේවා වර්ජනයක්

88

පරිපූරක වෛද්‍ය සේවාවේ ගැටලු විසඳීමට සෞඛ්‍ය ඇමැතිවරයා මැදිහත් නොවීමට විරෝධය පළ කරමින් අනිද්දා (22දා) උදෑසන 8.00 සිට දිවයින පුරා රෝහල්වල එක්දින වැඩවර්ජනයක් පැවැත්වීමට පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර ඇත.

පරිපූරක වෛද්‍ය සේවාවේ උසස්වීම්වලට අදාළ ගැටලු, සති අන්ත හා නිවාඩු දින දීමනාවලට අදාළ ගැටලු, උපාධිධාරීන් බඳවා ගැනීමේ ගැටලු, සීමාවාසික පුහුණුව යන නාමයට අදාළ ගැටලු සහ වැටුප් හා දීමනා විෂමතාවන්ට අදාළ එකඟතා නොසලකා හැරීම ඇතුළු කරුණු විසඳා ගැනීමට සෞඛ්‍ය ඇමැතිවරයාගේ සහ සෞඛ්‍ය ලේකම්වරයාගේ දායකත්වය ලබා ගැනීමට දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ වීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට හේතු වූ බව එම බලමණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා ‘දිවයින’ට ඊයේ (19දා) සඳහන් කළේය.

තම ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තවදුරටත් හැකියාව ඇතත් එසේ නොවන්නේ නම් තීරණය කර ඇති පරිදි අනිද්දා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය රට පුරා රෝහල්වලදී ක්‍රියාත්මක කරන බව ද හෙතෙම පැවසීය.

මෙම එක්දින සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමේදී පිළිකා, මාතෘ, වකුගඩු ඒකක සහ ජාතික ලේ බැංකුවේ දෛනික කාර්යයන්ට බලපෑමක් එල්ල නොකරන බව ද චානක ධර්මවික්‍රම මහතා වැඩිදුරටත් පැවසීය.

සුජීව තත්සර


advertistmentadvertistment