(මෙම 7 වැනිදාට යෙදෙන ජගත් කාන්තා දිනය නිමිත්තෙනි)
මහජන බැංකු විශ්‍රාමික කලා රසික සංසදයේ (රළ) කවියන් කිවිඳියන් අතර පසුගියදා ‘වට්ස් ඇප්’ තාක්ෂණය ඔස්සේ කවි මඬුවක් පැවැත්විණි.
එහි මාතෘකාව වූයේ ‘ගැහැනියට අත් තටු’ ලබාදෙන ලෙසට මහ බඹුගෙන් කෙරුණු ඉල්ලීමකි.
කවි මඬුව ඇරඹුවේ ලැම්බට් ප්‍රනාන්දු කවියාය.
මහ බඹු පදවි ලැබුණොත්
සුළු මොහොත කට
අත් තටු මවමි
ලොව හැම ගැහැනියක හට
සුරඟන ලෙසින්
අහසේ සැරි සරණ විට
ලොව මොන තරම්
සුන්දර දැයි සිතෙයි මට
සරසවියගේ
ළැම නිතරම කිති කවන
පැණි වරකා
රසට මිහිරිම කවි මවන
මෙම යෝජනාවට ගැහැනිට තටු දෙවන
සැමටම තුති
පුදමි රස පිළිතුරු එවන
ආර්.එම්. තිලකරත්න බණ්ඩා නොහොත් රජරට තිලකේ කවියා
ගැහැනුන් සුරඟනන්
ලෙස සැරි සරණ විට
නොපෙනෙයි වරම
දුන් අප එක මොහොත කට
කවදත් අහිංසක
ගති ඇති පිරිමි හට
කුමකින් කුමක්
වේදැයි කිව මැනවි මට
කීර්ති ආයුපාල කවියා
ඉගිළෙන විටදි
අඟනුන් උඩු ගුවන් තලේ
ඇඳිවත ගිලිහුණොත්
තත්ත්වය කෙලෙස මලේ
උඩ බලමින් බෙල්ල
දිගු කර බලන වෙලේ
මිනිසුන් සිටින
තැන ඇති වෙද රටට පලේ
රංජිත් යසරත්න කවියා
මහ බඹු පදවි
ලද ගරු ලැම්බට් සොයුරා
තටු දුන් ළඳුන්
හට ජව වේගය තවරා
සහ සිතකින් කළද
සියලුම දොස් දුරැරා
අඟනෝ පියාඹති
අප හට වැඩ පවරා
ගැහැනුන් යනෙන
විට අහසේ සැරි සරලා
පිරිමින් උඩ
බලාගෙන සුසුමක් හෙළලා
කොතැනින් නතර
වේදෝ යැයි සැක හිතලා
යහමින් කියයි
බඹු ගේ මව සිහි කරලා
හර්සන් උඩවත්ත කවියා
සුන්දර සුරඟනන්
ලෙස තටු සලා සලා
නිලම්බරේ සැරි
සැරුවත් පියාසලා
සීමා නොමැති
ආසාවන් දෝරෙ ගලා
තටු සිඳ දමා එයි
නැවතත් බඹුට තලා
කෝරලේගොඩ කවියා
අත් තටු එලෙස
මැව්වොත් මහ බඹු ලෙසට
ලස්සන බලන්නට
ඉගිළුණු පසු කුසට
යන්නට ගියොත්
හැරදා දුරු පිට රටට
හැකි වෙද සුරඟනන් දක්නට අප ඇසට
පී.පී. පියතිලක කවියා
මා හැර ගියා
ඇය අහසේ ඉගිල්ලී
ආවේ නැත තවම
සියොළඟ යයි වියලී
වෙන අත්තක
වසා දැයි සිත නොඉවසිලී
නාවොත් මගේ
ළය යනු ඇත දෙකට පැලී
‘කවි සක්විති’ හෙවත් අමරපාල රන්දෙණිය කවියා
අත් තටු මැවූ
පසු හැම ගැහැනියක හට
සත් සිඳු පසු
කරන් ඉගිළෙනු දකින විට
බත් පත පවා නොමැතිව වියැළෙමින් කට
අත් හිස තබයි
පිරිමින් සෝ සුසුම් පිට
කේ.එස්. විජේසේකර කවියා
අත් තටු මැවුන
ළඳුනගෙ අඩුවක් නොවන
සිරි බර ගුණ
සුවඳ හමනා දස අතින
පැහැබර වුවද
මේ අය අතරේ සිටින
අං ඇති අයත්
අතරින් පතර ද පෙනෙන
ලලිතා රාජපක්ෂ කිවිඳිය
තටු ලැබ තුටින්
පියඹන රන් සමනලියන්
සිත් සේ ගුවන
සැරි සරණා සුකුමලියන්
නාහෙන් නොම හඬා අල්ලා ඇගෙ සුරතින්
ඔබටත් හැකිය
ලැබ ගන්නට එහි අභිමන්
රෝහිණී විජේසිංහ කිවිඳිය
අත් තටු මොටද
ඉගිළෙන්නට බැරි වේනම්
ඇඳිවත නැතත්
ඉගිළෙනවා ගැහැනුන් නම්
මත් පැන් වලින් සුර
ලොව යන්නට හැකි නම්
බෙල්ල උලුක් කර
ගන්නේ ඇයි පිරිමින්
ලැම්බට් ප්‍රනාන්දු කවියා
කවි මඩුව අවසන් කළේ මෙසේය.
අත් තටු ලබා දෙන
විට ලොව ගැහැනුන්ට
ඇයි බොරු රුදාවක්
අපගේ පිරිමින්ට
ගැහැනිය වහලියක්
කරගෙන වැඩ ගන්ට
ඉඩ දිය නොහැක
ඕනෑ නිදහස දෙන්ට
සරුංගල් වගේ
ඉගිළෙන විට ගෑනූ
පාවී ගියා මෙනි
අහසේ මල් රේනූ
ඊරිසියාව
පපුවෙන් ඉවතට දානූ
ගැහැනිගෙ නිදහසට
නොකපනු මැන කානූ
අප වෙත යොමු කළේ
ජස්ටින් ගුණවර්ධන