ගින්නෙන් වැනසුණු හොරණ කුළුබඩු කම්හල යළි අරඹන්න රජයෙන් සහාය ඕනෑ

2416

යැපෙන්නෝ 50,000ක් අසරණයි

රටට විනිමය දුන් තැනක්

හොරණ ආයෝජන වෙළෙඳ කලාප භූමියේ පැවැති කුළුබඩු අපනයන කර්මාන්ත ශාලාව ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශවීම නිසා රටට ලැබුණු ඇමෙරිකන් ඩොලර් මිලියන 30ත් 35ත් අතර මුදලක් නොලැබෙන තත්ත්වයක් මතුව ඇතැයි ද එම කර්මාන්ත ශාලාව නැවත කඩිනමින් ආරම්භ කිරීමට සියලු අංශවල සහය කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව එම කර්මාන්ත ශාලාවේ හිමිකරු ගිහාන් ද සිල්වා මහතා පෙරේදා (19දා) ඉල්ලා සිටියේය.

වසර 43කට පෙර ආරම්භ කර පවත්වාගෙන ගිය කර්මාන්ත ශාලාව තුළින් 600ක පමණ සේවක පිරිසක් සහ ගොවීන් 15,000ක පමණ පිරිසක් යැපුණු බව ද

ගිනිගත් කර්මාන්ත ශාලා පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

ගින්නෙන් වැනසුණු හොරණ කුළුබඩු කම්හල යළි අරඹන්න රජයෙන් සහාය ඕනෑ

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. මේ කර්මාන්ත ශාලාව පසුගිය පෙබරවාරි 13 දින ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශවීම නිසා කෝටි 06කට අධික අලාභයක් සිදුවී තිබෙනවා. මෙහි කිසිදු යන්ත්‍ර සූත්‍රයක් නැවත භාවිතයට ගත නොහැකි ලෙස විනාශ වී ඇති බව ඉංජිනේරුවන් ලබාදුන් වාර්තාවේ සඳහන් වෙනවා. අපි ආයතනයේ සේවකයන් සඳහා වැටුප් ගෙවීම සිදුකරනවා. එය අඛණ්ඩව සිදුකිරීමට මේ කර්මාන්ත ශාලාව නැවත කඩිනමින් ඉදිකර පවත්වාගෙන යා යුතුයි. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ රුපියල් බිලියන දෙකහමාරක පමණ මුදලක් වර්ෂයකට සීමාකර පොලී රහිතව ලබාදෙන්න කියලයි. එවැනි මුදලක් ලැබුණහොත් රක්ෂණ වන්දි සමග මාස 08ක් වැනි කාලයකින් මෙම කර්මාන්ත ශාලාවේ ගොඩනැගිලි දෙකම ඉදිකිරීම් සිදුකරන්න පුළුවන්. අපි කුරුඳු, ගම්බිරිස්, සාදික්කා වැනි කුළුබඩු වලට අගය එකතු කර රටවල් රැසකට අපනයනය කරනවා. එම රටවලට විශාල වශයෙන් මේ කුළුබඩු අපනයනය කරන ප්‍රධාන ආයතනය මේකයි.

අපේ ආයතනයට මාතලේ, නුවරඑළිය, මොණරාගල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ගොවීන් 15,000කගේ පමණ අස්වැන්න මිලදී ගන්නවා. කර්මාන්ත ශාලාව ගිනිගෙන විනාශවීම නිසා එම ගොවීන්ටත් ඉදිරියේදී අස්වැන්න අලෙවි කර ගැනීමේ ගැටලු මතුවෙන්න පුළුවන්. එහෙම බැලූවිට මේ කර්මාන්ත ශාලාව මගින් පුද්ගලයන් 50,000කට අධික පිරිසක් යැපීම් සිදුකරන්න ඇති. එච්. ඩී. ද එස්. නමැති මෙම ආයතනය ගිනිගත් අවස්ථාවේ ගින්න නිවා දැමීමට ත්‍රිවිධ හමුදා, පොලිසිය, නගර සභා ඇතුළු සියලු අංශවල සහාය ලැබුණා. නමුත් මේ කර්මාන්ත ශාලාව කුළුබඩු ආශ්‍රිත පොල් නිෂ්පාදනය කරන ආයතනයක් නිසා ගින්න ආයතනය විනාශවීමට පෙර නිවාදැමීමට නොහැකි වුණා.

ආයතනය ගිනිගෙන විනාශවීමෙන් පසු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, මහින්ද ජයසිංහ යන මහත්වරුන් ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් පැමිණ නිරීක්ෂණය කළා. අපි ඉල්ලා සිටින්නේ මේ කර්මාන්ත ශාලාව කඩිනමින් ඉදිකර ගැනීමට සියලු දෙනාගේ සහය කඩිනමින් ලබාදෙන ලෙසයි.

චමින්ද සිල්වා


advertistmentadvertistment