ගේට්ටුවෙන් වැරදුණු ඝාතන තැතේ පාතාලයා රාජාංගණයේ දී දැලේ

28

කටුනායක ආඬිඅම්බලම ප්‍රදේශයේ නිවසකට කඩා වැදී එහි සිටි ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමට ගත් උත්සාහය ව්‍යාර්ථ වීමෙන් පසු තාප්පයෙන් පැන පලා ගිය පාතාල කුලී ඝාතකයා රාජාංගණය ප්‍රදේශයේ සැඟවී සිටිය දී පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය මගින් පෙරේදා (24 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

මීට සති කීපයකට උඩදී සීදුව ප්‍රදේශයේදී ඉඳිකටු ජූඩ් නමැති ව්‍යාපාරිකයා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මිනීමැරුම් ගණනාවකට මෙන්ම තවත් අපරාධ රැසකට මොහු සම්බන්ධ බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

ගම්පහ ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක නිදා සිටි පුද්ගලයකුට වෙඩි තබා බරපතළ තුවාල කිරීම, මීගමුව පොළේ දී තවත් පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීම මොහු විසින් සිදුකරන ලද අපරාධ බව පොලිසිය පවසයි.

ආඬිඅම්බලම ප්‍රදේශයේ නිවසක සිටි පොලියට මුදල් ලබාදෙන ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම සඳහා මෙම අපරාධකරු තවත් පාතාල මිනී මරුවකු සමග පැමිණ සිටියේය.

එහිදී ව්‍යාපාරිකයා සිය නිවසේ විදුලියෙන් ක්‍රියා කරන ගේට්ටුව වසා දැමීමට කටයුතු කළේය. ඒ අවස්ථාවේ මෙම කුලී ඝාතකයා සහ අනෙක් පාතාල සාමාජිකයා ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට උත්සාහ කළත් අවිය ක්‍රියාත්මක වී නොතිබිණ.

එහිදී ව්‍යාපාරිකයා මෙම පාතාල සාමාජිකයන් දෙදෙනා සමග පොරබැදූ අතර පසුව ඔවුහු නිවසේ තාප්පයෙන් පැන පලා යන්නට උත්සාහ කළහ.

ඒ අවස්ථාවේ එක් පාතාල සාමාජිකයකු තාප්පයෙන් වැටී පාදයේ අස්ථියක් බිඳී යෑමෙන් තුවාල ලැබීය. ඒ අවස්ථාවේ ප්‍රදේශවාසීහු එම පාතාල සාමාජිකයාට පහර දී ඔහු අල්ලාගෙන පොලිසියට භාර දීමට කටයුතු කළහ.

එහිදී අනෙක් පාතාල කුලී ඝාතකයා පලා ගිය අතර රාජාංගණයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ එම අපරාධකරුය.

මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේන මහතාගේ මෙහෙය වීමෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment