ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි ටිකට පණ දෙනවා
එකම දරුවකු හෝ පාසලෙන් එළියට වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ – ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක
● දුප්පත් භාවයෙන් එළියට එන්න දරුවන්ට හොඳට උගන්වන්න ඕනෑ
● කන්තලේ සීනි යළි පටන්ගන්නවා
● එක පොහොර ඇටයක්වත් බාන්නේ නැතුව ඩොලර් ලක්ෂ 60ක් ගෙව්වා
● ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටිකට පණ දෙනවා
● බිත්තරයකින් රුපියල් 8ක කොමිස් මුදලක් තිබෙනවා
80 දශකයේ අග භාගයේ ඉන්දියාව නිෂ්පාදනයෙන් දියුණුව තිබූ රටක් නොවෙයි. ඒ රටේ නායකයන්ට දැක්මක් තිබ්බා නිෂ්පාදනයෙන් ආර්ථිකය උඩට ගේන්න. අද මේ කලාපෙට අවශ්‍ය ඖෂධ, බීජ, ආහාර, ත්‍රීවිලර්, බයිසිකල් නිෂ්පාදනය විතරක් නොවෙයි අද හඳට යන්න තරම් දියුණු ආර්ථිකයක් ගොඩනඟා තිබෙනවා. අපේ පාලකයන්ට නිෂ්පාදනය ගැන උනන්දුවක් තිබුණේ නැහැ. ‘බයින් ඇන්ඩ් සෙලින්’ ආර්ථිකයක් තමයි තිබුණේ.
බිත්තරයකින් රුපියල් 8ක කොමිස් මුදලක් තිබෙනවා. සීනි බදු වංචාවෙන් කෝටි 1500යි. පොල්තෙල්වල බදු වංචාව කෝටි 350යි. පොහොර නැවක් ගේනවා. එක පොහොර ඇටයක් බෑවේ නැහැ. ඒ වුණාට ඩොලර් ලක්ෂ 60ක් ගෙව්වා. රුපියල් දශලක්ෂ 1800ක් නිකම් ගෙව්වා. ආර්ථිකය හදන්න ඒගොල්ලන්ට වුවමනාවක් තිබුණේ නැහැ. නිෂ්පාදනය කඩාවැටුණාම රට දුප්පත් වෙනවා. වෙන රටවල්වලින් ගේන්න වෙනකොට රට දුප්පත් වෙනවා.
අපේ ගම්වල දුප්පත්භාවය පැතිරිලා තිබෙනවා. මේ දුප්පත් බව කොයිතරම් ද කියනවා නම්, අතේ, කරේ, කණේ තිබුණු වළලු, මාල, කරාබු බැංකුවට සින්නවෙලා. ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් ගොඩගන්න ආර්ථික වැඩපිළිවෙළක් ඕනෑ. ඒකෙ ප්‍රධාන වැඩක් තමයි අධ්‍යාපනය. දුප්පත් රේඛාවයි, නූගත් රේඛාවයි තිබෙන්නේ එකට. මේ දුප්පත් භාවයෙන් එළියට එන්න දරුවන්ට හොඳට උගන්වන්න ඕනෑ. අපි ප්‍රධාන වගකීම භාර ගන්නේ අපේ රටේ අධ්‍යාපනය. අද දෙමව්පියන්ට දරුවන්ගේ අධ්‍යාපනය බරක්වෙලා. මෙවැනි තත්ත්වයක් ලෝකෙ කොහේවත් නැහැ. අපේ අම්මලා ජීවිත කාලය වැඩිපුර ගෙවන්නේ දරුවන්ට උගන්වන්න. දරුවා හොඳ පාසලකට දාගන්න ඕන වුණහම දෙමව්පියන්ට පදිංචිය මාරු කරන්න සිදුවෙලා තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදී සෑම දරුවෙකුටම කිලෝමීටර් තුනකට මෙහා තිබෙන පාසල් හොඳ පාසලක් බවට පරිවර්තනය කරනවා. විශාල ලෙස ගුරු පුරප්පාඩු තිබෙනවා. ඒ සියල්ල පුරවලා හැම පාසලකටම අවශ්‍ය වන ගුරුවරුන් ලබා දෙනවා. ළමයි 50කට වඩා අඩුවෙන් ඉන්න පාසල් ගැන සලකා බැලීමක් කර පාසල් පද්ධතිය වෙනස් කරනවා. සෑම දරුවෙකුටම නවය, දහය වසරවලට ආසන්නයේදී තේරීමේ විභාගයක් පවත්වනවා. ගුරුවරයා, ළමයා, දෙමව්පියන් සමග සාකච්ඡාවක් කොට ළමයට ඉදිරියට යන්න පාර හදා දෙනවා. සෑම දරුවෙකුටම අධ්‍යාපනයෙන් නිපුණතාවකට යන හෝ වෘත්තීමය නිපුණතාවකින් ඉස්සරහට යන්න මාර්ගය සකසා දෙනවා. එකම දරුවකුට හෝ පාසලෙන් එළියට වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. සෑම පවුලකම උගත් දරුවෙක්, ආර්ථිකය සරු කරන දරුවෙක් ඉන්නවා. දුප්පත් භාවයෙන් ගොඩඑන්න නම් හැමෝම අධ්‍යාපනය ලබන්න ඕනෑ.
මේ ප්‍රදේශයේ ජනතාවගේ වැඩි දෙනෙකුගේ ජීවන ආර්ථික මාර්ගය කෘෂිකර්මාන්තය. මේ ගොවි ජනතාව විශාල ණය බරකින් පෙළෙනවා. ජාතික ජන බලවේගයේ අපි ඉතා හොඳින් සමීක්ෂණයක් කරලා, ගොවි ජනතාව ණය බරින් මුදා ගැනීම සඳහාත්, බැංකුවලින් අරගෙන තිබෙන ණයවලින් යම් ප්‍රමාණයක් කපා හරිනවා. ඒ වගේම නැවත ණය නොවෙන්න සංවර්ධන බැංකුවක් ඇති කරනවා. ඉන්දියාවේ, චීනයේ, වියට්නාමයේ හැම රටකම සංවර්ධන බැංකු තිබෙනවා. ගොවීන්ට 1% – 2% ඉතා අඩු පොලියකට ණය දෙනවා. අපි ක්‍රමානුකූලව ගොවි ජනතාව ණය බරින් නිදහස් කර ගන්නවා. ඒ වගේම අපේ නිෂ්පාදන පිරිවැය අඩු කරන්න ඕනෑ. ඉන්දියාවේ බිත්තරයක් ලංකාවේ බිත්තරයකට වඩා මිල අඩුයි. හේතුව නිෂ්පාදන පිරිවැය අඩුවීම. අපේ අස්වැන්න වැඩි කළොත් නිෂ්පාදන පිරිවැය අඩු කරන්න පුළුවන්. අක්කරයකට අස්වැන්න වැඩි කළොත් වී බුසලකට යන වියදම අඩු වෙනවා. අපේ සැලැස්මක් තිබෙනවා වී අස්වැන්න වැඩිකිරීමට. හොඳ බිත්තර වී ලබා දෙන්න ඕනෑ. අපේ බීජ පර්යේෂණායතන සියල්ලම වසා දමා තිබෙනවා. අපි මේ බීජ පර්යේෂණායතනවලට පණ දෙනවා. කන්තලේ ගොවි කණ්ඩායමක් ඉන්නවා. එයාලගේ වැඩේ බිත්තර වී හදන එක. ඒ ගොවි කණ්ඩායමට බිත්තර වී හදන්න භාර දෙනවා. ආණ්ඩුව බීජ ගොවිපළවල් හදනවා, බීජ හදනවා. ගොවියාට සාධාරණ මිලකට බිත්තර වී කිලෝ එකක් ලබා දෙන්න සැලසුමක් හදනවා.
අද බිත්තර වී කිලෝ එකක් රුපියල් 500කට වැඩියි. බීජවලින් විතරක් මිල අඩු කරන්න බැහැ. වී වගාවට වතුරත් ඕනෑ. ඒ සඳහා අපේ තිබුණු සුළු හා මධ්‍ය පරිමාණ වැව් ප්‍රතිසංස්කරණය කරන්න ඕනෑ. පැරණි වැව් 32,000න් ඉතිරි වෙලා තිබෙන්නේ වැව් 14,000ක් පමණයි. සතියක් වහිනකොට ඒ වැව් පිටාර ගලනවා. සති දෙකක් පායන කොට වැව හිඳෙනවා. රොන් මඩවලින් පිරුණු මේ වැව් සුද්ද කරලා, කිසිදු බාධාවකින් තොරව යල කන්නයත් මහ කන්නයත් වගා කරන්න වතුර දෙනවා. ඒ විතරක් නොවෙයි අතර මැද කන්නයක් ගැනත් හිතන්න ඕනෑ. යළි අපේ රටේ කුඹුරේ කන්න තුනක් අස්වැන්න නෙළන්න පුළුවන් විදිහට කෘෂිකර්මාන්තයට අපි උර දෙනවා. කුඹුරට අවශ්‍ය තෙල්, පොහොර ලබා දෙන්න ඕනෙ. අපි ඒ වැඩේ කර දෙන්නම්. ඊළඟට නෙළන අස්වැන්න රැක ගන්න ඕනෑ. සාධාරණ මිලක් දෙන්න ඕනෑ. ඒ සියල්ලම සඳහා අපි සැලසුම් හදා තිබෙනවා. මේවා කරන්න පුළුවන්. අපේ නායකයන්ට කවදාවත් එය කරන්න වුවමනාවක් තිබුණේ නැහැ. අපි ඒ විදිහට ගොවි ජනතාවගේ ජීවිතය උසස් කරනවා. ඒ විතරක් මදි. තවත් ගම්වල රස්සා ඇති වෙන්න ඕනෑ. කන්තලේ සීනි සමාගම ඒ සඳහා හොඳ තැනක්. යළි ඒක අපි පටන් ගන්නවා.
මම ඉඩම් ඇමති කාලෙ, ඕකෙ ඉඩම් අයිතිය තිබුණේ මට. ෆැක්ටරිය අයිතිවෙලා තිබුණේ කර්මාන්ත ඇමති අනුර බණ්ඩාරනායකට. චීන ආයෝජකයෙක් ආවා. අනුර බණ්ඩාරනායකගෙන් මම ඇහුවා මේ වැඩේ අපි කරමුද කියලා. එයා හොරෙක් නොවෙයි. එයා කිව්වා අනුර ඔයාට කැමති දෙයක් කරන්න කියලා. මම චීන ආයෝජකයාට කිව්වා කළු ගඟේ අත්ත ප්‍රතිසංස්කරණය කරලා වගාවට අවශ්‍ය වතුර ගන්න. ඒ ව්‍යාපෘතිය කරලා, මේ ෆැක්ටරිය පටන් ගන්න කියලා. චීන ආයෝජකයා හා කිව්වා. මම අමාත්‍යාංශය දාලා ආවා. චීන ජාතිකයා චීනෙට ගියා. ඊට පස්සෙ ආව අය පගා ඉල්ලන්න, කොමිස් ඉල්ලන්න පටන් ගත්තා. අපි මේ සීනි සමාගම යළි ආරම්භ කරලා ගොවි ජනතාවගේ ජීවිතයට තවත් ආදායම් මාර්ගයක් ඇති කරනවා.
ඒ වගේම ත්‍රීකුණාමලයේ තිබෙනවා තෙල් ටැංකි 99ක්. එක ටැංකියක මෙටි්‍රක් ටොන් 10,000ක් ගබඩා කරන්න පුළුවන්. ආසන්න වශයෙන් මෙටි්‍රක් ටොන් ලක්ෂ දහයක් ගබඩා කරන්න පුළුවන්. ඕකෙ තෙල් අපට වැඩියි. තෙල් පිරිපහදුව ආරම්භ කරලා, තෙල් පිරිපහදු කරලා, ගබඩා කරලා, ළඟම තිබෙන වරායෙන් මාර්කට් එකට යවන්න පුළුවන්. ඒ වැඩේ කරන්න පුළුවන් ජාත්‍යන්තර සමාගමකුයි, තෙල් සංස්ථාවයි ඒකාබද්ධ වෙලා නැවත මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයට පණ දෙනවා. දැන් ඒක මළකඩ කමින් තිබෙනවා. අපි ඒක ගොඩ ගන්නවා.
පුල්මුඩේ ඛනිජ වැලි නිධිය තිබෙනවා. දශක ගණනාවක සිට කුඩා නිස්සාරණයක් කොට අමු වැලි පටවනවා. ජාතික ජන බලවේගයේ අපි අලුත් රසායනික කර්මාන්ත ශාලාවක් ගෙනවිත් වැඩි වටිනාකම් සහිත ඛනිජ නිෂ්පාදනය කරලා, ලෝකෙට විකුණන සැලැස්ම අපි හදනවා. ඒ ඇතුලේ රස්සා ඇති වෙනවා. කන්තලේ ඉන්න දරුවා රස්සා කරන්න කොළඹ යන්න ඕනෑ නැහැ. ඒක ලොකු ව්‍යසනයක්. අද චීනයේ, ෂැංහයි, ඩැකා, චෙන්නායිවලට නාගරික ජනාවාස ප්‍රශ්නයක් වී තිබෙනවා. ගමේ අය ගමේ ඉන්න ගමන් ආර්ථික තත්වයත්, සමාජ ජීවිතයත් උසස් කරන වැඩපිළිවෙළක් තමයි ජාතික ජන බලවේගයේ ආර්ථික සැලැස්ම වී තිබෙන්නේ. මහ මුහුදේ තිබෙන මාළු සම්පත නෙළා ගන්න අපි වැඩපිළිවෙළ හදනවා. මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම තුළින් රටත් පොහොසත් වෙනවා, ජනතාවත් පොහොසත් වෙනවා.
මේ වැඩේ අද බලය අරගෙන හෙට සිදුවෙන්නේ නැහැ. අපි කවුරුත් අවුරුදු කිහිපයක් දරාගෙන, මහන්සි වෙලා මේක ගොඩගනිමු. එතෙක් ආහාර ගන්න, බෙහෙත් ගන්න, අධ්‍යාපනය ලබන්න, ආබාධිත වී ඉන්න අයට අවම වශයෙන් 10,000 සිට අමාරුම අය සොයා බලා වැඩි මුදලක් සහනාධාර ලෙස ලබා දෙනවා. අපි ණයක් වෙන්න බය, ලැජ්ජා තිබුණු මිනිස්සු. අපි ගෞරවාන්විත විදිහට ගම්වල ජීවත් වුණ මිනිස්සු. පාලකයන් තමා මිනිස්සු නැති බැරි කළේ. හාල් කිලෝ 10ට පෝලිමේ ඉන්න සිද්ධ කළා. රනිල් වික්‍රමසිංහ කිව්වේ ෆ්‍රී වයිෆයි දෙනවා කියලා. ෆොක්ස්වැගන් ගේනවා කිව්වා. බ්‍රේස්ලට් දෙනවා කිව්වා. අන්තිමේට හාල් කිලෝ 10ක් දුන්නා. මේ පාලකයෝ අපේ ආත්මගරුත්වය නැති කළා. අපේ කුඹුරුවල ලියැද්දක් විතර කුරුල්ලන්ටත් කන්න ඇරලා දුන්නා. අපි නෙළන අස්වැන්නේ පළමු කොටසින් දානය පන්සලට පූජාකළ මිනිස්සු. එහෙම අපිට අතපාන්න සිදුවෙලා තිබෙනවා. නැවත මේ ගම්වල ජනතාවගේ ආත්මගරුත්වය, පෞරුෂය, බලය ගෙනත් දෙන ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අපේ යුද්ධය වෙලාවේ විශාල වැඩ කොටසක් කළ සිවිල් ආරක්ෂක බලකායේ ඉන්න අයගේ තෘප්තිමත්භාවය ඇති කරන, ඔවුන්ගේ ශ්‍රමය රටේ ආර්ථිකයට උපයෝගී කර ගත හැකි විදිහටත් අපි සැලැස්ම හදනවා. අපි හැමෝම එකතු වෙලා, පොර බදලා මේ රට දියුණු කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි ආණ්ඩුව හදමු. ඒ වෙනුවෙන් මැදිහත් වෙමු.
කන්තලේ – ඩබ්ලිව්. පී. වික්‍රමසිංහ සහ සේරුවිල – සුගත් විජේකුමාර , ත්‍රිකුණාමලය – – සමන් මල්ලවආරච්චි