චැනල් හතර සරණාගතයාගේ නාටකය

531

මේජර් ජෙනරල් සුරේෂ් සලේ 2016 දෙසැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය – උපදේශකවරයා ලෙස සේවය කළේය. ඔහු 2019 ජනවාරි 3 වන දින ඉන්දියාව බලා පිටත්ව ගොස් දිල්ලිහි ජාතික ආරක්ෂක විද්‍යාලයේ පාඨමාලාව අවසන් කර 2019 නොවැම්බර් 30 දින නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. චැනල් 04 නාලිකා වාර්තාවේ සඳහන් කාල සීමාව තුළ මෙම නිලධාරියා කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිටියේ නැත.

2019 මාර්තු 15 වැනිදා සිය වාහනයට තුවක්කු කිහිපයක් දමාගත් බ්‍රෙන්ටන් හැරිසන් වේගයෙන් රිය පදවාගෙන ගියේ අල්නුර් මුස්ලිම් පල්ලිය වෙතය. ඉවක් බවක් නැතිව වෙඩි ප්‍රහාර එල්ල කළ ඔහු පසුව තවත් ඉස්ලාමික මධ්‍යස්ථානයක් වෙත ගොස් ප්‍රහාර එල්ල කළේය. මෙය ඉතිහාසයේ ලියැවුණේ ක්‍රයිස්චර්ච් ප්‍රහාරය ලෙසයි. එදින මුස්ලිම් ආගමිකයන් 51 දෙනකු මරණයට පත්වූ අතර තවත් 40 දෙනකු තුවාල ලැබීය. බ්‍රෙන්ටන් මේ ප්‍රහාර එල්ල කළේ කිසිවකුගේ අණ පරිදි නොවේ. තමන්ම මෙහෙයවීමෙන් මුස්ලිම් විරෝධී ප්‍රහාරයක් එල්ල කළ ඔහු එදිනම අත්අඩංගුවට පත්විය. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ මුලින්ම ප්‍රකාශ වූයේ මෙය නවසීලන්ත ප්‍රහාරයට පලිගැනීමට කළ එකක් යනුවෙනි.. බ්‍රෙන්ටන් ප්‍රහාර එල්ල කළද නොකළද සහරාන් හෂීම් ඇතුළු පිරිස කොච්චිකඩේ පල්ලිය ඇතුළු ස්ථානවල බෝම්බ පිපිරවීම් අනිවාර්යයෙන්ම සිදුකරනු ලබයි. හෂීම්ගේ කතාව වෙනම එකකි. ඔහුටද මුස්ලිම් අන්තවාදී අරමුණක් පැහැදිලිව තිබිණි. ඒ ගැන කිසිවෙක් දැන් කතා කරන්නේ නැත. අබු බකර් බැග්ඩෑඩිද පාස්කු ප්‍රහාරයෙන් පසුව යළි මතුවී ප්‍රකාශ නිකුත් කළේ හෂීම්ගේ කණ්ඩායම හරහා තමන්ට ලකුණු දමා ගැනීමටය. අබු බකර් නොව සහරාන්ගේ ක්‍රියාකාරකම් ඉන්දීය ඔත්තු සේවා හොඳින් දැන සිටි බවත් රහසක් නොවේ. එය චැනල් හතරේ නාලිකාව කියන්නේ නැත. අත්තෙන්ම් පාස්කු බෝම්බ ප්‍රහාරය ලංකාවේ එල්ල කරන ලද එකම බෝම්බ ප්‍රහාරයද? එය අල්ලාගෙන නටන්නේ දේශපාලන නාටකයකි. දැන් සහරාන් හෂීම් අහිංසකයෙක් වී ඇත්ද ? පාස්කු ප්‍රහාරයේ මහමොළකරු බෞද්ධයකු බව කියන්නට පල්ලියට අවශ්‍යව තිබේද? මෙය බලවත් ඛේදයකි.

පාස්කු ප්‍රහාරය දැන් හෝද හෝදා මඩේ දමන තත්ත්වයකට පත්ව තිබේ. එය මේ ප්‍රහාරයෙන් මියගිය පිරිසටද කරන නිග්‍රහයකි. දැන් යළි ආන්දෝලනය වන්නේ චැනල් 4 නාලිකාවේ වැඩසටහනයි. 2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරු දින ශ්‍රී ලංකාවේ දී පුද්ගලයන් 269 දෙනකුට ජීවිත අහිමිකරමින් දේවස්ථාන 3ක් හා හෝටල් 3ක් ඇතුළු ස්ථාන 6කට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ගවේෂණය කරමින් ඒ පිළිබඳ ආන්දෝලනාත්මක වීඩියෝව බි්‍රතාන්‍යයේ චැනල් 4 විසින්, එරට වේලාවෙන් සැප්තැම්බර් 5 වැනිදා රාත්‍රී 11.05ට එනම් ශ්‍රී ලංකා වේලාවෙන් සැප්තැම්බර් 6 වැනිදා අලුයම 3.35ට පමණ නිකුත් කරනු ලැබීය. මේ නිසා පරලවූ පිරිසක්ද වෙති. චැනල් 4 නාලිකා ගැන මෙරට වැසියන් දැනගත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් යුද්ධයේ අවසන් සමයේදී දෙමළ සිවිල් වැසියන්ට එරෙහිව යුද අපරාධ සිදු කර ඇති බවට සාක්ෂි ඇතැයි ඉදිරිපත් කරමින් නිකුත් කළ ”Killing field˜ නම් වාර්තා චිත්‍රපටය නිසා ය. ඇත්තෙන්ම මෙය ලංකාව යුද අපරාධ උගුලේ හිරකරන්නට දරූ වෑයමකි. මේ සඳහා කොටි ඩයස්පෝරාව හොඳින් මුදල් වියදම් කර ඇති බව පැහැදිලිය. නමුත් පාස්කු ප්‍රහාරය වෙනුවෙන් තවත් වැඩසටහනක් හදන්නට මුදල් දුන්නේ කවරකුද? එහි වැඩියෙන්ම ඇත්තේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැනය. හිටපු කර්තෘවරයාගේ ඝාතනය හා ටි්‍රපොලි බළකාය ගැන මේ වැඩසටහනේ විස්තර කියයි. මේවා කිසිවක් සහරාන්ගේ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරය හා කිසිම සම්බන්ධයක් නැත. ඇමෙරිකාවේ පදිංචිව සිටින ෆෙඩ්රිකා ජෑන්ස් මෙහි උත්තර බඳියි. ඇය ලංකාවෙන් පිටව ගියේ මීට වසර 10කටත් පෙරය. “දේශපාලන බලය ලබාගැනීම සඳහා පුද්ගලයන් 269ක් ඝාතනය කළාද?” යනුවෙන් තනා ඇති මේ නාටකයේ ප්‍රධාන සාක්ෂිකරුවකු ලෙස යොදා ගෙන ඇත්තේ ජීවිත ආරක්ෂාව පතා දැනට රටින් පළා ගොස් සිටින පිල්ලෙයාන්ගේ හිටපු මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ හන්සීර් අසාද් මවුලානාය. මේ සරණාගතයා කියන්නේ “මම ඇත්ත දැනගෙන හිටියා, කවුද අපරාධකාරයෝ කියලා. එය සංවිධානය කළේ කාගේ මිනිස්සුද ඒක සංවිධාන කළේ. කාගේ නියෝගයක් ද කියලා. බල පෙරළියක් කරන්න, පල්ලිවල, හෝටල්වල ඉන්න අහිංසක මිනිස්සු තමයි මේ මරන්නේ” යනුවෙනි. මේවා පිළිගත හැක්කේ කාටද? පාස්කු ප්‍රහාරයෙන් වසර හතරක් යනතුරු මොහු මේවා සඟවා සිටියේ මන්ද? නැවත ලංකාවට පැමිණීමට කිසිම අරමුණක් නැති ඔහුට ඕනෑම බොරුවක් ප්‍රකාශ කළ හැකිය. කවර බොරුවක් කියාහෝ පුරවැසිකම ඉල්ලා ගැනීම මේ පුද්ගලයාගේ අභිලාෂයයි. ඔහු කියන එකම දේ 2018 වසරේ ජනවාරි මාසයේ දී සහරාන්ගේ කණ්ඩායම සහ සුරේෂ් සලේ අතර හමුවක් සංවිධානය කරන ලෙස එවකට බන්ධනාගාරගතව සිටි පිල්ලෙයාන් තමන්ට උපදෙස් දුන් බවයි. පිල්ලෙයාන් මේ චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන අතර මේ කාලයේ ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියේය. 2019 වසරේ ජනවාරි මාසයේ දී පොලිසිය විසින් මෙම අන්තවාදී කණ්ඩායම පොල්වත්තක පවත්වාගෙන ගොස් තිබූ ආරක්ෂිත නිවෙසක් සොයා ගන්නා ලදී. අසාද් මවුලානා චැනල් 4 වෙත පවසන්නේ මේ නිවාස සුරේෂ් සලෙයි සහරාන් ඇතුළු පිරිස හමු වූ ස්ථානය එය බවයි.

2019 හදිසියේම රටින් පලාගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයකු වන නිශාන්ත ද සිල්වා මෙම වැඩසටහනට තොරතුරු කියයි. ඒ ටි්‍රපොලි බළකාය ගැනය. ලසන්ත වික්‍රමතුංගගේ සොයුරු ලාල් වික්‍රමතුංග, මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුනනාදන්, හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයකු වන සරත් කෝංගහගේ සහ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් මෙන්ම නම් හෙළිදරව් නොකරන රජයේ නිලධාරියකු ඇතුළු පිරිසකගේ හා වින්දිතයන් දෙදෙනකුගේ ප්‍රකාශ හා සාක්ෂි පදනම් කර ගනිමින් මෙම වීඩියෝව නිර්මාණය කර තිබේ. මෙය ඇත්තෙන්ම කිසිසේත් පිළිගත නොහැකි වැඩසටහනකි. රාජපක්ෂවරු බලයට පත්කරන්නට සහරාන් ඇතුළු කණ්ඩායම දිවි දුන්නානම් ඔහුගේ ඥාති පිරිස පසුව කුඩා දරුවන්ද සමග බෝම්බ පුපුරවාගෙන සිය දිවි නසාගන්නේ කවර හේතුවකටද? මේ ගැන චැනල් හතර කිසිවක් නොකියයි. එය මාර විහිළුවකි. මොවුන්ට තිබුණේ අන්තවාදී අරමුණක් බව එහෙයින්ම පැහැදිලි වෙයි. එහෙත් පල්ලියට එය නොතේරේ. සහරන්ගේ පෞද්ගලික දුරකථනය ඇමරිකානු ආරක්ෂක අංශ විසින් රැගෙන ගොස් තිබුණේ 2019 අප්‍රේල් මාසයේදීමය. එසේනම් මහමොළකරු ගැන මේ පිරිස හොඳින් දනී. නමුත් ඒ කිසිවක් හෙළි නොවන කලට චැනල් 04 නරි නාටකයක් පෙන්වයි.

චැනල් 4 වීඩියෝව පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැප්තැම්බර් 7 වැනිදා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතිචාර දක්වා තිබිණි.

“චැනල් 4 නාලිකාවේ මෙම නවතම වැඩසටහන 2005 සිට පැවති රාජපක්ෂ පාලනයට මඩ ගැසීම අරමුණු කරගත් රාජපක්ෂ විරෝධී ප්‍රහාරයකි. මීට පෙර එම නාලිකාව විසින් ලංකාව ගැන විකාශනය කරන ලද වැඩසටහන මෙන්ම මෙය ද බොරු ගොන්නකි. මා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළා යැයි කීම අතිශයින් ම ජුගුප්සාජනකය. යම් යම් පුද්ගලයන් දේශපාලනික ස්ථාවරයක සිට මට එරෙහිව චෝදනා එල්ල කළත්, මම රජයේ තනතුරු දැරූ සෑම අවස්ථාවකම රෝමානු කතෝලික ප්‍රජාවට කළ හැකි සෑම සේවයක්ම පෞද්ගලිකව කර ඇත්තෙමි. 2015 දී ආරක්ෂක ලේකම් තනතුරෙන් ඉවත් වීමෙන් පසු, 2019 දී ජනාධිපති ධුරයට පත්වන තුරුම මමත්, මේජර් ජෙනරාල් සලේත් අතර කිසිදු සම්බන්ධයක් නොවීය. 2016 දී මේජර් ජෙනරාල් සලේ හමුදා බුද්ධි අංශයෙන් ඉවත් කිරීමෙන් පසු ඔහු නැවත කිසි දිනෙක එම සංවිධානයේ සේවය නොකළේය. 2019 දෙසැම්බර් මාසයේ සිට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස ඔහු නැවත බුද්ධි ක්ෂේත්‍රයට සම්බන්ධ වූයේ මා ජනාධිපති වූ පසුව පමණි. එබැවින් 2018 පෙබරවාරි මාසයේ දී මේජර් ජෙනරාල් සලේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හමු වූවා යැයි කියන මෙම කතාව පැහැදිලිවම ගොතන ලද්දකි’ යනුවෙන් හිටපු ජනපතිවරයාගේ ප්‍රකාශයේ සඳහන්ව ඇත.

පසුගිය සෙනසුරාදා නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය විසින් චැනල් 04 චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබිණි. එහි මෙසේ සඳහන් වේ. මෙම ප්‍රහාරය මෙහෙයවීම සහ බෝම්බකරුවන්ට සහය වීම යන චෝදනාව වසර 36ක් පුරා රට වෙනුවෙන් සේවයට කැපවූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුට එරෙහිව සිදු කිරීම ආරක්ෂක අමාත්‍යාංශය තරයේ හෙළා දකියි. මේජර් ජෙනරල් සුරේෂ් සලේ 2016 දෙසැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය – උපදේශකවරයා ලෙස සේවය කළේය. ඔහු 2019 ජනවාරි 3 වන දින ඉන්දියාව බලා පිටත්ව ගොස් දිල්ලිහි ජාතික ආරක්ෂක විද්‍යාලයේ පාඨමාලාව අවසන් කර 2019 නොවැම්බර් 30 දින නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. චැනල් 04 නාලිකා වාර්තාවේ සඳහන් කාල සීමාව තුළ මෙම නිලධාරියා කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිටියේ නැත. තවද, ඉහත සඳහන් කාල සීමාව තුළ (2016 දෙසැම්බර් සිට 2019 නොවැම්බර් දක්වා) මෙම නිලධාරියා මෙරට බුද්ධි හා ආරක්ෂක අංශවල සේවය නොකළ අතර, එම ක්ෂේත්‍රවල නිලතල හා වගකීම් දරා නැත. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ කිසිදු ත්‍රස්තවාදියකු රජයේ වැටුප් ලේඛනයේ නොසිටි බවද ආරක්ෂක අමාත්‍යාංශය යළි අවධාරණය කරයි. එබැවින්, මෙම සාහසික චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරන අතර එවැනි ද්වේෂසහගත සහ තහවුරු නොකළ ආඛ්‍යානයක් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් චැනල් 04 නාලිකාව වෙත සිය බලවත් අප්‍රසාදය ප්‍රකාශ කරයි. (උපුටා ගැනීම අවසන්)

‘බේස්මන්ට් ෆිල්ම්ස්’ සමාගම විසින් නිපදවන මෙම වැඩසටහන සැබවින්ම මෙරටට කරන ලද බලවත් නිග්‍රහයකි. indian defence review වෙබ් අඩවියේ සටහන් වන වාර්තාවක සඳහන් වන්නේ චැනල් 4 වැඩසටහන පිළිගත නොහැකි බවයි. ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය

ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමේ රහසිගත මෙහෙයුමක් ලෙස සිදු කරන ලද බවට යෝජනා කරමින් චැනල් 4 විසින් ගොඩනඟන ලද න්‍යායේ කිසිදු මූලාශ්‍රයක් අඩංගු නොවන අතර, එය හෙළිදරව් කරන්නන්ගේ සාක්ෂි පමණි. “අසාද් මවුලානා” නම් සරණාගතයාගෙන් පැටලිලි කතාව මෙහි ප්‍රධාන වන නමුත් එහි කිසිදු මූලාශයක් හෙළි නොකරන බව මේ වාර්තාව කියයි. චැනල් 4 විසින් නිකුත් කරන ලද සැක සහිත වාර්තා චිත්‍රපටය පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන්ට හෝ ඔවුන්ගේ ආදරණීයයන්ට කිසිදු සාධාරණයක් ඉටු නොකරන බවත් එහි අවධාරණය කර තිබේ. එයින්ම මේ නාටකයේ නිරුවත දිගහැරෙයි.

● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment