ඡන්දපළේදී බිම ඇදවැටී හුණුපිටියේ මවක් රෝහලේ

102

සලකුණු කිරීමට නොහැකි වූ ඡන්ද පත්‍රිකාව ලෙජර් සටහනක් යොදා අවලංගු කරයි

වත්තල, හුණුපිටිය කනිෂ්ඨ විදුහලේ ස්ථාපිත කර තිබූ ඡන්ද මධ්‍යස්ථානයේ ඊයේ (7දා) ඡන්දය දැමීමට පැමිණි 72 හැවිරිදි වයෝවෘද්ධ මවක ඡන්දය සලකුණු කිරීමට ඇති ස්ථානය ආසන්නයේදී බිම ඇදවැටීමෙන් රෝහල්ගත කර ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය පවසයි.

ඇය එම ස්ථානයේ සිටි පිරිස විසින් රාගම ශික්ෂණ රෝහලට රැගෙන යෑමට පියවර ගෙන තිබිණි. පවුලේ ඥාතීන් දෙදෙනකු සමග එම මව ඡන්දය දැමීමට පැමිණ ඇත. එම මවගේ ඡන්ද කාඩ්පත නිලධාරීන් විසින් නිරීක්ෂණය කිරීමෙන් පසු ඇයට ඡන්ද පත්‍රිකාව ලබාදී ඇති බවත් ඇය එය ලකුණු කිරීමට යමින් සිටියදී පිටුපසට ඇදවැටී ඇති බවත් පොලිසිය කියයි. එහිදී එම මවගේ හිස බිම වැදී තිබේ. ඇය අධික රුධිර පීඩනය සඳහා ලබාගන්නා ඖෂධ ඊයේ ලබාගෙන නොතිබූ බව හෙළි වූ බව ද පොලිසිය සඳහන් කළේය. මේ වනවිට එම කාන්තාව රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.

එම මවගේ ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීමට ඇයට නොහැකි වීම නිසා එයට කුමක් සිදුවන්නේදැයි අප කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියාසිටියේ, අදාළ ඡන්ද පත්‍රිකාවට ලෙජර් සටහනක් යොදා අවලංගු ඡන්ද පත්‍රිකාවක් බවට පත් කළ බවයි.

මේ පිළිබඳව කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේරත්න මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ නෝමන් පලිහවඩන


advertistmentadvertistment