ප්‍රවීණ ඡායාරූප ශිල්පී පණ්ඩුල බණ්ඩාර

පදක්කම් 3400යි ගිනස් වාර්තාව ඉක්මවයි

දෙල්ගොඩ – උඩුපිල පිහිටි ඔහුගේ නිවසට ගොඩවදින විටම අපට හැඟුණේ හමුදා බලකොටුවකට ගොඩවදින ආකාරයේ හැඟීමකි. ඒ, නිවෙස් හිමිකරු වූ අපගේ කතානායකයාගේ අදහසකට අනුව ගොඩනැඟුණු ඔහුගේ නිවසේ ගෘහනිර්මාණ ශිල්පය එවන් නිරූපණයක් ඇතිකරන නිසාය. එසේම, නිවසට ඇතුළුවී ඔහුගේ කාර්යාල කාමරයට ගොඩවදින අපට හැඟුණේ අප මේ ගොඩවැදුණේ ස්වර්ණාභරණ සාප්පුවකට දැයි හැඟීමකි. දැනුණු හැඟීම සිත තුළ තබාගෙන ඉන්නවාට වඩා අපි ඒ ගැන අපගේ කතානායකවරයාටද කියා සිටියෙමු.

ඡායාරූපකරණයෙන් වාර්තා පිට වාර්තා තැබූ සාඩම්බර ශ්‍රී ලාංකිකයා ඔහුය
ඡායාරූපකරණයෙන් වාර්තා පිට වාර්තා තැබූ සාඩම්බර ශ්‍රී ලාංකිකයා ඔහුය

ඊට සිනහවකින් සංග්‍රහ කළ හෙතෙම අපට කීවේ රනින්, රිදියෙන්, ලෝකඩින් නිර්මිත ජාත්‍යන්තර තලයේ සම්මාන, පදක්කම් 3400 කටත් වඩා තවත් පොඩ්ඩක් වැඩියෙන් තමන්ගේ කාමරයේ බිත්ති වටා තබා ඇති බවයි.

සැබැවින්ම මෙය නම් විශ්මයකි. මෙතරම් පදක්කම්, රිබන්, ගෞරව නාම ප්‍රමාණයක් ජාත්‍යන්තරයෙන් දිනාගත් ඡායාරූප ශිල්පියෙක් තියා වෙනත් විෂයක, වෙනත් ක්ෂේත්‍රයක ජයග්‍රාහකයකු ශ්‍රී ලංකාවේ සිටිනවාදැයි මට ප්‍රහේලිකාවක් ඇති විය. නමුත් ප්‍රශ්නය නම්, මෙතරම් පදක්කම් ලාභියකු තවමත් රටෙන් වසන්වී තමන්ගේ පාඩුවේ සිටීමය. එනමුත් අප ලාංකිකයන් ලෙස දැනගත යුතුව ඇත්තේ ශ්‍රී ලාංකිකයන් වන අප ඔහු තවමත් හරිහැටි හඳුනාගෙන නොමැති නමුත්, ඇමෙරිකාව, ප්‍රංශය, ඉන්දියාව, ඉතාලිය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, හොංකොං, චීනය ඇතුළු ලෝකයේ බොහෝ රටවල පෙළහර පාන ඡායාරූපකරණයේ බැබළෙන තාරකාවක් වන බවයි. එසේම, ලෝකයේ ඡායාරූපකර පදක්කම් ලාභීන් අතර නිල නොවන ගිනස් වාර්තා ලාභියා මේ විශිෂ්ඨ ශ්‍රී ලාංකිකයාම මිස අන් කවරකු හෝ නොවන බවද අප අමතක නොකළ යුතුය.

වැඩි අටුවා ටීකා නැතිවම මේ විශිෂ්ඨයා අප හඳුනාගත යුතු වෙමු. ඔහු ජයසූරිය මුදියන්සේලාගේ පණ්ඩුල වාශිෂ්ක ජයසූරිය බණ්ඩාර නොහොත්, පණ්ඩුල බණ්ඩාර ය. දෙල්ගොඩ – උඩුපිල ඉපිද, රාජ්‍ය සේවයේ නියුතු තම පියා වූ ගාමිණී බණ්ඩාරගේ රාජකාරි දිවිය අනුව මව හිමාලි බණ්ඩාර සහ සොයුරිය ඉරූෂා බණ්ඩාර සමග රටේ බොහෝ තැන්වල පදිංචියට ගිය පණ්ඩුල බණ්ඩාර, මූලික අධ්‍යාපනය ලබන්නේ ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. 1988-89 වසරවල විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ ක්‍රීඩා නායකයා ලෙසද කටයුතු කරන ක්‍රියාකාරී, ක්‍රියාශීලී පණ්ඩුල බණ්ඩාර යුද්ධය ඇවිල යමින් තිබුණු වකවාණුවක 1990 දී ශ්‍රී ලංකා යුද හමුදා සේවයට එක්වන්නේ පාසල් අධ්‍යාපනයට ද කළින්ම සමුදෙමින් සහ දෙමාපියන්ගේද නොකැමැත්ත තිබියදීය. කැඩෙට් නිලධාරියකු ලෙස හමුදා රාජකාරිය ආරම්භ කරන තරුණ පණ්ඩුල බණ්ඩාර, එතැන් පටන් කපිතාන්වරයකු ලෙස කටයුතු කරමින් සිට 1997 දී හමුදා සේවයෙන් ඉවත් වන තුරුම යාපනය, අලිමංකඩ, පුනරීන්, වෙත්තිලයිකර්නි, පුලියන්කුලම, චාවාකච්චේරි, මන්නාරම වැනි කොටි බළකොටු අතර රාජකාරි කරමින් යාල්දේවි, රිවිරැස, ජයසිකුරු, ග්‍රීන් බෙල්ට් වැනි ජයග්‍රාහී හමුදා ක්‍රියාන්විත රැසකට දායක වෙමින් රට-දැය රැකගන්නට තම අනුපමේය දායකත්වය ලබාදුන් වීරෝධාර රණවිරුවෙකි.

ඡායාරූපකරණයෙන් වාර්තා පිට වාර්තා තැබූ සාඩම්බර ශ්‍රී ලාංකිකයා ඔහුය

ඔහු හමුදා සේවයේදී ලබාගත් රණවිරු පදක්කම් ද රැසකි. එනමුත් අද අප ඔහු සොයාගෙන ඔහුගේ නිවසට ගොඩවැදුනේත්, ජුවලරියක් මෙන් අලංකෘත ඔහුගේ පදක්කම් ගෘහය පිළිබඳව අපගේ නෙත සිත අවදි වූයේත් ඔහු වන ජීවී ඡායාරූපකරණය ඇතුළු විලාසිතා, කලා, සංස්කෘතික, ආගමික ඇතුළු නා නා විධ ක්ෂේත්‍රයන්ගෙන් කුසලතා පූර්ණ කළ ඡායාරූප කලා ශිල්පියකු ලෙස සිදුකරන ලද ආගමනය පිළිබඳව කතා කිරීම සඳහාය.

ඡායාරූපකරණයෙන් වාර්තා පිට වාර්තා තැබූ සාඩම්බර ශ්‍රී ලාංකිකයා ඔහුය

“මම හමුදා සේවයෙන් ඉවත් වුණාට පස්සෙ 1997 දී බෙලරූස් රාජ්‍යයට ගියා. ඒ උසස් අධ්‍යාපනය හදාරන්න. අවුරුද්දක් විතර මම එහෙ හිටියා. මේ කාලයේදීම මම විවාහ වෙලා හටියෙ. මගේ බිරිඳ කුමාරි බණ්ඩාර. අපට බෙලරූස්වලදී අපේ දුවයි-පුතයි ලැබුණා. දෙන්නා නිවුන්නු. පුතා අන්ජුන් බණ්ඩාර, දුව ශාන්යා බණ්ඩාර. දැන් නම් මේ දෙන්නා ඕස්ටේ්‍රලියාවේ ඉන්නේ. බිරිඳත් එයාල එක්ක ඉන්නවා. මම බෙලරූස්වලින් ලංකාවට ඇවිත් මගේ උසස් අධ්‍යාපනය නිමා කළා. ඒ අතර මම කම්පැණි දෙකක විධායක නිලධාරියකු ලෙස කාලයක් සේවය කළා. කොහොම හරි 2006 දී මම මගේම කම්පැණි එකක් පටන් ගත්තා Theme Brand Solution (Pvt) Ltd නමින් ඇඩ්වර්ටයිසින් සහ ප්‍රින්ටින්වලට. අද දක්වාම ඒක මම කරනවා. කොහොමහරි ඒ වෙනකන් විතරක් නෙමෙයි, මගේ දරු දෙන්නා සහ බිරිඳ තුන්දෙනා 2016 දී ඔස්ටේ්‍රලියාවට යන තුරුම මම ඡායාරූපකරණයක් ගැන උනන්දුවක් තිබුණේ නැහැ. ඡායාරූපකරණය පටන් ගත්තේ 2017න් පස්සේ. කැමරාවක් අතට ගත්තේ 2017න් පස්සේ. මොකද පවුලේ කට්ටිය වෙන් වෙලා මම තනි වුණු පාළුව මකාගන්න තමයි මම විනෝදාංශයක් විදිහට ඡායාරූපකරණයට අත්-පොත් තැබුවේ. ඒ සඳහා මට ගුරුවරයෙක් වුණේ පණ්ඩුක සිල්වා මහතා. 2017 දී මම ඔහු යටතේ ඡායාරූපකරණය හදාරා ඡායාරූප ශිල්පියෙක් බවට පත් වුණා.”

ඡායාරූපකරණයෙන් වාර්තා පිට වාර්තා තැබූ සාඩම්බර ශ්‍රී ලාංකිකයා ඔහුය

පණ්ඩුල බණ්ඩාර ඒ දීර්ඝ කතාව සහ සැඟවුණු අතීතය අපට කීවේ ඒ අයුරිනි.

ශ්‍රී ලංකාවේ සාර්ථක සමාගමක හිමිකරුවකු සහ එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දරන බැවින් පණ්ඩුලට තම පවුල සමග ඔස්ටේ්‍රලියාවේ ස්ථිර පදිංචියට යන්නට නොහැකි වුණත්, ඔහු ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් හා නිරතුරුව ඔස්ටේ්‍රලියාවට යමින්-එමින් දූදරු-අඹු සැමි සම්බන්ධතාද නිරතුරුව රකින යහපත් පියකු හා සැමියකු වන පණ්ඩුල, පවුලේ වෙන්වීමත් සමග රැකියාවෙන් ලබන විවේකයේදී පළමුව සිදුකර ඇත්තේ අභිධර්මය උගෙනීමය. නමට පමණක් බෞද්ධයකු නොවූ පණ්ඩුල, එතෙකින් නොනැවතී හස්ත රේඛා ශාස්ත්‍රයද, ජ්‍යොතිශයද මැනවින් උගත්තේය. මේ අතර තම ඥාති සහෝදරයකුගෙන් ඔහුට උපදෙසක් ලැබෙන්නේ ඇඩ්වර්ටයිසින් කම්පැණියක් කරන නිසා ඡායාරූපකරණය ඉගෙනීම වඩාත් කාලෝචිත කටයුත්තක් වනු ඇති බවයි. පණ්ඩුල ඡායාරූපකරණයට අත්-පොත් තබන්නේ ඒ අදහසත් සමගය. එතැන් පටන් “සෝනි” කැමරාවක් මිලදී ගන්නා ඔහු, ශ්‍රී ලංකා ඡායාරූප සංගමය (PSSL) සමග එකතුවී පණ්ඩුක සිල්වා මහතාගෙන් ඡායාරූපකරණය උගෙන ගෙන ඇත. ඔහු ඒ බව සිහිපත් කරන්නේ භක්ති පූර්වකවය.

ඡායාරූපකරණයෙන් වාර්තා පිට වාර්තා තැබූ සාඩම්බර ශ්‍රී ලාංකිකයා ඔහුය

“2017 වන විට PSSL විසින් අන්තර්ජාතික ඡායාරූප තරග 62 ක් සංවිධානය කරලා පවත්වා තිබුණා. මටත් ආරාධනය කළා PSSL එම තරගවලට සහභාගි වෙන්න කියලා. ඒ අනුව තමයි මම මුළින්ම තරගයකට ඉදිරිපත් වුණේ. 2017 දී මෙම තරගයකට මම අංශ 4 කින් ඡායාරූප ඉදිරිපත් කළා. මට ඒකෙන් ජයග්‍රහණ දෙකක් ලැබුණා. කළු-සුදු අංශයේ පළමු ස්ථානය. ඒ කියන්නේ රන් පදක්කම. තව මෙරිට් සහතිකයක් ලැබුණා. එම අවස්ථාවෙන් තමයි මට තරගවලට දාන්න උනන්දුවක් ඇති වුණේ. ඉතිං මේ වන විට මම විවිධ රටවල ලෝකයම පිළිගත් ඡායාරූප තරග රැසකට (800 කට වැඩි ප්‍රමානයක්) තරග කරලා රන් පදක්කම් 933 ක් දිනලා තියනවා. රටවල් 76 ක ජයග්‍රහණ ලබලා තියනවා. සම්පූර්ණ පදක්කම් 3400 කට ටිකක් වැඩියෙන් දිනලා තියනවා. ඒ ජයග්‍රාහී පදක්කම්, රිබන් සහ ගෞරව නාම (Distinctions) තමයි මේ බිත්ති පුරෝලා තියෙන්නේ.” යැයි ජුවලරියක්, එහෙමත් නැතිනම් රන් භාණ්ඩ සාප්පුවක් වැනි ඔහුගේ කාමරයේ බිත්ති සැරසෙන රන්, රිදී, ලෝකඩ කුසලාන සමූහය පෙන්වමින් අපට සිනා මුසුව කියයි.

“මේක ලෝක වාර්තාවක්. ඡායාරූපකරණයෙන් පදක්කම් අරගෙන “ගිනස්” වාර්තාවක් තියලා තියෙන්නේ 2005 දී ජපන් ජාතිකයෙක් M/S Minoru Daigaku ඒ පදක්කම් 1302 ක් දිනලා. මම මේ ගැන සර්ච් කරලා බලලා මේ වාර්තාව කඩන්න මම පෞද්ගලිකවත්, ශ්‍රී ලංකාවේ ගිනස් වාර්තා නියෝජිතයා මගිනුත් මේ වන විට ගිනස් එකෙන් ඉල්ලලා තියනවා. නමුත් මේ සඳහා ඉල්ලුම වැඩියි කියලා අදාළ ඉසව්ව තාවකාලිකව “ලොක්” කරලා තියෙන්නේ. කොහොම වුණත් ඒ ලොක් එක ඇරපු ගමන් ගිනස් වාර්තාව ඊළඟට මට පළමුව හිමිවෙන්න ඕන. මොකද මම තමයි දැන් කාලයක ඉඳන් දොර ළඟම ඉන්නේ. ඒ ගෞරවය ලංකාවටයි හිමිවෙන්නේ. ඒකයි මගේ සතුට.” පණ්ඩුල කියන්නේ අභිමානවත් ශ්‍රී ලාංකිකයකු ලෙසය.

සැබැවින්ම අප කල්පනා කරන්නේද කුමන හෝ ඉසව්වකින්, විෂය ක්ෂේත්‍රයකින් පදක්කම් 3400ක් ඉක්මවූ එකම ශ්‍රී ලාංකිකයාද පණ්ඩුල විය හැකි බවයි.

(පණ්ඩුල ඡායාරූපකරණයේ ජාත්‍යන්තර විනිසුරෙක් බවට පත්වෙයි. ඒ කතාව පසුව කියවමු.)

ඡායාරූපකරණයෙන් වාර්තා පිට වාර්තා තැබූ සාඩම්බර ශ්‍රී ලාංකිකයා ඔහුය

පිළිසඳර- ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment