ජනතාවගේ වාහන හීනෙනුත් ආණ්ඩුව බිලියන 280ක් හම්බ කරන්න හදනවා – චම්පික රණවක කියයි

101

ටෙස්ට් මැච් එකක් ගහන්න ආපු ආණ්ඩුවේ දැන් විකට් ගොඩක් ගිහින් ඉවරයි

ආණ්ඩුව ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට පැමිණි බව ආණ්ඩුවේ ඇමතිවරුන් කීවද, පළමුවැනි පන්දුවාර 10 අවසාන වනවිට ආණ්ඩුවේ කඩුලු ගණනාවක්ම දැවී ගොස් අවසාන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14 දා) පෙරවරුවේ වැල්ලවත්ත මයුර කෝවිලේ පැවැති තෛපොංගල් දින විශේෂ ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් පාඨලී චම්පික රණවක මහතා;

ප්‍රශ්නය: කොහොමද මේ ගමන තෛපොංගල් දිනය මේ භක්තිකයන්ට හොඳට සමරන්න ලැබුණා ද?

පිළිතුර: ජනතාව තමයි තීරණය කරන්න ඕනෙ. අපිට පේනවා ඉන්ධන බිල ගත්තත්, විදුලි බිල ගත්තත් සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගත්තත් මේ කිසි එකක අද පාලනයක් නැහැ. ඇත්තටම මම දැක්කා ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියනවා, අපි මේ ටෙස්ට් මැච් එකක් ගහන්නේ කියලා. දැන් පළවෙනි ඕවර දහය ඉවරයි. හැබැයි අපිට පේනවා විකට් ගණනාවක් ම ගිහිල්ලා.

ජනාධිපතිට තමන් කතා කරපු දේවල් ඔප්පු කර ගන්න බැරිව, ක්‍රියා කරගන්න බැරිව, බොහොම අසරණ තත්ත්වයට පත්වෙලා තියෙන බව අපට පේනවා. අගමැතිතුමිය බොහොම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන බව පේනවා. ඒ වගේ ම වෙළඳ ඇමතිතුමා හුඟක් කතා පවත්වපු කෙනෙක් ඡන්දෙට පෙර. දැන් එතුමාට මේ අත්‍යවශ්‍ය ආහාර මිල අඩු කරගන්න බෑ. කැකුළු හාල් ටික, හාල් ටික, පොල් ටික දී ගන්න බැරුව එතුමා ඉන්නවා.

විදුලිබල ඇමැති නැවත වතාවක් රටේ ජනතාව රවටමින් ඉන්නවා. අපි හිතනවා මහජන උපයෝගීතා කොමිසම මේ ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කරලා විදුලි බිල අඩු කරයි කියලා.

ආණ්ඩුව අඩු කරන්න සූදානමක් නෑ ‘අනුර හරිනි‘ තෙල් බද්ද. අනුර හරිනි ලයිට් බද්දත් එහෙමමයි. වාහන පිළිබඳ තිබිච්ච හීනෙන් දැන් හම්බ කර ගන්න යන්නේ. බිලියන 280ක් වාහන ආනයනයෙන් බදු හැටියට අය කරගන්න රේගු දෙපාර්තමේන්තුවට අණ දීලා තියෙනවා. ඒක මේ රටේ මහජනයාගෙන් තමයි ගන්න යන්නේ. ඉතින් ඕක තමයි ඇත්ත.

මැතිවරණයට අර කියපු දේවල් ගත්තාම බෙහෙත් හිඟයි. නැවත වතාවක් බෙහෙත් වංචා සිද්ධ වෙනවා. ඉතින් බොහෝ ඇමැතිවරු මේ වෙනකොට දැවී ගිහිල්ලා තියෙන්නේ. ටෙස්ට් මැච් එක ගහන්න ආවට පළවෙනි ඕවර් දහයෙම.

ප්‍රශ්නය: පළවෙනි ඕවර් දහය අසාර්ථක වුණොත් ඊළඟ ඕවර් ටික ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි ද?

පිළිතුර: මහජනයා තීරණය කරයි. ඉතින් මහජනයා නේ මේක ගෙනාවේ. ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දයක් නෙමෙයි නේ. මහජනයා තීරණය කරයි මේ පිළිබඳ නිසි අවස්ථාව ආවාම. ඉතින් අපි බලං ඉමු.

අනුරාධ හිරිපිටියගේ


advertistmentadvertistment