ජනතාව ආණ්ඩුව ගැන හිතන ආකාරය ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලයෙන් පැහැදිලියි

78

හිටපු පා. ම. එස්. එම්. මරික්කාර් (සජබ)

ජනාධිපතිවරණයෙන් සති පහකට පසු ජනතාව ජාතික ජන බලවේගය පිළිබඳව හිතන ආකාරය පිළිබඳව පෙන්නුම් කරන හොඳම නිදසුන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵලය යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවැසීය. සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේ ඊයේ (28දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ ඒ මහතා මේ බව කීය. ඔහු එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලබා ලබාගත් සියයට 49 ඡන්ද ප්‍රතිශතය සියයට 47 දක්වා පහළ බැස තිබෙනවා. ඒ වගේම ජාතික ජන බලවේගය ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් කොට්ඨාස 17 න් 15 ක් තමයි ජයග්‍රහණය කරලා තිබෙනවා.

ඒ වගේම 2019 ජනාධිපතිවරණය අවසන් වූ පසුවත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වුවා. ඒ කාලවකවානුවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබුණු රැල්ලත් සමග ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පොදුජන පෙරමුණ සියයට පනස් හයක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. ඒ වගේම කොට්ඨාස 17 න් 17 ම ජයග්‍රහණය කරන්නත් පොදු ජන පෙරමුණට හැකියාව ලැබුණා. නමුත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ අවසන් ප්‍රතිඵලයෙන් ජාතික ජන බලවේගයට මන්ත්‍රී දුර 15 ක් සහ විපක්ෂයට මන්ත්‍රීධූර 15 ක් ලැබී තිබෙනවා. ආණ්ඩුව පිළිබඳව ජනතාව හිතන ආකාරය පිළිබඳව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලයෙන් දැක ගන්න හැකියාව තිබෙනවා. ඒ වගේම ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පිහිටුවීම පිළිබඳව මේ වනවිට ජාතික ජන බලවේගයට ගැටලුවක් මතු වී තිබෙනවා. ඒ ඔවුන්ට බහුතර බලයක් නොමැති නිසා. ඒ නිසා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය විපක්ෂයේ අනෙකුත් නියෝජිතයන්ගේ සහාය ලබා ගන්නවාද නැද්ද කියන කාරණය දෙස අපට බලා සිටිනවා.

ඒ වගේම ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය ප්‍රකාශ කළ දේවල් රට තුළ සිදුවෙමින් පවතිනවාද කියන ප්‍රශ්නය මේ වනවිට ජනතාව තුළ මතුවී තිබෙනවා. රටට ආයෝජන ගෙන ඒමට, නිෂ්පාදන ඇති කිරීමට යම් කාලයක් ගතවෙනවා. නමුත් රට වැටී තිබෙන අගාධයෙන් ගොඩ ගැනීමට ඉතා ඉක්මනින් කළ හැකි දේවල් තිබෙනවා. 2015 යහපාලන ආණ්ඩුව පැමිණ දින කිහිපයක් ඇතුළත රාජ්‍ය සේවකයින්ගේ වැටුප වැඩි කිරීමට කටයුතු කළා. ගැබිණි මාතාවන්ට රුපියල් 20,000ක දීමනාවක් ලබාදීමට කටයුතු කළා. ගෑස් මිල, ඉන්ධන මිල, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීමට කටයුතු කළා. මේවා කරන්න සැලසුමක් තිබුන නිසා යහපාලන ආණ්ඩුවට ඒ දේවල් කරන්න හැකියාව තිබුණා.

ඒ වගේම අත්‍යාවශ්‍ය භාණ්ඩවලට පනවා ඇති බදු අඩු කරන බව වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතා මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කළා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සිදුකරන බවත් ඔහු ප්‍රකාශ කළා.


advertistmentadvertistment