ගෝඨාභය 2019 දී ජනාධිපති කළේ කොළඹ අගරදගුරු – හරින්
ජනාධිපති විමර්ශන කොමිසම හෑල්ලු කළ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම
පොහොට්ටු ආණ්ඩුව සහ කතෝලික පල්ලිය අතර ගැටුම පිපිරවූ 2021 ජුලි 13 ලිපිය
පාර්ලිමේන්තුව වගවිය යුතු පාස්කු ඛේදවාචකය
ජනාධිපති විමර්ශන කොමිෂන් සභා ඇතුළු නොයෙකුත් පරීක්ෂණ කමිටු පත් කිරීම නැවත නැවතත් අවධාරණය කරන්නේ යම් රටක අස්ථාවරභාවයයි, යම්කිසි සංවේදී කරුණක් පිළිබඳව වර්ධනය වන අවිශ්වාසයයි. මීට වසර හයකට පෙර එල්ල කළ පාස්කු ප්‍රහාර මාලාව විමර්ශනය කිරීමට පත්කළ කණ්ඩායම් ගොන්නට තවත් හතර දෙනෙකුගේ කණ්ඩායමක් පසුගිය අප්‍රේල් 22 වැනි දින එක්විය. ඊට පැය 24 ක් යෑමට පෙර එම කණ්ඩායමට විශ්‍රාම ගොස් නැවත වසරක කාලයට (2024 ඔක්තෝබර් 10 සිට) සේවයට කැඳවා ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත් කිරීම සිදුවිය.
මෙම කණ්ඩායමේ වගකීම පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව නැවතත් පරීක්ෂා කිරීමයි. විශේෂත්වයක් වන්නේ පාස්කු ප්‍රහාරය අවස්ථාවේදී රහස් පොලිස් අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ අබේසේකර එම ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දී තිබීමයි. එලෙසම 2019 ජනාධිපතිවරණයෙන් පසුව එම නිලධාරියා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂයේ) උදහසට ලක් වූ බව ද සඳහන් කළ යුතුමය. එම පාලන කාලයේදී එම නිලධාරියාව වෙනත් නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම ද සිදුවිය.
ජනාධිපතිවරු හතර දෙනකුගේ ඍජු මැදිහත්වීමෙන් සහ ඔවුන්ගේ ධුර කාලය තුළ 2019 අප්‍රේල් 21 සිදුකළ ප්‍රහාර සම්බන්ධයෙන් පත්කළ පළමුවන කමිටුව මෛත්‍රිපාල සිරිසේන විසින් 2019 අප්‍රේල් 22 වැනි දින නිවේදනය කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ නායකත්වය දුන් එම කමිටුවේ අනෙකුත් සාමාජිකයින් වූයේ විශ්‍රාමික පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් සහ අමාත්‍යාංශ ලේකම්වරයකු වූ පත්මසිරි ජයමාන්නයි. එම කමිටුවේ වාර්තාව 2019 ජුනි 10 වැනි දින ජනාධිපතිවරයා භාර ගත් අතර එය නිෂ්ඵල ව්‍යායාමයක් විය. අවසන් වාර්තාව භාර දීමට පෙර අතුරු වාර්තා දෙකක් ජනාධිපතිවරයා අතට පත්විය. ජනාධිපතිවරයා එම කමිටුව පත්කිරීම හුදු දේශපාලන ව්‍යායාමයක් විය.
යහපාලන ජනාධිපතිවරයාගේ කමිටුව ක්‍රියාත්මක අතරේ එවකට කථානායක කරු ජයසූරිය 2019 මැයි 22 වන දින විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළේ යහපාලන රජයේ ප්‍රධාන හවුල්කරුවා වූ එජාපය ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය අභියෝගයට ලක් කර ඇති අවස්ථාවකය. එම තේරීම් කාරක සභාව එජාප නායකත්වයේ අවශ්‍යතාවක් විය.
නව දෙනකුගෙන් සමන්විත වූ එම කණ්ඩායමේ නායකත්වය එජාපය නියෝජනය කළ එවකට නියෝජ්‍ය කථානායක වූ ආනන්ද කුමාරසිරි දැරීය. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කළ එම මන්ත්‍රීවරුන් අතර පාස්කු ප්‍රහාරය ප්‍රසිද්ධ වේදිකාවකදී සාධාරණීකරණය කළ ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කළ ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් ද විය. සුමන්තිරන් මන්ත්‍රීවරයා එම ආන්දෝලනාත්මක ප්‍රකාශය කළේ පාස්කු ප්‍රහාරයේ උණුසුම යෑමටත් පෙර ‘අනිද්දා’ පුවත්පතේ පළමුවන සංවත්සරය සැමරීමට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වූ උත්සවයකදීය. මෙම ලියුම්කරු එම අවස්ථාවට සහභාගි විය.
එම විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව මැතිසබයට බාර දීම 2019 ඔක්තෝබර් 23 සිදුවිය. සිරිසේන ජනාධිපතිවරයා විධායකය සහ ශ්‍රීලනිප නායකයා ලෙස සමස්ත ක්‍රියාදාමයම ප්‍රතික්ෂේප කළේය. ශ්‍රීලනිපයෙන් කැඩී ගිය මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් ඒකාබද්ධ විපක්ෂය ද විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අභියෝගයට ලක් කළේය. එක්සත් ජනතා නිදහස් පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්වූ කිසිදු මහජන නියෝජිතයකු එම සභාව නියෝජනය නොකළේය. එම සභාව නියෝජනය කළ වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින එකම කැබිනට් අමාත්‍යවරයා වෛද්‍ය නලින්ද ජයතිස්සයි.
ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සහ ජාජබ විධායක කමිටු සාමාජික වෛද්‍ය ජයතිස්ස 2021 පෙබරවාරි 01 වන දින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාවට ඍජුව චෝදනා කළේය. වෛද්‍ය ජයතිස්ස එම චෝදනාව බී.බී.සී සිංහල සේවය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී නැවතත් ප්‍රකාශ කළේය. පසුව එම ලිපිය බී.බීගසී සිංහල සේවය විසින් ඉවත් කළේය.
වර්තමාන සෞඛ්‍ය සහ මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය ජයතිස්ස එදා කළ ප්‍රකාශය නිවැරදි නොවන බව පක්ෂ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළත් එවැනි චෝදනාවක් කිරීමට පක්ෂ ප්‍රබලයා පෙළඹුණේ ඇයිදැයි අද වනතුරු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන රහස් පොලිසිය විමසුව බවට වාර්තා වී නැත. එතුමා කළ එම ප්‍රකාශය තීරණාත්මක වන්නේ ඔහු අදාළ පාර්ලිමේන්තු කාරක සභාව නියෝජනය කළ නිසාය. පාස්කු ප්‍රහාරය එල්ල කළ සහෝදරයන් දෙදෙනකුගේ පියා වූ දෙමටගොඩ මහවිල පාක් හි පදිංචි ව්‍යාපාරික මොහමඩ් යුසුෆ් මොහමඩ් ඉබ්‍රහිම් 2015 මහ මැතිවරණයට ඉදිරිපත් කළ ජාතික ලැයිස්තුවේ සිටිය බව ද අමතක කළ නොහැක. ඉබ්‍රහිම්ගේ එක් ලේලියක් පාස්කු ප්‍රහාරය එල්ල කළ දිනයේදීම එම නිවාසයේදී ස්වයං ඝාතන පිපිරීමක් කර තමන්ගේ පිරිමි දරුවන් දෙදෙනා සහ පොලිස් නිලධාරීන් තිදෙනෙකු මරණයට පත් කළේය. ඒ අවස්ථාවේදී ඇය ගැබිනියකි.
එම විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව මැති සබයට භාර දීමට පෙර දැඩි කෝපයට පත්වී සිටි සිරිසේන ජනාධිපතිවරයා නැවතත් ක්‍රියාත්මක විය. රටේ ඉහළම අධිකරණයේ විනිසුරුවරයකු වූ ජනක් ද සිල්වාගේ නායකත්වයෙන් පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීමට පස්දෙනකුගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් 2019 සැප්තැම්බර් 20 වැනි දින පත් කළේය. ඊට මාස දෙකකට පසුව ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ එම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව එලෙසම ඉදිරියට ගෙන යෑමට කටයුතු කළේය. එම කොමිසමට යම් විනිසුරුවරයකු යෝජනා කිරීමට කතෝලික පල්ලියට නව ජනාධිපතිවරයා අවස්ථාව දුන් නමුත් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත්, සිරිසේන ජනාධිපතිවරයා පත්කළ කණ්ඩායම සම්බන්ධයෙන් විශ්වාසය පළ කළේය.
දින 214 ක් රැස්වූ එම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව 2021 පෙබරවාරි 01 වන දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අදාළ වාර්තාව භාරදෙන විට හිටපු ජනාධිපති සිරිසේන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) නියෝජනය කරමින් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්වී සිටියේය. මෙම ලියුම්කරුට මතක ඇති ආකාරයට වෛද්‍ය ජයතිස්ස පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාවට එරෙහිව ඍජු චෝදනාව එල්ල කළේ 2021 පෙබරවාරි 1 වන දිනමය.
සිරිසේන ජනාධිපතිවරයා පත්කළ කොමිසමේ වාර්තාව ඔහුට එරෙහිව අධිකරණයම ක්‍රියාමාර්ග යෝජනා කර තිබිණි. පොහොට්ටු පක්ෂය දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දුන් බව අමුතුවෙන් කිවයුතු නැත. ශ්‍රීලනිපය ජනාධිපතිවරණයේදී (2019 නොවැම්බර්) මෙන්ම මහ මැතිවරණයේදී ද (2020 අගෝස්තු) පොහොට්ටු පක්ෂයට සහයෝගය දුන් අතර පාස්කු ප්‍රහාරය කිසිසේත්ම එම දේශපාලන දීගයට බලපෑමක් එල්ල කළේ නැත. දෙපාර්ශ්වය අතර ලිඛිත ගිවිසුමක් ද තිබිණි. එම රජයට සිරිසේන ජනාධිපතිවරයා පත්කළ තමන් ද පිළිගත් කොමිසමේ වාර්තාව නොසලකා කටයුතු කිරීමට සිදුවිය. ඇත්ත වශයෙන් කොමිෂන් වාර්තාව අනුව රජය කටයුතු කළේ නැත. කතෝලික පල්ලිය සහ ගෝඨාභය රාජපක්ෂ රජය අතර එම කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් අප්‍රසිද්ධියේ සිදුවූ අදහස් හුවමාරුව පල්ලිය බලාපොරොත්තු වූ තත්ත්වය ඇති කළේ නැත. වර්ධනය වෙමින් පැවති කතෝලික පල්ලියේ අසතුට ගැටුමක් බවට පත්වූයේ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත්ගේ නායකත්වයෙන් 2021 ජුලි 13 වැනි දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනාධිපති කොමිෂන් වාර්තාව වහාම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සහ ඒ පිළිබඳව ඔහුගේ වගකීම අවධාරණය කරමින් ලිවූ ලිපිය ප්‍රසිද්ධ කිරීමත් සමගය. එම ලිපිය දෙපාර්ශ්වයටම ආපසු හැරීමකට අවස්ථාවක් නැති කළේය.
ගැටුම වර්ධනය විය. ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අනුගමනය කළ ක්‍රියා පිළිවෙත හේතුවෙන් කතෝලික පල්ලිය 2019 ජනාධිපතිවරණයේදී පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා වූ එතුමාට පාස්කු ප්‍රහාරයේ චෝදනාව එල්ල කළේය. මිලියන 6.9 ක ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ පලවා හැරිය අරගලය මෙහෙයුමට (2022 මාර්තු 31 සිට 2022 ජුලි 14) ඉදිරිපෙළ නායකත්වය දීමට කටයුතු කළේය.
ජනක් ද සිල්වා වාර්තාව භාර දීමෙන් සති තුනකට පසුව එය අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් ගැනීමට අවශ්‍ය පියවර යෝජනා කිරීමට හය දෙනෙකුගෙන් සමන්විත පොහොට්ටු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු කණ්ඩායමක් පත් කිරීම අතිශය ආන්දෝලනාත්මක තීරණයක් විය. කතෝලික පල්ලිය ජනාධිපතිවරයාට 2021 ජුලි 13 ලිපිය ලිවීමට හේතු වූ ප්‍රධානම කරුණක් වූයේ මෙම හය දෙනකුගේ කණ්ඩායම පත් කිරීමේ තීරණයයි. එම යෝජනාව කවුරු කළත් අවසානයේ එය ජනාධිපතිවරයාගේ තීරණයක් ලෙස සැලකීමට සිදුවේ. කවුරු බලයේ සිටියත් දැන්වත් දේශපාලන නායකත්වය නොයෙකුත් පරීක්ෂණ කණ්ඩායම් පත් කරමින් කරන විකාරය නතර කළ යුතුය.
එම මහජන නියෝජිතයින්ගේ දේශපාලන පරිණතභාවය, පළපුරුද්ද සහ අදාළ විෂයන් සම්බන්ධයෙන් ඇති හසල දැනුම සැලකිල්ලට ගනිමින් මෙම පත්කිරීම් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළේය. නමුත් අදාළ පුද්ගලයින් කවුරුදැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ එම ප්‍රකාශයේ සඳහන් වූයේ නැත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩිමහල් සහෝදරයා වූ චමල් රාජපක්ෂ නායකත්වය දුන් එම කමිටුවේ අනෙකුත් සාමාජිකයින් වූයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, නීතිඥ උදය ගම්මන්පිල, වෛද්‍ය රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන. එම කමිටුවේ ලේකම් ලෙස කටයුතු කළේ ජනාධිපතිවරයාගේ නීති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්තා රෝහණධීරයි.
නීතිඥ හරිගුප්තා රෝහණධීර ජනක් ද සිල්වා වාර්තාව නීතිපති දප්පුල ද ලිවේරා හට භාර දීම 2019 පෙබරවාරි මස 25 වැනි දින සිදු කළේය. ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දුන් වාර්තාව නීතිපතිවරයට නිල වශයෙන් භාර දීමට මාසයක් ගතවීම ද පුදුම සහගතය.
ගෝඨාභය රාජපක්ෂ රජය සහ කතෝලික පල්ලිය අතර ගැටුම 2021 ජුලි මාසයේ පුපුරා යෑමට මාස 11 කට පමණ පෙර සමගි ජන බලවේගය කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් 2019 දී පොහොට්ටු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කිරීමට ප්‍රධාන කාර්යභාරයක් කළ බවට චෝදනා කළේය.
එම පක්ෂය වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු එම චෝදනාව කළේ 2020 ජුනි 20 වැනි දිනය. පොලොන්නරුවේ පැවැත්වූ මහ මැතිවරණ ප්‍රචාරක රැලියකදී එම චෝදනාව කළේය. ගෝඨාභය රාජපක්ෂට 2019 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය 5% කතෝලික ඡන්දය ලබා දීමට අගරදගුරු ක්‍රියාකළ බවට ප්‍රකාශ කළේය. සජබ වහාම එම ප්‍රකාශය හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික අදහසක් බවත් එය කිසිසේත්ම පක්ෂයේ ස්ථාවරය නොවන බවත් අවධාරණය කළේය. අවසානයේදී හරින් ප්‍රනාන්දු සජබ නායක සජිත් ප්‍රේමදාස සමග 2020 ජුනි 27 සමුවී ගැටුම සමථයකට පත් කර ගත්තේය. නමුත් හරින් ප්‍රනාන්දු කළ චෝදනාව සජබ ‘හදවතේ’ ප්‍රශ්නයක් බව පෙන්වා දිය යුතුය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා, ප්‍රති චෝදනා සහ නව චෝදනා අවධාරණය කරන්නේ පාස්කු ප්‍රහාරය දේශපාලන පන්දුවක් බවට පත්වී ඇති බවයි.
විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නොසලකා හැරීමට පාර්ලිමේන්තුවට නොහැකිය. යහපාලන සමයේ පාර්ලිමේන්තුවට හඳුන්වා දුන් ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමය තුළ අමාත්‍යවරයා කළ එම අනතුරු ඇඟවීමට නිසි අවධානය යොමු වූවාද? පළමුවන ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති වූයේ නවක මන්ත්‍රීවරයකු වූ මලිත් ජයතිලකය. එම සභාව සාමාජිකයන් 17 දෙනකුගෙන් සමන්විත විය. පාස්කු ප්‍රහාරය එල්ල වනතුරුම එම කාරක සභාවේ අවධානය රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රකාශයට අවධානය යොමු කළේ නැත. ප්‍රහාරයෙන් පසුව එම සභාව කළ විමර්ශනයේ ප්‍රයෝජනයක් නොමැත.
චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් පත්කළ හය දෙනකුගෙන් සමන්විත මන්ත්‍රී කණ්ඩායමට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර යෝජනා ඉදිරිපත් කිරීමේ වගකීම පැවරිණි. අවසානයේදී වූ දෙයක් නොමැත.
ආරක්ෂක ලේකම් ලෙස හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති ලෙස පූජිත් ජයසුන්දර පත්කිරීම අවධානයට ලක්කරමින් ජාතික ආරක්ෂාව 2018-2019 කාලය තුළ බිඳ වැටීම විමර්ශනය කළ යුතු බව හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ අවධාරණය කළේය. යහපාලන රජයේ නියෝජිතයා ලෙස ව්‍යවස්ථාදායක සභාව තුළ තමන් පූජිත් ජයසුන්දර පොලිස්පති ලෙස පත්කිරීමට එරෙහි වූ බව ප්‍රකාශ කළ හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඔවුන් දෙදෙනාටම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි වැටහීමක් නොතිබුණු බවයි. ජයසුන්දර පත්වීම ලැබුවේ 2016 අප්‍රේල් මාසයේදීය.
හිටපු අමාත්‍යවරයා සඳහන් නොකළත් ජාතික බුද්ධි ප්‍රධානී ලෙස සේවය කළ විශ්‍රාමික මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ ඉවත් කර එම තනතුරට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් පත්කිරීම ද සමස්ත ආරක්ෂක ජාලය බිඳ වැටීමට හේතු විය. දක්ෂ නිලධාරියකු වූ මෙන්ඩිස්ට ඒ දේශපාලන බිම් බෝම්බ පිටියේ තම රාජකාරිය කිරීමට නොහැකි වීම පුදුමයක් නොවේ. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට සියලු දෙනාම යටවිය. ඒ ඔහුට ජනාධිපතිවරයාගේ කන් විවෘතව තිබූ නිසාය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 2019 අප්‍රේල් 04 වැනි දින ඉන්දියාවෙන් ඔත්තුව ලැබුණු නමුත් එය වැළැක්වීමට අසමත්වීම හේතුවෙන් දැඩි දෝෂදර්ශනයට ලක්වූ එම නිලධාරියා අවහිරතාවයකින් තොරව පොලිස් සේවයේ රැඳී සිටි බව ඔබට සමහරවිට අමතක වී තිබීමට පුළුවන. අරගලයෙන් පසුව 2023 ජනවාරි මුල නිලන්ත ජයවර්ධන පොලිසියේ දෙවන ඉහළම තනතුරට පත්වීම ලැබිය. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව 2021 පෙබරවාරි 1 දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට භාර දුන් වාර්තාවේ නම් කර සිටි පුද්ගලයින් අතර ඔහු ද ඉහළින්ම සිටියේය. අවසානයේ අභ්‍යන්තර විනයානුකූල පරීක්ෂණය නිමවනතුරු ජාතික පොලිස් කොමිසම එම නිලධාරියා අනිවාර්ය නිවාඩු යැවුවේ 2014 ජුලි 18 වැනිදාය, ජනාධිපතිවරණයට සති කීපයකට පෙරය.
රටේ ඉහළම අධිකරණය සිරිසේන ජනාධිපතිවරයා, නිලන්ත ජයවර්ධන ඇතුළු ආරක්ෂාව භාරව සිටි කණ්ඩායමට වින්දිතයින්ට වන්දි ගෙවීමට නියෝග කිරීමෙන් වසරකටත් වැඩි කාලයක් පොලිසියේ දෙවැනියා වශයෙන් කටයුතු කළේය. ජනාධිපතිවරයා ගෙවූ මුළු මුදල රුපියල් මිලියන 100 කි. ලක්ෂවලින් නම් ලක්ෂ 1,000 කි. නිලන්ත ජයවර්ධන සහ පූජිත ජයසුන්දර අධිකරණයේ නියෝග මත රුපියල් මිලියන 75 බැගින් (ලක්ෂ 750) බැගින් ගෙවීය. නමුත් ජාජබ රජය නැවත විමර්ශන ආරම්භ කිරීම තුළ සමස්ත පාස්කු ප්‍රහාරය සහ පසු ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බැලීමට සිදුවෙනු ඇත.
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ