ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය ජනපති සහභාගිත්වයෙන්

28

යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් පවත්වන ‘ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය’ අද (19දා) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අබියස දී සිදුකෙරේ. මෙම උත්සවය පස්වරු 4.00 සිට 6.00 දක්වා පැවැත්වෙනු ඇත.

දශක තුනකට අධික කාලයක් මෙරට පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජයට පත් කර ඊයේට වසර 16ක් සපිරේ. 2009 වසරේ මැයි 19 දා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමග මේ කුරිරු යුද්ධය අවසන් වූ බව ලෝකයටම පසක් විය. ලොව විශාලතම මානුෂීය මෙහෙයුම මගින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ. ග්‍රහණයෙන් මුදා ගැනීමේ ගෞරවය ද මෙරට ආරක්ෂක අංශ වෙත හිමි වේ.

2006 ජූලි 26 දා මාවිල්ආරු මුදා ගැනීමේ මානුෂික මෙහෙයුම ආරම්භ කිරීමත් සමග හතරවන ඊළාම් යුද්ධය ආරම්භ විය. එය අවසන් වූයේ ප්‍රභාකරන්ගේ මරණයෙනි.

ද්‍රවිඩ ජනතාවගේ විමුක්තිය සඳහා යැයි පිහිටුවා ගත් ත්‍රස්තවාදී කොටි සංවිධානය එම ගමන ආරම්භ කළේ 1975 ජූලි 27 වැනිදා යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයිඅප්පා මහතා පන්නාලෙයි කෝවිල් බිමේදී ඝාතනය කරමින්ය. 1976 වඩුක්කෝඩ සමුළුවේ තීරණයක් අනුව බිහිවූ ද්‍රවිඩ එක්සත් විමුක්ති සංවිධානයේ සන්නද්ධ ඒකකය ලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානය ගොඩනඟන ලදී. 1979 දී උමා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ. නායකත්වයෙන් ඉවත් වූ අතර ඉන්පසු වේළුපිල්ලේ ප්‍රභාකරන් එල්.ටී.ටී.ඊ.යේ නායකත්වයට පත්විය. එල්.ටී.ටී.ඊ. සංවිධානය යුද හමුදාව වෙත දැවැන්ත ප්‍රහාරයක් පළමු වරට එල්ල කළේ 1983 ජූලි මස 23 වැනිදාය. යාපනය විශ්වවිද්‍යාල මාවතේ කින්නවේලි හංදියේදී එල්ල වූ ප්‍රහාරයකින් යුද හමුදා සොල්දාදුවෝ 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

1998 ජනවාරි 25 වැනිදා දළදා මාලිගාවට එල්ල වූ කොටි ප්‍රහාරයෙන් පසු කොටි සංවිධානය තහනම් විය. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම පිණිස දශක තුනකට අධික කාලයක් තිස්සේ ඇදුණු යුද්ධය නිසා රණවිරු ජීවිත විසිහත් දහසක් අහිමි වූ අතර තවත් දහස් ගණනකට අත්පා අහිමි විය. එසේම රාජ්‍ය නායකයන් සේම සාමාන්‍ය ජනයා ද සිය ගණනින් කොටි ත්‍රස්තවාදයට බිළිවූහ. මේ සියල්ල 2009 මැයි මාසයෙන් පසු නතර විය.

‘ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය’ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. මෙම ජාතික රණවිරු අනුස්මරණ උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට නියමිතය.
චතුර පමුණුව


advertistmentadvertistment