ණයට කකා පස්සට ම යමු

149

පස්වාන් දහසකට බුදුවෙන්න රජතුමනි, අප මේ කාටවත් දොස් කියනවා නෙවෙයි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබෙන ණයගැතිභාවය පිළිබඳ වාර්තාවක් ගැන විග්‍රහ කිරීමට අද අපට සිදුව තිබේ. මේ වාර්තාවේ එන පරිදි මේ රටේ ජනතාවගෙන් 54%ක් ණය වී සිටිති. එයින් 31%ක් දේපළ උකස් කර ඇත. 21.9%ක් බැංකු ණයට හිර වී ඇත. තවත් 9.7%ක් එක එකාගෙන් සල්ලි පොලියට ගෙන නන්නත්තාර වී ඇත. ලංකාවේ ජනතාවගෙන් 60.5%ක ආදායම බැස තිබේ. පසුගිය කාලය තුළ රටේ ආදායම වැඩි වී ඇත්තේ ජනගහනයෙන් 3.4%ක පමණි.

ශ්‍රී ලංකාව නිදහසින් පසු අත්විඳින දරුණුම ආර්ථික අර්බුදය මේ දිනවල පවතී. මේ අර්බුදය ආවේ ජේවීපී ආණ්ඩුවත් යූඑන්පී ආණ්ඩුවත් එන්නට බොහෝ පෙර ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය පාලනයෙහි යෙදී සිටින සමයේදීය. එය ගෝඨාභයගේ වරදක් ද නොවේ. 2019 වෙද්දී දෙසැම්බර් වනවිට ලංකාවට කොරෝනා ස්වීප් එක ඇදිණ. මේ නිසා එක දිගටම රටේ නිෂ්පාදනය කඩාකප්පල්වීමට පටන් ගත්තේය. සමහර රටවල් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් දැඩි පියවර ගත්ත ද ඉන්දියාව සහ චීනය වැනි දේශීය නිෂ්පාදක මූලික කරගත් රටවල් මාසයක් දෙකක් බලා සිට කොරෝනාව වෙනුවෙන් වසා තිබූ සිය රටවල් විවෘත කළහ. ලංකාව කුඩා රටකි. එහි ආර්ථිකය පොඩිය. එහෙත් ඉන්දියාව යනු සුවිශාල රාජ්‍යයකි. එහි ආර්ථිකය විශාලය. ලංකාව මෙන් බොහෝ කලක් රට වසා දමා මිනිසුන්ට පාරට බැසීම තහනම් කිරීමට ඉන්දියාවට බැරිය. මේ නිසා කොරෝනාවෙන් මාස දෙකක් යනවිට ඉන්දියාව විදේශිකයන්ට හැර ස්වදේශිකයන්ට රට විවෘත කළේය. මෙහි තේරුම විදේශවලින් එන අයට ඉන්දියාවට ඇතුළු වීමට ඉඩ නොදෙන ලදී. එහෙත් ස්වදේශික ජනතාවට නිෂ්පාදන කටයුතුවල යෙදීමට අවස්ථාව ලැබිණ. මෙහිදී ඉන්දියාවේ ප්‍රතිපත්තිය මෙසේ විය. එනම් ලෙඩ වෙන එකා ලෙඩ වුණාවේ, බෙහෙත් ගන්න එකා බෙහෙත් ගත්තාවේ, මැරෙන එකා මැරුණාවේ යන්න මේ ප්‍රතිපත්තිය වේ. ඉන්දියාව තුළ විශාල වශයෙන් කොරෝනා රෝගීන් සිටි අතර ඔවුන්ගෙන් විශාල පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් සුවපත් වූහ. ස්වභාව ධර්මය විසින් මිනිසුන් බිලි ගනු ලබන්නේ එක්තරා ප්‍රමාණයකටය. එහි ප්‍රමාණය ඉක්මවා කිසිලෙසකින්වත් මිනිසුන් බිලි ගැනීම ස්වභාවධර්මය නොකරයි. ඒ අනුව ඉන්දියාව තුළ කොරෝනාවෙන් මියයෑමට නියමිතව තිබූ ගණන මියගියහ. ඉන්දියාව ඒ වෙලාවෙ ගත්තේ විශාල අවදානමකි. ලෝකයේ විශාලතම මුඩුක්කුවලින් එකක් ඉන්දියාවේ තිබේ. එය හඳුන්වන්නේ ‘ධාරාවි’ මුඩුක්කුව ලෙසය. මේ මුඩුක්කුව තුළ අවම වශයෙන් පන් ලක්ෂයක ජනගහනයක් වෙසෙති. මේ මුඩුක්කුව කොතරම් අපිරිසිදු ද යත් එහි සිටින මිනිසුන්ට ලෙඩ නොවැලඳීමේ ප්‍රවණතාවක් තිබේ. යම් හෙයකින් ධාරාවි මුඩුක්කුවට කොරෝනාව බෝ වුණේ නම් ඒ මුඩුක්කුව සම්පූර්ණයෙන් ම ෆ්ලැට් වෙනවා ඇත. ඉන්දියාව ස්වභාවධර්මයට ඉඩ දී කොරෝනා රෝගයත් සමග ගනුදෙනු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් එහි ආර්ථිකය කඩා වැටුණේ නැත. එහෙත් අපි ස්වභාවධර්මයෙන් ගේම ඉල්ලා රට වසාගෙන සිට විශාල ඇබැද්දියකට පත්වුණෙමු. කොරෝනා රෝගීන් විදේශවල ද පැතිරීම හේතුවෙන් කම්හල් වසා දමන ලද අතර ඒවායේ වැඩ කළ අපේ රටේ වැසියන්ට ලංකාවට විදේශ මුදල් එවීමට බැරි විය. මේ විදේශ ප්‍රේෂණ බිඳ වැටීම ලොකු අවුලකි. එසේම රටේ නිෂ්පාදනය නැතිවීම නිසා අවුල ඩබල් විය. අන්තිමේදී අපට විදේශ විනිමය නැති තත්ත්වයක් මතු විය. මේ නිසා පිටරටින් භාණ්ඩ ගෙන්වා ගැනීමට නොහැකිව මේ රටේ සුපර්මාකට් ඇතුළු සියලු කඩවල්වල රාක්ක හිස් විය. (අපි පිටරටින් ගෙන්වන බඩුවලින් ජීවත්වන රටක් වෙමු. එය අපට මහත් ආඩම්බරයකි.) අන්තිමේදී අපට ගෑස් ගන්නට සල්ලි නැතිවිය. තෙල් ගන්නට ද සල්ලි නැතිවිය. ලයිට් කපන්නට ද සිදුවිය. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව පෙරළිණ.

එතැනින් පසු රට භාර ගන්නේ රනිල් වික්‍රමසිංහය. ඔහුට ලැබුණේ ආර්ථික කොටයකි. මේ ආර්ථික කොටයෙන් කළ හැකි මඟුලක් නොවූ අතර අයිඑම්එෆ් සංවිධානය සමග කතා කර ඩොලර් බිලියන 03ක ණයක් ගෙන රට නඩත්තු කිරීමට ආණ්ඩුවට සිදුවිය. ණයට කෑම ඉතා භයානක වැඩකි. මන්ද ණය යනු ආපසු ගෙවිය යුත්තකි. පිටරටින් ණයට සල්ලි ගත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කෑම බීමත්, ගෑසුත්, ඉන්ධනත් ලබා දී රටේ ජනතාව ෂේප් කරගත්තේය. කොරෝනා කාලයේදී මේ රටේ ජනතාව කෑවේම ණයට ය. ක්‍රෙඩිට් කාඩ් ඇති අය එම කාඩ්වලින් පුළුවන් තරම් ණයට බඩු ගත්තේය. රත්තරන් බඩු තිබූ අය ඒවා උකස් තැබූහ. බැංකු ඕඩී ගැනීමට පුළුවන්කම තිබූ අය ඒවා අරගෙන පවුල් නඩත්තු කළහ. නිකන් සිටි ජනයා අරක්කු බොමින් ද පාටි දමමින් ද ණයට ගත් මුදල් වියදම් කළහ. අපේ රටේ ජනතාවගෙන් 54%ක් මේ වනවිට ණය වී සිටීම පෙර කී ක්‍රියාවලියේ දිගුවකි. මේ තත්ත්වය නැති කිරීමට නම් අනිවාර්යයෙන්ම කළයුතු දෙයක් වෙයි. ඒ වූ කලී මේ රටේ නිෂ්පාදනය වැඩි කිරීමය. එහෙත් සියලුම දෙනා බයිලා කියනවා මිස නිෂ්පාදනය වැඩි කිරීමට කිසිදු උත්සාහයක් නොගනිති. ලංකාවේ ආහාර සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වූ ද ඉතාම අඩු මිලට ගත හැකි වූ ද ලුණු ඇටය පවා අද මේ රටේ නැත. කෙනකුට දිනකට ලුණු ග්‍රෑම් 7ක් ප්‍රමාණවත් බව ආණ්ඩුව පසුගිය දිනක කියනු අපි අසා සිටියෙමු. ඒ අනුව කෙනකුට මාසයකට ලුණු ග්‍රෑම් 210ක් අවශ්‍ය ය. එය දෙකෝටි විසි ලක්ෂයෙන් වැඩි කළ විට ලංකාවට අවශ්‍ය ලුණු ප්‍රමාණය දැනගත හැකි වෙයි. ඒ ගැන කතු වැකියක් අපි හෙට ලියමු.


advertistmentadvertistment