තෘෂ්ණාව ජීවිතයෙන් බිම තබන්න

55

පිංවත පින්බර වෙසක් සතිය උදාවෙලා. කුටියේ ජනෙල් කවුළුවෙන් ආකාසය දිහා බලත්දි, වෙසක් සඳවතිය තකහනියේ සූදානම් වෙනවා, උතුම් තෙමඟුල සිදු වූ වෙසක් පුරපසළොස්වක දවසේ ප්‍රභාෂ්වරව කැළුම් දිදී, නව යොවුන් වියේ ආශ්වාදයෙන් ආකාසයේ පායන්න. පිංවත සියලු සංස්කාරයෝ අනිත්‍ය වුවත්, වෙසක් සඳවතිය තාමත් අතීතයේ වගේමයි. ඇය තාමත් වෙනස් වෙලා නැහැ. ඇය අතීතයේ වගේ ම ප්‍රභාෂ්වරව පායලා උතුම් තෙමඟුලේ පණිවිඩය ලෝකයාට ලබාදේවි. පිංවත සතර මහා ධාතුවක් වූ සඳවතිය තවමත් නොවෙනස් වුවත්, උතුම් සද්ධර්මයේ අර්ථයන් ඉදිරියේ මනුෂ්‍ය අපි මොනතරම් නම් වෙනස් වෙලා ද? පිංවත මරණයත් උතුම් මංගල්‍යයක් බවට පත්කොටගත හැකි දහමක් උරුම අපි, මරණය තවමත් අවමංගල්‍යයක් බවට ම පත්කොට ගන්නවා. වෙසක් සඳවතිය නව යෞවනයෙන් ආකාසයේ පායන්නේ, අඳුරට ආලෝකයක් දෙන්න පමණක් නොවේ. අඳුරත්, ආලෝකයත් යන දෙකම අනිත්‍ය වූ ධම්මානුපස්සනාවක් ම බව පිංවත් ඔබට කියලා දෙන්න. සත්ත්ව ප්‍රජාවගේ අධි අකුසල් නිසා ම, ඉර සහ සඳත් ලෝකයෙන් අතුරුදන් වෙලා යන දවසක් එනවා. එදාට සත්ත්ව ප්‍රජාවගේ ආලෝකය බවට පත්වෙන්නේ තිත්ත ම තිත්ත අඳුරයි. පිංවත වෙසක් සතියේ රූපයේ ආශ්වාදයෙන් ලෝකයාට කවි, ගී පද මතුකොටදෙන නවයොවුන් වෙසක් සඳවතිය දෙස බලාගෙන, හදවතේ සිතුවම්වෙන ආශ්වාදයේ සිතුවිලි චිත්තානුපස්සනාවට භාර දී, නවයොවුන් ඇය කෙලෙස්වලට නොව ධම්මානුපස්සනාවටම අහරක් කොටගන්න ඔබ දක්‍ෂ වෙන්න.

පිංවත තෘෂ්ණාව කතා කරද්දි, වචනවල කාමච්ඡන්දයන් තවරලයි කතා කරන්නේ. පිංවත් ඔබේ පණ නසන්න එන මනුෂ්‍යයා, ඔබට පණ දෙන්න වගේ කතා කරන්න පුළුවන්. පිංවත විචාර, විතක්ක තුළින් මුඛයෙන් පිටවෙන වචන කියන්නේ අනිත්‍ය වූ වචී සංස්කාරයෝ පමණක්මයි. පිංවත වචී සංස්කාරයෝ කියන්නේ මාර ධර්මයක්. අනුනගෙන් පිටවෙන වචන ඉදිරියේ සති සම්බොජ්ඣංගය ඇතිකොට ගන්න. වචී සංස්කාරයෝ නමැති මාරයාට පුළුවන් නිරය දිව්‍ය ලෝකයක් කරලා පෙන්වන්න. වචී සංස්කාරයෝ නමැති මාරයාට පුළුවන් අන්ත වංකභාවය, අවංකභාවයේ ප්‍රතිමූර්තියක් හැටියට පෙන්වන්න. පිංවත බොරුකීම, පිසුණ වචන, පරුෂ වචන, සම්ඵප්පලාප වචී සංස්කාරයෝ ප්‍රසූත කරන අකුසලයේ දරුවෝ. පිංවත අකුසලයේ දරුවන්ට අත්පොළසන් දෙන, විසිල් ගහන අපේ නොමේරූ ලෞකික ප්‍රඥාව, මිථ්‍යාදෘෂ්ටියට ප්‍රණීත, රසවත් ආහාරයන්මයි සකස්කොට දෙන්නේ. පිංවත පසුගිය සතියේ තවත් ලෝක කම්කරු දිනයක් අතීතයට එකතු වුණා නේද? ගෙවීගිය කම්කරු දිනයේ දී අපේ රටේ දේශපාලනය තුළින් මොනතරම් නම්, වචී සංස්කාරයෝ ප්‍රසූත කරන අකුසලයේ දරුවෝ, අපේ ම අවිද්‍යා ඥාති පරපුර තව තවත් පෝෂණය කරන්නට ඇති ද? පිංවත කම්කරු දිනය දවසේ එකම සම්මා වාචාවක් හෝ ඔබට ඇසුනා ද? පිංවත කම්කරු දිනයේ අපේ දේශපාලන ඇත්තෝ මිච්ඡා වාචාවන්ගෙන් පරිසරය පුරවත්දි, සමස්ත ජාතියට අයිති වුණේ විසිහතර පැයේ දහඩිය දමන උෂ්ණාධික පරිසරයක් පමණක්මයි. පිංවත දේශපාලන ලෝකයෙන් සමාජගතවෙන අධි මිච්චා වාචාවන්ට පරිසරයත් කිපීමෙන් ම පිළිතුරු දෙනවා. පිංවත අකුසලය ඉදිරියේ අපි මංමුළා වෙලා තෘෂ්ණාවට තව තවත් මලින් පාවඩ අතුරත්දි, එළුවාගේ මොකක්දෝ වැටෙනකම් අවිද්‍යාවේ කණ්ණාඩියෙන් බලාසිටින ජාතියක් බවට අපි පත්වෙලා.

තෘෂ්ණාව ජීවිතයෙන් බිම තබන්න

පිංවත සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය මායාකරුවෙක්, මැජික්කරුවෙක්. පංච උපාදානස්කන්ධ ලෝකයේ පංච ධර්මයන් තුළ ම බලය පතුරුවන මායාකාරී විඤ්ඤාණය ඉදිරියේ සිනහවෙන්, කතාවෙන්, හැසිරීමෙන් සමාජය විනිශ්චය කරන්න අපිට බැහැ. පිංවත අපිට ලෝකය ප්‍රතික්ෂේප කරන්නත් බැහැ. අපිත් ලෝකයේ ම කොටසක්. අපි ගැටෙන සිතින් ලෝකය ප්‍රතික්ෂේප කළොත්, අපි ලෞකික ප්‍රඥාව ම ප්‍රතික්ෂේප කළා වෙනවා. පිංවත දුකට එක ම හේතුව තෘෂ්ණාව යැයි අපි තේරුම් නොගත්තොත්, අපේ ජීවිත පැටලුණ නූල් බෝලයක් යැයි ධර්මයේ සඳහන් වෙනවා. පිංවත ඔබේ ජීවිතය නමැති නූල් බෝලයත් පැටලිලා නේද? පිංවත ඔබේ පැටලුන නූල් බෝලයේ අවිද්‍යාවේ නූල් කොණ ඔබට පෙනෙනවා ද? පිංවත නුවණින් ඔබ දෙස බලන්න, විඤ්ඤාණය නමැති මැජික්කරුවා, අවිද්‍යාවේ නූල් කොණ, සැපයට එකම හේතුව තෘෂ්ණාවයි කියන මායාවෙන් සඟවලයි තිබෙන්නේ. පිංවත යුද්ධය අයිති අවිද්‍යාවට නිසා, අවිද්‍යාව සමග යුද්ධ කරන්න බැහැ. පිංවත පරාජයත් අයිති අවිද්‍යාවට නිසා පරාජය භාර ගන්නත් බැහැ. පිංවත ලෝකයේ අන්ත දෙකින් බැහැර වී ලෝකයේ හරි මැදට එන්න. ලෝකයේ හරි මැද ධර්මයේ උපේක්‍ෂාවෙන් ලෝකය දකින උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙය සටහන් තබන මොහොතේ භික්ෂුව ලෝකයේ හරි මැද සිටිනවා. පිංවත් ඔබ ලෝකයේ හරි මැද සිටියොත්, ඔබ ලෝකයේ හරි මැද සිටිනවාය කියන උපේක්‍ෂා සහගත සිතුවිල්ලත් ධම්මානුපස්සනාවේ, චිත්තානුපස්සනාවේ මකන කැබැල්ලෙන් ස්වයංක්‍රීයව මැකී යනවා. එවිට ඉතිරිය වෙන්නේ නිරෝධය වූ පටිච්චසමුප්පාද ධර්මයෝ පමණක්මයි කියන ධම්මානුපස්සනාවමයි. පිංවත තෘෂ්ණාව ජීවිතයෙන් බිම තබන්න. එවිට ජීවිතය හරිම නිදහස්. පිංවත අපේ අධි තෘෂ්ණාවෙන් සමස්ත ජාතියම කර්ම රෝගියෙක් බවට පත්කරන්න හොඳ නැහැ. පිංවත සැපයට එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය කුණු කූඩයට දමා, බුදු දහමේ පරම අයිතිය කියමින් අපි මේ යන බංකොළොත් ගමනට වර්තමානයේ නීතිගරුක, විනයගරුක ලෝකයා ම අපිට හිනා වෙනවා. අසීමිත ප්‍රේත ධර්මයන් ඉදිරියේ ලැජ්ජාව, බිය නමැති දේව ධර්මයෝ තෘෂ්ණාවේ බරට ම තැලී පොඩි වී යනවා. පිංවත වරද වරදක් හැටියට දැක්කා කියලා, වරද ගැන කතා කළා කියලා, වරද සමාජයට හෙළිදරව් කළාය කියලා සමාජය වරදින් මුදවන්න බැහැ. අපි හැමදාමත් කළේ ඔය ටිකමයි. කරුණාකර වැරදි නිවැරදිකොට ගන්න. පිංවත රට අයිති දේශපාලන පක්‍ෂවලට නොවේ. රට අයිති පිංවත් ජනතාවටයි.

පිංවත දේශපාලනයේ පටන් රාජ්‍ය සේවය දක්වා ම පිරිහීමේ දිශාවට ගමන් කරන්නේ හේතුවක් නිසාමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දේශපාලනයට වේවා, ආයතනයකට වේවා නායකයෙක්, පාලකයෙක් තෝරා ගනිත්දි, හුඟාක් සිහිනුවණින් එම තෝරා ගැනීම සිදුකරන්නය කියලා. වර්තමානයේ අපි නායකයන් තෝරගන්න පුරුදු වෙලා සිටින්නේ හිතවත්කම්වලට, ඥාතීත්වයට, ලාභසත්කාරවලට, කපටිකම්වලට. පිංවත වැරදි තෝරාගැනීම් හේතුවෙන් අපි හැමදාමත් රැවටීමට ලක්වෙනවා. පිංවත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබලා නායකයෙක් තෝරා ගනිත්දි අංක එක, එම නායකායාගේ ශිල්වත්භාවය හොඳින් පරීක්‍ෂා කරන්නය කියලා. ඔහු ආජීව අට්ඨමක ශීලය ආරක්‍ෂාකොට ගන්නා කෙනෙක් ද කියලා හොඳින් සොයලා බලන්න. ඔබ තෝරා ගන්නා නායකයා බොරු කියන කෙනෙක් ද, කටට එන පළියට පිසුණ වචන, සම්ඵප්පලාපයන් කියන කෙනෙක් ද? මිච්ඡා වචනවලින් ජනතාව අන්දවන කෙනෙක් ද? ඔබ තෝරා ගැනීමට බලාපොරොත්තුවන නායකයා මිච්ඡා ආජීවයේ යෙදෙන කෙනෙක් ද? අනුන්ව මිච්ඡා ආජීවයේ යෙදීමට අනුබල දෙන කෙනෙක් ද? ඔබ තෝරා ගන්නා නායකයාගේ ශිල්වත්භාවය නැවත නැවත සොයා බලන්න ඕනේ. මොක ද දන්නවා ද පිංවත් නායකයන්ට ප්‍රකට සහ අප්‍රකට කියලා ජීවිත දෙකක් තිබෙනවා. සමාජය ඉදිරියේ සුදු චරිත රඟපෑවත්, අප්‍රකට ජීවිතය කළුම කළු අඳුරක් වගේමයි. පිංවත කරුණාකර නායකයෙක් තෝරා ගැනීමට පෙර ඔහුගේ ප්‍රකට සහ අප්‍රකට ජීවිතවල ශීලයේ ශක්තිය නැවත නැවතත් සොයා බලන්න. සැබවින් ම ඔහු දුශ්ශීල නම්, ඔහු නායකත්වයට සුදුසු නැහැ.

පිංවත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නායකයෙක් තෝරා ගැනීමේ දී දෙවනුව එම නායකයාගේ නුවණ හොඳින් පරීක්‍ෂාකොට බලන්නය කියලා. පිංවත දැනුම වගේම, නුවණැතිභාවය නායකයකුගේ නායකත්වයට ආභරණයක් ම වෙනවා. නායකයකුට කර්මය කර්මඵල විශ්වාසය තිබෙන්නට ඕනේ. නායකයෙකුට පටිච්චසමුප්පන්න නැවත උපතක් තිබෙනවාය කියන විශ්වාසය, දානයේ ශීලයේ ආනිශංස පිළිබඳව විශ්වාසය තිබෙන්නට ඕනේ. පිංවත් නායකයෙක් දක්‍ෂ වෙන්න ඕනේ තම සහෝදර ජනතාවට, අකුසලයේ දොරටු වසාදමා, කුසලයේ දොරටු විවෘතකොට දෙන්න. නායකයෙක් දැනගත යුතුයි, දුකේ ප්‍රවර්ධනයට එකම හේතුව තෘෂ්ණාවේ මාරාවේශය යැයි කියලා. පිංවත දැනුමක් නැති, නුවණැතිභාවයක් නැති නායකයන්ට රටක්, සමාජයක්, ආයතනයක් දිනවා දෙන්න බැහැ. පිංවත කරුණාකර ඔබ අනාගතයේ බලාපොරොත්තුවන නායකයාගේ නුවණ නැවත නැවත පරීක්‍ෂාකොට බලන්න, ඔහු හේතුඵල ධර්මයන්ට අදාළව ලෝකය දකින කෙනෙක් ද කියලා. ලෝකයාගෙන් ණයට ගන්න මුදල්, නිෂ්පාදනයට නොයොදවා, ජනතාවට මුදලින් සහ ආහාරවලින් තෑගිබෝග දෙන්න බලාපොරොත්තුවෙන නායකයන්ට නම් දැනුම තිබුණත්, නුවණ ගෑවිලාවත් නැහැ. බලය ලැබුව මොහොතේ පටන් තම පාක්‍ෂිකයන්ගෙන් රාජ්‍ය ආයතන පුරවන පිංවත් නායකයන්ට නම්, දැනුම තිබුණත් නුවණැතිභාවය ගෑවිලාවත් නැහැ. පිංවත ඔබ ඉලක්ක කරන නායකයාට නුවණැතිභාවය නැතිනම් ඔහු නායකත්වයට සුදුස්සෙක් නොවේ.

පිංවත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබ තෝරා ගන්නා නායකයාට අභියෝගයන්ට මුහුණදීමේ ශක්තිය තිබෙනවා ද කියලා හොඳින් පරීක්‍ෂාකොට බලන්නය කියලා. පිංවත අභියෝගයන්ට මනුෂ්‍යත්වයෙන් මුහුණදීමේ ශක්තිය තිබෙන්නේ, මනුෂ්‍ය හිංසනයන් නොකරන, සොරකම් නොකරන, බොරු නොකියන නායකයන්ට පමණක්මයි. පිංවත අභියෝගයන්ට මුහුණදීමේ ශක්තිය ශිල්වත්භාවයේ ශක්තියයි. ශිල්වත්භාවයේ ශක්තිය නැති නායකයෝ අභියෝග ජයගන්නේ වහල්භාවයෙන්, පාවාදීමෙන්, විකිණීමෙන්, මර්දනයෙන්, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරවලින්. පිංවත නායකයෙක් තෝරා ගැනීමේ දී එම නායකයා අතීතයේ අභියෝගයන්ට මුහුණදුන් ආකාරය හොඳින් සොයා බලන්න. ජාත්‍යන්තරයෙන් එන අභියෝගයන් ඉදිරියේ ඔහු වහල්භාවයට පත්වෙන නායකයෙක් ද? ආර්ථික
අභියෝගයන් ඉදිරියේ එම නායකයා ජාතික නිෂ්පාදනය අමතකකොට ජනතාවට ණයට කන්න පුහුණු කරන නායකයෙක් ද? පාරිසරික අභියෝගයන් ඉදිරියේ ඔහු අතීතයේ තව තවත් පරිසරය විනාශ කළ නායකයෙක් ද? සදාචාරය කෙලෙසෙන අභියෝගයන් ඉදිරියේ, ඔහු අතීතයේ සමාජය තව තවත් කාමච්ඡන්දයන්ට විවෘත කළ නායකයෙක් ද? පිංවත ඔබ නායකත්වයට තෝරා ගන්නා නායකයා තුළ අභියෝගයන්ට මුහුණදීමේ ශක්තිය නැවත නැවත පරීක්‍ෂාකොට බලන්න. අභියෝගයන් ඉදිරියේ නිවටවෙන, අභියෝගයන් ඉදිරියේ මගහැරයන, අභියෝගයන් බොරුවෙන් මකා දමන නායකයෝ, නායකත්වයට අනතුරක්මයි වෙන්නේ.

පිංවත මේ උදාවෙලා තිබෙන්නේ සප්ත බොජ්ඣංගයන් උපදවාගත යුතු වෙසක් සතියයි. පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් ඇසුවා, වෙසක් සතියේ වෙසක් පහන් කූඩු තරග පැවැත්වීම සුදුසු ද කියලා. පිංවත තරගයක් යම් තැනක ද එතැන ජය සහ පරාජය තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පරාජිතයා දුකට පත්වෙනවා, ජයග්‍රාහකයා සතුරන් ඇතිකොට ගන්නවාය කියලා. මෙය සටහන් තබන භික්ෂුවත් අතීතයේ වරක් ගමේ පන්සලේ වෙසක් පහන් කූඩු තරගයක් පැවැත්වූවා. තරග විනිශ්චයට ගිහි මම සම්බන්ධ වුණේ නැහැ. නමුත් විනිශ්චයෙන් පසුව කිහිප දෙනෙක් මාත් සමග තාවකාලිකව ගැටෙන සිත් ඇතිකොට ගත්තා. ඉන් පස්සේ මම කවදාකවත් වෙසක් සතියේ තරග තියන්න ගියේ නැහැ. පිංවත වෙසක් සතියේත් අපි තරගකාරීත්වයට යොමු වෙන්නේ, අපේ ජීවිත තුළ සැඟවී තිබෙන තෘෂ්ණාව නිසාමයි. පිංවත් ඔබ කළයුත්තේ උතුම් පූජනීය වෙසක් සතියේ ජනතාව තරගකාරීත්වයට යොමුකිරීම නොව, පිංවත් ජනතාවට තම නිවස ඉදිරිපිට වෙසක් පහන් කූඩුවක් එල්ලන්න කියලා ජනතාව දිරිමත් කිරීමයි. වෙසක් පහන් කූඩුවක් තැනීමට අවශ්‍ය උණ බට, සව්කොළ අවශ්‍ය පිංවතුන්ලාට ඒවා නොමිලයේ ලබාදීමයි. මේ උතුම් වෙසක් සතියේ පහන් කූඩුවක් තැනීමට ආසා කරන, ඒත් මුදල් අගහිඟකම් තිබෙන මොනතරම් නම් දරුවෝ සමාජයේ සිටිනවා ද? එම දරුවන්ට ශක්තියක් වීමයි ඔබ කළයුත්තේ. වසරේ තුන්සිය හැටපස් දවසේ වගේ ම උතුම් වෙසක් දවසේත් අහිංසක ජනතාව ජය හෝ පරාජයට තරගකාරීව යොමුකිරීම ගැන සමාජය දෙවරක් සිතා බැලිය යුතුව තිබෙනවා. අවිද්‍යාවේ ජවයෙන් ප්‍රවේගකාරීවෙන තෘෂ්ණාව තිබෙන තාක්කල් තරගකාරීත්වය හේතුඵල ධර්මයක් ම වෙනවා.

ගෞරවනීය පිංවත, මීට වසරකට පෙරාතුව අපවත් වී වදාළ අප උපාධ්‍යායයන් වහන්සේ වන ශ්‍රී අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිගෞරවනීය දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක මහනාහිමියන්ට මේ උතුම් ධර්ම දානමය පින්, පරලොව ජීවිතයේ වර්ණය, සැපය, බලය, ප්‍රඥාව පිණිසම හේතුවේවා යැයි මෙත් සිතින් අපි පිං අනුමෝදන් කරමු.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment