ශ්‍රී ලංකා – ඉන්දියා – දකුණු අප්‍රිකා කාන්තා තුන්කොන් එක්දින තරගාවලිය
ශ්‍රී ලංකා ඉන්දියා සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ හයවැනි තරගය ලෙස ඊයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්විණි.
දකුණු අප්‍රිකාව ලබාදුන් දැවැන්ත ලකුණු සංඛ්‍යාව හඹා යෑමට නොහැකි වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 76කින් පරාජය වැළඳ ගන්නට ඊයේ තරගයේදී සිදුවිය. එම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට වැදගත් වූයේ ඉරිදා පැවැත්වෙන අවසන් මහ තරගයට හොඳ මානසිකත්වයක් තබා ගැනීමයි.
කෙසේ වෙතත් ශ්‍රීලංකාවේ අවසන් පන්දු වාර 10 තුළදී දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගයේ වාසිය ඔවුන් සතුකර ගත්තේ දැවැන්ත ලකුණු 315ක් ලබා ගනිමිනි.
ඊයේ තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළදී කඩුලු 09ක් දැවී ලකුණු 315ක් ලබා ගත්තේය. දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගයේ කඩුලු 5ක් දැවී ඉතා අසරණ තත්ත්වයට පත්ව තිබූ අතර ඒ වන විටත් ඔවුන්ගේ කඩුලු 05ක් දැවී ගොස් ලකුණු 85ක් ලබා තිබිණි. ඉන්පසු ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට සිදුවූයේ මුහුණට මුහුණ බලා සිටීම පමණි. එහිදී දකුණු අප්‍රිකානු නියමුවරිය වූ ඇනරි ඩර්කිසන් ලකුණු 104ක් රැස් කළ අතර ක්ලෝයි ට්‍රයෝන්ද ලකුණු 74ක් රැස් කළේ ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමිනි. නඩින් ද නොදැවී ලකුණු 32ක් රැස් කළහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ දෙව්මි විහංගා කඩුලු 5ක් දවා ගත්තාය.
ලකුණු 316ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරියන් දෙදෙනා යම්කිසි ස්ථාවරත්වයකින් තරගයට අවශ්‍ය දළ වේගය පවත්වාගෙන යමින් පිතිකරණයේ යෙදුණු අතර ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු දැවී ගිය ද ජයග්‍රහණයේ බලාපොරොත්තු තබා ගනිමින් ක්‍රීඩා කරන විලාසයන් පෙන්නුම් කළහ. චමරි අතපත්තු අර්ධ ශතකයක් ලබාගත් අතර ඇය ලබාගත් ලකුණු 52ට හතරේ පහරවල් 3ක් සහ 6 පහරවල් 3ක් ඇතුළත් විය. අනුෂ්කා සංජීවනී ලකුණු 43ක් ලබා ගත්තාය.
තරගයේ පස්වැනි කඩුල්ල ලකුණු 171ක් යෑමෙන් පසු ශ්‍රී ලංකා ජයග්‍රහණ බලාපොරොත්තු ඈතට ඇදී යන සේයාවක් පෙන්නුම් කළ අතර ක්ලොයි ට්‍රයොන් ශ්‍රී ලංකාවේ කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමත් සමග දකුණු අප්‍රිකාවේ ජයග්‍රහණය තහවුරු විය. ඒ අනුව ශ්‍රී ලංකාවට පන්දුවාර 42.1 තුළදී ලබාගත හැකි වූයේ ලකුණු 239ක් පමණි.
සංස්කරණය – සුසිල් ජයකොඩි