ඒ ඉල්ලීම් සහ මේ ඉල්ලීම්

1025

ඉන්ධන අර්බුදය නැට්ටටම නැග තිබේ. ඒ නිසා රටේ බොහෝ කටයුතු මේ වනවිටත් අඩපණ වෙමින් පවතී. ඇතැම් කටයුතු දැනටමත් අඩාලවී ද ඇත. ඉන්ධන අර්බුදය නිසා ඍජුව අඩාල වන ක්ෂේත‍්‍ර දෙකක් ඇත. ඒ ප‍්‍රවාහනය සහ විදුලි බල උත්පාදන ක‍්‍රියාවලියයි. මේ වන විට ජල විදුලි නිෂ්පාදනයට තිත තබා ඇති අතර (වතුර නැති නිසා) ඉන්ධන භාවිත විදුලි නිෂ්පාදනයට ද (ජෙනරේටර් විදුලිය) හෙනහුරා කඩා පාත්වී ඇත. ඒ නිසා දැනටමත් නියත විදුලිය කප්පාදුව තීන්දු වී ඇත. දිනකට පැය 3-5 දක්වා කොටස් වශයෙන් එහෙත්, රටේම විදුලි කප්පාදුවක් සිදුවේ.

ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය ඊයේ (01) වන විටත් දැඩි අර්බුදයකට ලක්ව තිබිණි. බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඞීසල් හා පෙට‍්‍රල් නැත. ඇතැම් ඉන්ධන හල් සම්පූර්ණයෙන්ම වසා දමා ඇත. තිබෙන ඒවායේ ද කිලෝමීටර් ගණන් දිගු වාහන පෝලිම්ය. එසේම නගරයෙන් එපිට භූමිතෙල් ඇති ඉන්ධනහල්වලට භූමිතෙල් පැමිණීම නැවත දැනුම්දෙනතුරු සිදු නොකෙරෙන බව ඉන්ධනහල් හිමියෝ කියති. කුප්පි ලාම්පුවකින් හෝ එළිය බලන්නට ජනයාට තිබුණු අයිතිය හා අවස්ථාව ද මේ නිසා ගිලිහී යන්නේය. දෙනකොට පන්න පන්නා දෙනවා කියන්නේ මේවාටය. පෞද්ගලික බස් හිමියන්ගේ සංවිධාන පවසන්නේ මේ වන විට බස් ප‍්‍රවාහනය සියයට 50 කින් පහත වැටී ඇති බවයි. ලංගම බස් රථ සේවාවද පවත්වාගෙන යෑමේ අභියෝගයකට ලක්ව ඇති බව නොරහසකි. දුම්රිය ගමන් වාර ප‍්‍රමාණය අඩු කර, දුම්රිය රැසක් අවලංගු කර ඇත. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු සියයට 50 කින් පමණද නුවරඑළියට එළවළු එක්රැස්වීම සියයට 60 කින්ද අඩාල වී ඇති බව කියන්නේ එළවළු රැගත් ලොරි රථ මෙහි නොපැමිණීමත්, එළවළු පිට පළාත්වලට ගෙනයන්නට ලොරි රථ නොපැමිණීමත් නිසාය. එහි ප‍්‍රතිපලය තව තවත් එළවළු මිල ඉහළ යෑමය. එසේම ධීවර යාත‍්‍රා සඳහා ඉන්ධන නොමැති වීමෙන් ධීවර කර්මාන්තය ද විශාල පසුබෑමකට ලක්ව ඇත. මේ නිසා ජනයා අගාධයෙන් අගාධයට වැටීම වැළැක්විය නොහැකි වනු ඇත.

මේ අප අත්දකින්නේ ඉතිහාසයේ කවරදාවත් අත්නොදුටු තරමේ ආර්ථික ඛේදවාචකයකි. අපේ කාලයේදී මෙසේ රට කඩාවැටීම අප අපේක්ෂා කළ දෙයක් නොවන නමුත් අපගේ ඇස් පනාපිටම අද ඒ දෙය සිදුව තිබේ. නිදහසින් පසු වසර 73 ක අකාර්යක්ෂම පක්ෂ දේශපාලන පාලනය මීට හේතු බව දැන් ඉතින් තව තවත් පුන පුනා කීමෙන් පලක් නැත. මන්ද ඒවා අසන්නට කෙනෙක් අද රටේ නැති නිසාය. රට කරන දේශපාලකයන්ට රට වැටී ඇති මේ තත්ත්වය ගැන තවදුරටත් ලජ්ජාවක් නැති නම් හෙණ ඉල්ලනවා හැරෙන්නට තවත් ඔවුන් වෙනුවෙන් කියන්නට දෙයක් අපට ඉතිරිව නැත.

සැබැවින්ම ඩොලර් සංචිත නැතිකම මේ රටේ ජනතාවගේ ප‍්‍රශ්නයක් නොවේ. එය අ¥රදර්ශී පාලකයන්ගේ වරදක්මය. ඩොලර් හිඟයට හේතුව කොවිඩ් වසංගතය, රුසියාව හා යුකේ‍්‍රනය අතර යුද්ධය වැනි කතා දැන් ඉතින් රටට වැදගත්ම නැත. අවශ්‍යවන්නේ වැටී ඇති වළෙන් රට ගොඩගන්නේ කෙළෙසද යන්න රටට කීමය. ඒ සඳහා පක්ෂයද, විපක්ෂයද, විකල්පයද වැදගත් නොවන බැවින් සියලූ දේශපාලකයින්ගේ බයිලා, කතන්දර තවදුරටත් රටට අවශ්‍ය නොවේ. එක්ව රට ගොඩ දැමීමේ කටයුත්තට දැන් ඉතින් කොන්දේසි විරහිත සහාය සැමදෙනාම ලබාදිය යුතුය. ඒ රට ඉල්ලන දෙයයි. අද රුසියාවේ වෙන්නේත්, යුකේ‍්‍රනයේ වෙන්නේත් රට ඉල්ලන දෙයයි. අපේ නායකයින්ට, දේශපාලකයින්ට ඒ දැක්ම නැතිකම ජනතාවගේ අභාග්‍යයයි.

කෙසේ හෝ ඉන්ධන අර්බුදයට හේතුව ඉන්ධන මිලදී ගන්නට ඩොලර් (මුදල්) නැතිකම බව කවුරුත් දන්නා කාරණයයි. ඒ නිසා තව බොහෝ කලක් බොහෝ දුක් පීඩාවන් විඳින්නට ජනතාවට සිදුවනු ඇති බව අපට පැහැදිලිය. එය අපට පමණක් නොව අපගේ දරු පැටවුන්ටද විඳින්නට සිදුවීම අපට දුක් දෙන කාරණයකි. මන්ද හිටපු ගමන් ඩොලර් පැටව් ගසන්නේ නැති නිසාත් ඩොලර් පැටවු ගසන්නට තව බොහෝ දේවල් කරන්නට ඇති නිසාත් ය.

ඒ අතර ඉන්ධන අර්බුදයට විසඳුමක් ඉතා ඉක්මනින් අවශ්‍යය. තෙල් ඇමැති ගම්මන්පිල කියන්නේ තෙල් පුරවාගත් නැව් ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති නමුත් ප‍්‍රශ්නය වී ඇත්තේ ඒවා මිලදී ගන්නට අපට සල්ලි නැති බවය. ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය විසඳන්නට හා තෙල් සංස්ථාවට සිදුව ඇති රුපියල් කෝටි 7000 කට වැඩි පාඩුව පියවාගන්නට මේ අතර ඇමැතිවරයා විසඳුම් 4 ක් යෝජනා කරයි. එකක් තෙල් මත පටවා ඇති බදු ඉවත් කිරීමය. පෙට‍්‍රල් (ඔක්ටේන් 95) ලීටරයක් මත රුපියල් 63.82 ක්, ඔටෝ ඞීසල් ලීටරයක් මත රුපියල් 16.93 ක්, සුපර් ඞීසල් ලීටරයක් මත රුපියල් 38.70 ක් ආදී ලෙස රජය මගින් ජනතාවට තෙල් බදු බර පටවා ඇත. එය ඉවත්කිරීම, ඉන්ධන මිල වැඩිකිරීම, රජය මගින් ඉන්ධන සහනාධාරයක් ලබාදීම හෝ තවදුරටත් බැංකු මගින් තෙල් අඩු මිලට ලබාදීම සඳහා ණය ලබාදීම එම යෝජනා වේ. මේවා කොයි තරම් ප‍්‍රායෝගික ද යන්න මත ඉන්ධන අර්බුදය දෝලනය වේ. සහ කොතරම් කාලයක් අර්බුදය පවතින්නේද යන්න මීට ලැබෙන විසඳුම් අනුව පැහැදිලි වේ.

මේ අතර මහ බැංකුව කියන්නේ රටේ ඩොලර් සංචිත ඉහළ නංවාලන්නට තමන් ඉදිරිපත් කළ කරුණු 7 කින් සමන්විත ඉල්ලීම් සඳහා මුදල් අමාත්‍යාංශය ඉඩ නොදුන් බවයි. ඒ ඉල්ලීම් සහ මේ ඉල්ලීම් සඳහා අවධානයක් තිබුණේ නම් රටේ ඩොලර් අර්බුදයක් මෙන්ම ඉන්ධන අර්බුදයක්ද ඇති නොවන බවයි. එසේ නම්… ඊට වගකිවයුත්තෝ කවරහුද…?

advertistmentadvertistment
advertistmentadvertistment