ඇමරිකානු පොලිසියෙන් මැරූ ලංකාවේ රාජන් මුණසිංහ

1408

ශ්‍රී ලංකාවේ රාජන් මුණසිංහ නමැති 33 හැවිරිදි තරුණයා මීට සති තුනකට පමණ පෙර ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේදී පොලිසිය විසින් වෙඩි තබා මරා දමන ලදි. මෙය සිදුවන්නේ නොවැම්බර් 15 වැනිදාය. එහෙත් පුදුමයකට මෙන් ඊයේ පෙරේදා වන තුරුත් මේ කතාව එළියට ආවේ නැත. රාජන් මුණසිංහ ව්‍යාපාරිකයෙකි. ආපන ශාලා සඳහා ව්‍යාපාරික උපදේශන සේවා සැපයීම ඔහුගේ ව්‍යාපාරය විය. නොවැම්බර් 15 දා ඔහු ගෙදර එන්නේ අලුයම් කාලයේදීය. එවිට ඔහුගේ නිවස තුළ එක් පුද්ගලයකු හෝ වැඩි පිරිසක් සිටින බව ඔහුට වැටහිණ. මෙසේ සිටින අය සොරුන් බව ඔහු විශ්වාස කළේය. වහාම සිය මවගේ ගෙදරට ගිය රාජන් සහෝදරයා සතු රයිෆල් තුවක්කුව රැගෙන සිය නිවස ඉස්සරහට ගොස් නිවස දෙසට වෙඩි කිහිපයක් තැබීය. රාජන් තුවක්කුවක් රැගෙන ගේ දෙසට වෙඩි තබනු දුටු අල්ලපු ගෙදර මිනිහා බියටත් කලබලයටත් පත්විය. ටෙක්සාස් පොලිසියේ හදිසි ඇමතුම් අංශයට call එකක් ගත් ඔහු මේ සිද්ධිය පැමිණිලි කළේය. ක්ෂණයකින් පොලිසිය ගේ දොරකඩට පැමිණියේය. ශ්‍රී ලංකාවේ පොලිසියේ හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් දුන්නොත් පොලිසිය බොහෝවිට එන්නේ පැය 24 ට පසුවය. එය පොලිසියේ වරද නොව රස්සාවේ තිබෙන දුප්පත්කම වේ. අපේ පොලිසිවලට පොලිස් කාර් තබා බයිසිකල්වත් නැත. හදිසි ගමනක් යෑමට වුවමනා වූ කල්හි පොලිස් රාළහාමිලා බස්වල ෆුට්බෝඩ් එකේ එල්ලී ගමනාන්තයට යති. එකී රාජකාරි ගමන සඳහා ඔවුන් ටිකට් ගන්නේ නැත. ටිකට් ගැනීම පිණිස ඔවුනට සල්ලිත් නැත. ඒ නිසා ලංකාවේ මිනිහකු තුවක්කුවක් ගෙන පාරට පැන්නොත් මළ මිනී හත අටක අවසන් කටයුතු කෙරෙන දිනය දක්වාම අපරාධ ස්ථානයට පැමිණීමට පොලිසියට නොහැක. දැන් නැවතත් අපි ටෙක්සාස් සිද්ධිය දෙසට හැරෙමු. ටෙක්සාස් පොලිසියේ හදිසි ඇමතුම් රථය පැමිණි වහාම එයින් එළියට ආ සන්නද්ධ රාළහාමිලා දෙන්නෙක් රාජන් දෙසට තුවක්කු එල්ල කර රාජන් අත තිබූ තුවක්කුව වහාම බිම දමන ලෙස දැන්වීය. ඒ සමගම එක රාළහාමි කෙනෙක් රාජන්ට වෙඩි තැබුවේය. තව තප්පර කීපයක් කල් දුන්නේ නම් රාජන් තුවක්කුව බිම දමන නමුදු ඩැනියෙල් සැන්චේස් නමැති ඒ රාළහාමි ඊට ඉඩ නොදී දිගටම වෙඩි තැබුවේය. සැන්චේස් යනු සුදු ජාතික නාමයක් නොවේ. මෙය ලතින් ඇමරිකානු හෙවත් මැක්සිකානු නමකි. ටෙක්සාස් ප්‍රාන්තයේ අල්ලපු රට මැක්සිකෝව වන නිසා එහි සිටින ජනතාවගෙන් සෑහෙන පිරිසක් මේ වනවිට මැක්සිකානු පුරවැසියන් බවට පත්ව සිටිති. ලතීනෝවරුන් ලෙස ඇමරිකානුවන් විසින් හඳුන්වනු ලබන මේ කියන මැක්සිකානු ජාතිකයන්ට ශ්‍රී ලාංකිකයන් කියන්නේ මැක්කන් කියාය. ලතින් ඇමරිකානුවෝ කළු ජාතිකයන් මෙන් දැඩි ගතිගුණ ඇති මිනිස්සුය. මේ නිසා ටෙක්සාස් ප්‍රාන්තය තුළ අපරාධ බහුල වෙයි. එම අපරාධකරුවන් මැඬීම සඳහා ටෙක්සාස් පොලිසිය ඉතා දරුණු ලේසර් තුවක්කු පවා පාවිච්චි කරයි.

ඇමරිකානු පොලිසිය යනු ලෝකයේ තිබෙන චර්යාත්මක නමුත් දරුණු පොලිසියකි. ඔවුන් මිනී මරන්නේ චර්යාත්මක ලෙසය. 2020 මැයි 25 දා ඇමරිකාවේ මිනෙසෝටා ප්‍රාන්තයේදී 46 හැවිරිදි කළු ජාතිකයකු හොර සල්ලි මාරු කිරීමේ චෝදනාවක් යටතේ ඇමරිකානු පොලිස් අත්අඩංගුවට පත්විය. ඔහුගේ නම ජෝර්ජ් ෆ්ලොයිඩ්ය. ඔහුගේ අත් පිටුපසට කොට මාංචු දැමූ සුදු ජාතික පොලිස් නිලධාරියෙක් පොලිස් රථයට සමාන්තරව එම කළු මිනිසා දිගාකර සිය දනිස්සෙන් ඔහුගේ ගෙල තද කොට මරා දැමීය. මේ ඝාතනය සඳහා විනාඩි 9 ක් ගතවිය. මේ සිද්ධියෙන් පසු මිනෙසෝටා ප්‍රාන්තය පුරා වර්ණ භේද වාදී කෝලාහල පටන් ගත්තේය. පසුව ඇමරිකන් පොලිසිය විසින් මිනීමරු සුදු පොලිස්කාරයා අත්අඩංගුවට ගෙන අවුරුදු විසි දෙකහමාරකට හිරේ දැමීය.

ඇමරිකානු පොලිසියේ ක්‍රියාකාරකම්වලට ඒ රටේ ආණ්ඩුවේ ඉහළ ධුරාවලිය වෙතින් විශාල විරෝධයක් පැන නැගී ඇත. අන්තර්ජාලය පිරික්සන විට පෙනී යන්නේ ඇමරිකාව පුරා පොලිසිය ඇතුළු මහජන ආරක්ෂක ඒජන්සි 18000 ක් තිබෙන බවයි. මේ ආයතන 18000 මගින් සිදුකරන මිනී මැරුම් ගැන මධ්‍යම රජය වෙත තොරතුරු ලබා ගැනීම ඉතා දුෂ්කරය. මේ තොරතුරු ලබා ගැනීමට හැකිවන පරිදි වසර 2006 දී පනතක් ද සම්මත කරන ලදි. එහෙත් ඉන් වැඩක් වුණේ නැත. එසේ වුවද දැනට ලැබී තිබෙන අසම්පූර්ණ දත්ත මගින් හෙළිවන පරිදි වසර 2019 දී ඇමරිකානු පොලිසිය විසින් පුද්ගලයන් 1004 ක් වෙඩි තබා මරා ඇත. වසර 2020 දී මෙසේ මරණ ලද සිවිල් වැසියන් ගණන 1021 කි. 1980 සිට 2018 දක්වා ඇමරිකානු පොලිසියෙන් වෙඩි කා 30000 ක් මිය ගොස් ඇති බව හෙළිව තිබේ. Police Brutality in the United States යන වාක්‍ය අන්තර්ජාලයෙහි type කළ විට මේ පිළිබඳ තොරතුරු සොයාගත හැක.

ඇමරිකාව ලෝකයේ හොඳම පොලිසියක් බවට මතයක් එක්දහස් නවසිය අසූ ගණන්වලදී පැවතින. එහෙත් ඒ හොඳ නම මේ වනවිට විනාශ වී තිබේ. සුදු පොලිස්කාරයන් විසින් කළු ජාතික තරුණයන් අත්අඩංගුවට ගෙන දස වධ දෙන අවස්ථා තිබේ. ඇතැම් අවස්ථාවලදී ජීප් රථයට පටවා ගන්නා තරුණයන්ගේ රහස් ප්‍රදේශ දරුණු ලෙස මිරිකා විනාශ කිරීම ඇමරිකානු පොලිසිය සිදුකරයි. නිව්යෝර්ක් හා කැලිෆෝනියා නගරවල සිටින ඇතැම් ට්‍රැෆික් පොලිස්කාරයෝ පගා මාරයෝය. ඩොලර් 20 සිට ඉහළට පගා ගෙවීමෙන් නීතියෙන් ගැලවීමට වැරදිකරුවන්ට පුළුවන. රාජන් මුණසිංහට වෙඩි තැබූ සැන්චේස් රාළහාමි මේ වනවිටත් අනිවාර්ය නිවාඩු යවා තිබේ. ඔහු ද ඇමරිකාවේ හිර ගෙයක් තුළ අවුරුදු 20 ට වැඩි හිර දඬුවම් පරිප්පුවක් කෑමට නියමිතය. ඇමරිකාවේ පොලිසිය දූෂිත වුවද අධිකරණය දූෂිත නැත. ඒ නිසා පොලිසියට වේවා දේශපාලන බලවතාට වේවා උපරිම දඬුවම් දීමට ඒ රටේ අධිකරණ පද්ධතිය සූදානමින් සිටී. සමහරවිට මෙය ලෝක ස්වභාවය විය හැකිය. කිසියම් දෙයක එක පැත්තක් යට යන විට තව පැත්තක් ගොඩ එන ක්‍රියාවලියක් ස්වභාවධර්මය විසින් හඳුන්වාදී තිබේ. රාජන් මුණසිංහට වෙඩි තැබූ පොලිස් රාළහාමි හිරේ යනවාට වඩා විදුලි පුටුවට යනවාට ඇමරිකාවේ සිටින ආසියානු ප්‍රජාව සතුටුය. ඇතැම් හිංසාකාරී වර්ණභේදවාදී සුදු ජාතික පොලිස්කාරයන්ගේ අවකල් ක්‍රියාව එම මතයේ පදනම වේ.

advertistmentadvertistment
advertistmentadvertistment